අජිත් තිලකසේන ‘කියන විදිහ’ කියවීම
අජිත් තිලකසේන කියන්නෙ අලුත් සාහිත්‍ය විධියක්. අලුත් භාෂාවක්. ඒක ඔහු ලියන, කතා කරන භාෂාවම නෙවෙයි. සම්පූර්ණයෙන්ම අජිත් තිලකසේන කියන මනුස්සයාම අලුත් භාෂාවක්. සාමාන්‍යයෙන් අලුත් භාෂාවක් කියන එක තනි පුද්ගලයකුට ලඝු කරලා කතා කරනවා අඩුයි. භාෂාවක් හැදෙන්න සියවස් ගාණක් ගත වෙනවා. එහෙම බැලුවාම තිලකසේන කියන්නෙ බොහොම කෙටි කාලයකින් (මේ කාලය ගැන අදහස අනෙකුත් භාෂා ඇතිවෙන්න ගත වෙච්ච කාලයට සාපේක්ෂවයි මං කියන්නෙ) නිර්මාණය වුණ භාෂාවක්. එහෙමත් නැත්නම් ඔහු නව භාෂා මිනිසෙක්.
තිලකසේන අභියෝග කරන්නෙ බොහොම බැරෑරුම්, බිඳෙන සුළු ඊගෝ සහිත සමාජයකටයි. ව්‍යාකරණ නීති-රීති වගේම සංස්කෘතික අනන්‍යතා ගොඩාක් තියෙන පුද්ගල කණ්ඩායම් ගොඩකට. ගුරුකල ගණනාවකට. හැබැයි ඔහුට කිසිම වෙලාවක ගුරුකුලයක් හරි ගෝලයන් පිරිසක් හරි හදන්න වුවමණාවක් තිබ්බ බවක් පේන්න නැහැ. මොකද ඔහු යමින් හිටියේ තනි පුද්ගල ගමනක් නිසයි. ඒ වගේම ඔහුට ඕන වෙලා තිබ්බේ අජිත් තිලකසේන කියන මිනිසාගේ විචිත්‍ර කල්පනා ගොන්න අනෙක් අයට කියන්න විතරයි. මේකට පරණ ක්‍රමය, පැවතුණ භාෂා ව්‍යාකරණ හරි ගියේ නෑ. මොකද තිලකසේන කියන නූතන මනුස්සයාගේ සිතීමේ කලාපය විසාල වැඩියි. ඒ රාමු ඇතුළෙ ඔහු රඳන්නෙ නෑ. නිතරම අත්, කකුල් එළියට පනිනවා. එහෙම වුණාම ඔහුට කියන්න අවශ්‍ය දේ ටක්කෙටම කියාගන්න බැරි වෙනවා.
මූලිකවම මම ආශක්ත වුණේ ඔහුගේ කවිවලට. කෙටිකතා, නාට්‍ය, චිත්‍රපට තිර නාටක වගේ තවත් දේවල් ගොඩක් ඔහු ලියලා තිබුණත් මට විස්මය ගෙනාවෙ ඔහුගෙ කවි. ඔහුගේ සාහිත්‍ය ලෝකයට මම ඇතුළු වෙන්නෙ මෙන්න මේ කවි හරහායි.
අග ඉදන් පටන් ගත්තොත් 2019දී පළ වෙච්ච ‘මොන තරම් අවුලක්ද’ පොත කියවීමෙන් පස්සෙ ඇතිවෙන අවුල් ජාලාවම ඇති. ඔහු භාෂාවේ කුඩාම ඒකකයට බැහැලා අපිට තමයි අපිට කවි ඉදිරිපත් කරන්නේ. ඒක හරියට මෙතුවක් කල් කවි කියන ජාතිය හිරවෙලා තිබ්බ මහප්‍රාණ ප්‍රහේලිකාවක් උපකාරක පද නැතිවම අපිට පුරවගන්න උදව්කරනවා වගේ වැඩක්. භාෂාව අතිශය මෘදු, සුමට සහ සුළු වුණාට පස්සෙ ඔබට පුළුවන් ඕනෑම කෙනෙකුගෙ ජීවිතේට ඇතුළු වෙන්න. ඒක නිකං යන්න නොදෙන රටකට වීසා එකක් ලැබුණා වගේ දුර්ලභ වැඩක්. ඕනෑම දෙයක් තේරුම් ගන්න ලේසි කරන කණ්ණාඩියක් ඔහු අපිට අල්ලනවා. හැබැයි සෑහෙන සිහිබුද්ධියෙන් කියවන්නා ඉන්න ඕනා. ඒක තමයි එකම කොන්දේසිය.
අජිත් තිලකසේන කියන්නෙ ප්‍රේමය ගැන පුදුමාකාර සංකල්ප ගොඩක් ගෙනාපු කවියෙක්. ඔහුගේ කවි ඇතුළේ, සරල වචන ඇතුළේ පුදුම දිග කතන්දර තියෙන්නෙ. ඒවා ලිහෙන්නෙ කියවන්නා තමන්ගේ ඊගෝ එක බිමින් තිබ්බට පස්සෙයි. මේ කවි කියවන්න විසාල හදවතක් මිස විසාල ප්‍රතිරූපයක් තියෙන්න ඕන වෙන්නෑ. ඔහුම කියනවා “කලා කෘතියක් හුදෙක් චමත්කාරජනක වස්තුවක් විතරයි.” කියලා. මේ හුදෙක් චමත්කාරජනක වස්තුව ඔහුගෙන් අපිට හම්බවෙන අවස්ථාව තමයි වටින්නේ. හරියට නිකං ඔහු දුර ඉදන් කල්පනාවෙන්, ස්වල්ප හිනාවෙන් බලන් ඉන්නවා වගෙයි අපි මේවත් එක්ක මොනවද කරන්නෙ කියලා. ඇත්තට ඔහුගේ කවි සහ කෙටිකතා එක්ක අපි මොනවද කරන්නෙ?
අපි ඒවා කුඩාවට ලිහාගන්න හදනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි කලින් දැනන් හිටිය දෙයක් එක්ක ඒවා ගලපගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. හැම කෙනෙක්ම කවියක් හෝ කෙටිකතාවක් තමන්ට අනන්‍ය කරගන්න විදිහෙන් තමයි මේවා ලිහෙන්නේ. අන්න එතනින් තමයි ඔහු කියපු චමත්කාරජනක වස්තුව අපිට අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට පුළුන් රොදක් වගේ සැහැල්ලුවක් තියෙනවා නම් හොඳයි කියලයි මම මුල ඉදන්ම කියන්නේ. ඉතිං තමන් ළඟ නැති පුළුන් රොදක් කොහෙන්ද හොයාගන්නෙ? ඒක තවත් ගෙදර වැඩක්.
අපි එකක් පහළට එකක් වචන ගොනු විදිහට කවි ලියන්න තෝරාගන්නේ ඒක කලින් අපිට පුරුදු කරලා තියෙන නිසයි. කොච්චර පාරම්බෑවත් සාප්‍රදායික රාමු කඩාගෙන යන්න තියෙන බය නිසයි. මහා සාහිත්‍ය සමාජය බහුතර කියවන්නන් සහ ලියන්නන්ව මොකක්දෝ හික්මවීමකට පත් කරලා තියෙන නිසයි. නමුත් ඊට ගොඩක් කලින් ඔහු තෝර ගන්නවා තිරස්ව ලියන්න. අතර මැද දීර්ඝ නිශ්ශබ්දකමක් ඇති කරනවා. මේ ආකෘතිමය සෙල්ලම් හැම එකකටම ඔහු තේරුමක් ලබා දෙනවා.
සෙසු කවියන්ට, ලේඛකයන්ට කියන්න කතන්දර තියෙද්දි තිලකසේනට තියෙන්නෙ කියන විලාසයක්. ඔහු මේ බව සාකච්ඡාවකදී කියනවා. “මට තිබෙන්නෙ කියන ආකාරයක් පමණයි. මම කියන දේවල් වැදගත් නැහැ.” මෙන්න මේ කියන ආකාරය ඇතුළෙන් තමයි කියවන්නාට චමත්කාරය හොයාගන්න වෙන්නෙ. කවියා ඒකට මහා විසාල උදව්වක් දෙන්නෙ නැහැ. ඔහු යම්, යම් ඉඟි දෙනවා විතරයි. ඒ ඉඟි ඔස්සෙ අපි කැමති තැනකට යන්න පුළුවන්. නොයා ඉන්නත් පුළුවන්. කොහොමත් යමක් කියවීමෙන් පස්සෙ ඇතිවෙන නොසන්සුන්කම හරි අසාමාන්‍ය සන්සුන්කම හරි කියවන්නා විසින් ඇතිකර ගන්න දෙයක්. ඒකට කවියාගේ හෝ කවියේ සම්බන්ධයක් නෑ. කවිය හෝ කවියා කරන්නෙ යමක් ට්‍රිගර් කරන එක විතරයි. ඔබ හොඳටම දන්නා දේකටයි ඔබ බැදෙන්නේ, ආසා වෙන්නේ. හැබැයි ඒක කවියාගේ හෝ කවියේ ඇගේ ගහලා ඇග බේරගන්නයි කියවන්නා හැම තිස්සෙම ලෑස්ති වෙන්නේ.
රේඛීය ආඛ්‍යානයක් නැති නිසා මේ සෙල්ලම තිලකසේන එක්ක කරගෙන යන්න බැරි වෙනවා. “කලා කෘතියක තේරුම හොයන්නෙ සසල වෙන හදවතක් නැති අය.” එහෙමයි තිලකසේන කියන්නේ. ඒත් බහුතරයට කලා කෘතියක තේරුමක් ඕනා වෙනවා. සුළුතරයක් හදවත සසල කරගෙන නිශ්ශබ්දෙන් ඉන්නවා.
‘මොන තරම් අවුලක්ද’ කවි පොතේ පළවැනි කවිය, ‘ඉතින් පුලුවන්’ (මේවා යකාගෙ මාතෘකා තමයි)
“ගඟ අද්දරදි ඔබ තරු නැතිකරගත්තා
ඉතින් පුලුවන් මට ඔබව වැලඳගන්න”
දැන් එතකොට යම් කෙනෙකුට තරු නැතිකරගන්න නම් එයාගෙ සන්තකේ තරු තියෙන්න ඕනා. හැබැයි තරු නැතිකරගත්ත එක ඉතිං හොඳක්. ඒ නිසානෙ ඔහුට ඇයව වැළඳගන්න පුළුවන් වෙන්නේ. මේ සුළු බව තමයි ඔහුගෙ කවිවල තියෙන විසාලම කැලඹිල්ල. කොහොමද කෙනෙක් සුළුවෙන් හිතන්නෙ, පතන්නෙ කියන කාරණය අපිව කොණිති ගහනවා. ඔහුගේ මේ හිතීමේ පරාසය නිකං සුපර් හීරෝ කෙනෙකුගෙ වැඩ වගෙයි. හල්ක් නිකං ඔහේ ඉන්නකොට ඉතිං පේන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් වගේනෙ. හැබැයි කේන්ති ගියාම මහා විසාල මිනිහෙක් වෙලා දැවැන්ත වැඩ කරනවා. වොන්ඩර් වුමන් රත්තරං කසයක් අරගෙන අහසෙ පියාභනවා. ඒ කසෙන් පහර දීලා දැවැන්තයෝ බිම දානවා. හැබැයි එහෙම නොකරන හැම වෙලේම සාමාන්‍ය මනුස්සයෙක් වගෙයි. මෙන්න මේ වගේ අමුතු වැඩ ගොඩක් තමයි සාහිත්‍ය ලෝකෙ ඇතුළේ අජිත් තිලකසේන කරලා තියෙන්නේ. ඔහු කවි ලියනවා. කෙටිකතා ලියනවා.
ඒ පොතේම දෙවැනි කවියේ මෙන්න මෙහෙම පේලි දෙකක් තියෙනවා.
“මගේ රහස් අංකය ඔබ දැනගත්තා
එහෙත්
ඔබට බැහැ රාත්‍රිය වෙන්න”
දැන් මොකක්ද මේ රහස් අංකය? ඒක ඔහු කියන්නෑ. ඇත්තට අපිට වැඩක් නෑනෙ ඒකෙන්. ඊළඟ පේලියෙ තියෙන්නෙ රහස් අංකය දැනගත්ත නිසා ඇතිවෙන ප්‍රතිඵලය විතරයි. එච්චර එකක් දැනගත්තත් ඔයාට රාත්‍රිය වෙන්න බැරි බවයි ඔහු කියන්නේ. අතිශය රහසිගත කලාපයකට ඇතුළු වුණාට පස්සෙත් කෙනෙකුගේ රාත්‍රිය වෙන්න බැරි වීම කොයිතරම් දුක්ඛදායක දෙයක්ද? මේ අවිනිශ්චිත ගතිය ඒ කවිය පුරාවටම තියෙනවා. ඒක හැඟීමක්. වචන ඉතිරි නොවන හැඟීමක්. කියවන්නාට කොහේ හරි යන්න වෙන්නෙ ඒ හැඟීමත් උස්සගෙනමයි. මොකද කවියා ඒ කාටවත් අරගෙන යන්න වචන දෙන්නෑ.
“දැන් මට සහතිකයි
ඔබේ බැල්මේ ඌරුව ආදරය නොවන බව”
මේ ලිවීමේ ක්‍රමවේදය කොහොමද මේ තරම් ප්‍රේමණීය හැඟීම් හෝ ශෝකාකූල හැඟීම් හෝ අපිට දනවන්නේ? අපි කලින් පුරුදු-පුහුණු වෙලා නොහිටියත් අවිඥාණිකවම ඔහුගේ ලිවීමේ ‘විලාසයට’ අවනත වෙනවා. හරියට නොදන්න රටකට ගිහිල්ලා අලුත් භාෂාවක් තනියෙම ඉගෙනගන්නවා වගේ උද්දාමයක් කියවන්නාට තියෙන්නේ. මේ අධිකාරි බලය එහෙමත් නැත්නම් පාඨකයාට මෘදුව අණ කිරීමේ බලය හැම කවියෙක්ම සතුව නෑ. ඒක උපයාගන්න ඕන එකක්. තිලකසේන ඒ බලය හරිම පහසුවෙන් උපයගෙන තියෙනවා. ඉතිං කියවන්නා මෘදුව ‘පුරු-පුරු’ ගගා ඔහුට අවනත වෙලා වැතිරිලා ඉන්නවා.
මෙන්න මේ ගුණාංගවලට අපි බැදෙන්නේ ඒකෙ තියෙන අපූර්ව ගතිය නිසයි. ඔහුව ලේසියෙන් අනුකරණය කරන්නත් බැරි මේ නිසයි. මෙතනදි අනුකරණය කියන්නේ හුදෙක් එළිපිටින් පේන්න තියෙන අනුකරණයක් නෙවෙයි. තිලකසේනගෙ ‘හද බස’ අනුකරණය කරන්න, සාරය උරාගන්න තියෙන අමාරුකම ගැනයි. ඔහුගෙ කවිවල තියෙන මොකුත්ම කියන්න උත්සාහ නොකරමින් ගොඩාක් දේ කියන විලාසය හරිම ආකර්ශණීයයි. ඔහුගේ කවිවල දිගට ගලාගෙන යන කතන්දරයක් ඇත්තෙ නැති තරම්. යම් විශේෂ අවස්ථා තමයි තියෙන්නේ. ඒවා එකිනෙකා පොලා පනින්නෙ හිතාමතාමයි. යම් සංකල්ප රූපයක් හැදීගෙන එනකොටම ඒකෙ දිගුවක් බලාගෙන ඉස්සරහට කියවගෙන යන කියවන්නාට හම්බ වෙන්නෙ තවත් සංකල්ප රූපයක්. සමහර වෙලාවට ප්‍රහේලිකා. කොහොමත් තිලකසේනට එහෙම කතා කීමේ වුවමණාවක් නෑ. ඔහු යම් මොහොතක් දිය සායමෙන් අඳිනවා. ඊට පස්සෙ ඈතට යනවා. නැවත අර චිත්‍ර උඩින් තෙල් සායම් චිත්‍රයක් අඳිනවා. ඒක තමයි ඔහුගේ කවි ලිවීමේ විලාසය.
මේ පොතේම ‘සෝබා සුන්දරා’ කවියෙන් තවත් අපූරු යෙදුමක් හම්බ වෙනවා.
“මම අලුතින් අත්පත් කරගත් දූපතක් ඔබ”
ඔහු මේ දූපත අයිතිකරගෙන තියෙන්නේ මොකක් හෝ සටනකින්. හැබැයි සටන තිබිලා තියෙන්නෙ හීනෙක. මේ වගේ අපූරු යෙදුම් එක්කයි පෙම් කවියකට අපි ඇතුළු වෙන්නේ. සුන්දර කාන්තාවක් අයිති කරගන්න එක අලුත් දූපතක් අත්පත් කරගන්නවා කිව්වම පොඩි කිතියක් දැනෙනවා. දූපතක් ඉතිං මුහුදින් වටවෙලානෙ තියෙන්නේ. යෑම්-ඊම් එහෙමත් අඩු නිසා පාඩුවෙ ඉන්න පුළුවන්. හැබැයි කවියෙ එහෙම පාඩුවෙ දිගටම ඉන්න මහා ලොකු ඕනෑකමක් පෙන්නන්නෙත් නෑ. කවියෙ අන්තිම හරියෙදි මෙන්න මේ වගේ අරුම පුදුම ප්‍රශ්නයක් අහනවා.
“ගණන් නොගන්නද ඔය කිසිවක් මම’
මේවා මාර ඉල්ලීම් නේද ඉතිං? ඒ ඉල්ලීම් කරන්න පුළුවන් තිලකසේනටම විතරයි.
ඔහුගේ බහුතරයක් කවිවල ආදර හසුන් ගැන අනේක සඳහන්වීම් තියෙනවා. හැම කවි පහකටම එකක වගේ ආදර හසුනක් අහු වෙනවා. දුරකතන ඇමතුම් තියෙනවා. මේවායින් එක්තරා පරණ යුගයක් ගැන ඉඟියක් දෙන අතරෙම නූතනම හැඟීම් ගොඩකුත් අපේ අත් දෙකට දෙනවා. මේ කාලය හරහා එහේ-මෙහේ යෑම ඔහුගෙ කවිවල බහුලම ලක්ෂණයක්. සාහිත්‍යයේ ඔහු සදාකාලික තරුණයා වෙන්නෙ අන්න ඒ නිසයි. ඒ වගේම මාරියාව කවි පොතේ ඉදන් මොන තරම් අවුලක්ද වෙනකන් එනතුරු හැම කවි පොතකම විවිධාකාර ගැහැනු නම් ගොඩක් හම්බවෙනවා.
සීතා/ රුචිරා/ නිමල්කා/ අචලා/කුසුමී/ නීතා/ මියුලින්/ ලා රෝසි/භද්‍රා/ චන්ද්‍රානි/ චතුරිකා/ සුගන්ධිකා/ නයනා/ කාන්ති/ කුමුදුනී/අමරා/ මල්කා/ දේවිකා/රසිකා/ රම්‍යා/ තමාරා/ රුවන්දිකා/ සුනන්දා/ මල්කාන්ති/ යසෝමා/ ලතා/ අරුනී/ නිර්මලා/ අජන්ති/ මාලා.
නම් තිහක්. මේ නම් තිහත් එක්ක කවියා එකිනෙකට වෙනස් චිත්‍ර තිහක් හදනවා. සමහර තැන්වල අපි ආස කතාවක් හදාගන්න අඩුම කුඩුම දෙනවා. බහුතරයක එහෙම ඉඩක් නෑ. මේකත් යුගයක් ගැන මතකයක් ගේන වැඩක්. නම් කරමින් කවි ලිවීම දැන් වෙනකොට හරිම දුර්ලභයි. දැන් ඔබ/ ඔහු/ ඈ/ ඇයට මේ නම් ඔක්කොම විතැන් වෙලා. කවියේ අවංක ගතිය අඩු වෙලා පොඩි ගේම් එකක් ප්ලේ වෙනවා වගේ එකකට වර්තමානය පෙරලිලා. එකම කවිය කාටත් පිරිනමන්න පුළුවන් පරිභෝජනවාදී ලිවීමකට දැන් අපි එලඹිලා ඉන්නේ. ඒ වගේම වර්ණනා බහුල, චාටුකාර, මායම්කාර, ඕලාරික බව වැඩි තැනකයි දැන් පෙම් කවිය නතර වෙලා තියෙන්නේ. ඉතිං එහෙම කාලෙක තමයි අපි ආයෙත් අජිත් තිලකසේනගේ පෙම් කවි කියවන්නේ. ‘මම සහ ඔබ’ කවියෙ පේලි කීපයක් මම කියවන්නම්. මේ කවියම නිකං ක්‍රියාදාම චිත්‍රපටියක් වගෙයි.
මම සහ ඔබ
අපි දෙන්නා
වාඩිවෙලා උන්නු ගල් ඇන්දෙන්
හනික පහලට පැන්නා වෙඩි උන්ඩ මග ඇරියා
එකම මරු විකල්ලෙන්
ඒ එදා
එතකොටත් මම අරුතක් හෙව්වා
හටන් දිග්ගැහෙනකොට කුරිරු බව වැඩී
ඔබ කිව්වා
ආයෙ
මුහුදු ජල මතු කරපු රහස්‍ය සංගීත රාව සහ
අතුපතු හෙලවුනු හඬ මකමක
එක් නිසල සැනසුමක
ඔබේ පහස මම අත්වින්දා
එතකොටත් මම අරුතක් හෙව්වා
මුහුදට අභිමුඛ කඳු වැටිය පෞරානිකයි
……………………………………………
මෙහෙම තරමක් දිගට කවිය ගලාගෙන යනවා. අර කලින් කිව්ව වගේ ත්‍රාසජනක චිත්‍රපටියක් වගෙයි කවියෙ පටන් ගැන්ම. වටේටම දඩ-බඩ ගාලා වෙඩි තියාගන්නවා. ජෝඩුවක් ගල් ඇන්දක් උඩ වාඩිවෙලා ඉන්නවා. මෙන්න උන්ඩ මඟාරින්න මේ දෙන්නා ගල් ඇන්දෙන් පහළට පනිනවා. එකම මරු විකල්ලකින්. ඒක අතීත කතාව. එහෙම නැත්නම් කවියේ උඩින් පේන චිත්‍රය. මේ ඔක්කොටම පස්සෙ තමයි පිගන් මැට්ටෙන් කරපු නග්න දේව රූපය එන්නේ. ඒක පෙම්වතා තෑගි දීපු එකක්.පෙම්වතියට කලබලෙන් තරප්පුව බැහැලා යන්න කියලා ඔහු කියනවා. යන්න ගිහිල්ලා වාතයේ ගිලෙන්න/ හුස්ම හිරකර ගන්න කියලා ඊළඟට කියනවා. මේ වාගෙ පෙම්වත් රණ්ඩු හම්බවෙන්නෙ තිලකසේනගෙ කවිවලින්ම විතරයි. පෙම්වතියත් ලේසි නෑ. ඈ අහන්නෙ ‘එහෙමත් පුළුවන්ද’ කියලා.
මේ එකිනෙකා ප්‍රශ්න අහන තානයේ, යමක් කියන තානය ඕනා නම් අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ වචනවලටම ශෝකය/කෝපය/ පුදුමය වගේ හැඟීමක් කවලා අපිට කියවගන්න පුළුවන්. ඔය ඔක්කොම අස්සේ කථකයාගේ ආසාවත් එළියට එනවා.
‘මගේ ආසාව
නග්න දේව රූපය ඔබේ මේසය උඩ නටනවා දකින්න’
ශිෂ්ටාචාරයක් නැහිලා තමන්ට ජීවත් වෙන්න ඉඩ දීපු එක අපරාදයක් කියලා පෙම්වතිය කියන්නෙ ඔය අතරේ. මේ කවිය පුරාම ඒකමිතියක් හෝ ගලාගෙන යෑමක් නැති නිසාම අපිට සිතුවිලි උස්සන් එහේ-මෙහේ දුවන්න වෙනවා. මෙන්න මේ විසිරුණු ස්වභාවය නිසාම කියවන්නාට යම් වෙහෙසක් දරන්න වෙනවා ඔහුව කියවගන්න. මහා සාහිත්‍ය සමාජය බලාපොරොත්තු වෙන රේඛීය ලිවීමෙන් ඛණ්ඩනය වුණ නිසාම ඔහුට පහසුවක් තියෙනවා කියන විලාසය නඩත්තු කරගන්න. ඔහුගේ භාෂා භාවිතයේ න, ණ, ල, ළ, ව්‍යාකරණ ආදිය පාවිච්චි කරන විදිහ තමයි ඊළඟ විශේෂත්වය. ඔහු ඒවාට කීකරුව හැසිරෙන්නෑ. ඒවාට හේතු ඉදිරිපත් කරලා පොත් කීපයක් ඔහු ලියලා තියෙනවා. ඇලපිලි, පාපිලි, හල් කිරීම් ආදිය පාවිච්චියට ඔහු ආකර්ශණීය ක්‍රමයක් හොයාගත්තා. කොටින්ම අන්තිමට ඔහුගෙ පොත් මුද්‍රණය කරන්න පුෂ්පානන්ද ඒකනායක ‘එෆ්.එම්. තිලක’ කියලා අලුත් ෆොන්ට් එකකුත් හැදුවා.
මහා සාහිත්‍ය සමාජය ඇතුළේ මේ සෙල්ලම කරන්න ටිකක් අමාරුයි. යම් කෙනෙක් ඒකෙන් විතැන් වෙලා, වෙනම හඬක් හදා ගත්තොත් ඇරෙන්න එහෙම දෙයක් කරන්න පහසුවක් ලැබෙන්නෙ නෑ. මොකද පාසල් අධ්‍යාපනයෙන්, උසස් අධ්‍යාපනයෙන් විතරක් නෙවෙයි රැකියාවෙන් පවා අපිට දඬුවම් කරනවා ව්‍යාකරණ හෝ න, ණ, ළ, ල වැරැද්දුවාම. අපි බහුතරය මේ සාහිත්‍ය දඩුවමට යටත් වෙලයි ලියන්න පටන් ගන්නේ. මේ කතා කරන මම අවුරුදු 19ක මාධ්‍යවේදී ජීවිතයක් ගත කරපු කෙනෙක්. පත්තරේ ඇතුළේ වැඩ කරද්දි ගැහැනිය කියන වචනය ලියන්න මූර්දජ ණ පාවිච්චි කළ සැනින් සබ් එඩිටර්ගේ ඉදන් එඩිටර්ගේ ඇස් දොට්ට පනිනවා. අන්න එහෙම සාහිත්‍ය දඩුවම් මැද ජීවත් වුණ අපි තමයි දැන් මේ තිලකසේනගේ සාහිත්‍ය විප්ලවයට මැදිවෙලා ඉන්නේ. ඒකත් ස්ව කැමැත්තෙන්. එහෙව් අපි කොහොමද තිලකසේන කියවන්නෙ කියන ප්‍රශ්නය ආයෙ උඩට එනවා.
අන්තර්ජාලය ප්‍රචලිත වුණාට පස්සෙ දැනුම සීමාවක් නැතිව හැම තැනම ගලන්න ගත්ත එකෙන් මේ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණා කියලා මම හිතනවා. විසාල ප්‍රශ්න නිකන්ම සමනය වෙලා යනවා. සඳැස්-නිසදැස් ආරෝව සමනය වුණා වගේ. විකල්ප අදහස් සහ අලුත් ප්‍රවණතා නවත්තන්න බැරි තරම් වේගවත් කියලා දැනුණු යුගයක් අපි මේ පහුකරමින් ඉන්නේ. නූතන සාහිත්‍යයේ දියුණුවටත් අන්තර්ජාලය බිම් මට්ටමට පාත් වෙච්ච එක බලපාලා තියෙනවා. ඒකෙ අනු කොටසක් විදිහට කවියත් දියුණු වෙලා, ජනප්‍රිය වෙලා තියෙනවා. මේකෙ හොඳ-නරක දෙකම තියෙනවා.
තව එක කවියක් ගැන කියලා අපි මේ කවිපොත වහමු.
“මගේ ඔළුවෙ
ආදර සිහිවටන තැන්පත් වෙන කලාපයේ
ඇයටත් හැකි වේවි තදබද වී ඉදගන්න”
යකාගෙ තදබදයක්නෙ දෙයියනේ එතන තියෙන්නේ. මේක හරිම විචිත්‍ර චිත්‍රයක් අඳින කවි පේලි තුනක්. කලාපවලට බෙදපු ඔළුවෙ ආදර සිහිවටන තියෙන සෙක්ෂන් එකේ පුටු දාලා වාඩිවෙන්න. හරියට නිකං දේශන ශාලාවක් වගේ. දැනටමත් සෑහෙන පිරිසක් වාඩිවෙලා ඉන්නවා. මේ තදබදේ මැද්දෙ ඇගේ මතකත් ඇවිත් ඔන්න වාඩිවෙනවා. මේක සම්පූර්ණයෙන්ම චලන චිත්‍රයක්.
තිලකසේන ලියපු බහුතර කවි, ආදර කවි කියලා හඳුන්වන එකේ වරදක් නැහැ. හැබැයි මේ ආදර කවිවල තියෙන්නෙ අමුතුම ටෝන් එකක්. බොරු වර්ණනා ඇත්තෙ නෑ. තියෙන ස්වල්ප වර්ණනා අපි මීට කලින් කිසිම දවසක එකට යෙදිලා තියෙනවා කියවලත් නැහැ. ඒ වචනවල/යෙදුම්වල මොකක්ද අවංකකමක් අහුවෙනවා අතගාගෙන යනකොට. ඒක සමකාලීන සාහිත්‍ය විධියකුත් නෙවෙයි. එදා සිට අද වෙනකන්ම ගොඩක් පෙම් කවිවල චාටුකාර/ මායම්කාර/ බොරු ස්ත්‍රී වර්ණනා අපි කියවමින් ඉන්නවා. ඔහුගේ කවිය එන්නේ/ හැදෙන්නෙ අපි නොදන්න තැනකින්. ඒක මෙන්න මෙතනයි කියලා කිසිම වෙලාවක ඔහු හෙළි කරන්න උනන්දු වෙන්නෙත් නෑ. අනාගතකාමී සාහිත්‍යයක් අරගෙන එන තිලකසේන කවිය මිස කවියාව හෙළි කරන්න යන්නෙ නෑ. අද හෙළිවෙලා ඉන්නේ කවිය නෙවෙයි කවියායි. ඉතිං කවිය නිතරම අපිට මඟෑරෙනවා. මොකද කවියාගෙ පස්සෙන්නෙ දුවන්නේ. මේ අනාගතකාමී සාහිත්‍ය නිසා තිලකසේනට තුන් කාලෙටම අදාළව රසික පිරිසක් ඇතිවෙලා සහ ඇති වෙමින් ඉන්නවා.
‘එළැඹෙන අගොස්තුව’ත් මේ වගේ රස මී වදයක් අපිට ගෙනැල්ලා දෙනවා. ආයෙත් ගැහැනු නම් රාශියක් අපිට හම්බවෙනවා. ඒවායින් එක්තරා යුගයක් කියවෙනවා, ඒවායින් වෙනස් සුවඳ වහනය වෙනවා. මේ අදහස එකම තැනැත්තියකට දීර්ඝව කවි ලියන වර්තමාන ක්‍රියාදාමය කුඩු කරලා දාන එකක්. බහුතරයක් නූතන පෙම්කවිවල කවිවල ඉන්නෙ කේවල චරිත. ඒවා සමීපව නිරීක්ෂණය කළොත් ඒකාකාරී ගතියක් දැනෙන්න ගන්නවා. කොටින්ම අපිත් ඒ චරිතය අඳුනාගන්න පටන් ගන්නවා. එකවර චරිත කිහිපයක් ඔහු අපිට පිරිනමනවා. ඒවා අතර සම්බන්ධයක් නොහදාම කවි පොතෙන් බැහැලා යනවා.
එලඹෙන අගෝස්තුව පොතේ ‘තෙත් තොඳොල් හඬ’ කවිය පටන් ගන්නෙ මෙහෙමයි.
“මට නිතර අමතන කත
තෙත් තොඳොල් හඬ මට කියන්නෙ නෑ නම”
මෙහෙම වචන පාවිච්චි කිරීම වෙන මොකක්ද පුහුණුවක ඉන්න කියවන්නාව අවුලෙන් අවුලට දැමිල්ලක්. ‘පොඩි අඩිපාර’ කවියෙ තියෙනවා මෙහෙම පේලියක්.
“ඔබ යන මග යන්න වෙනත් හඬකට කන්දෙන්න
මා ගැන දූසමාන මතකයක් රඳවාගන්න
පොඩි අඩිපාර අමතක නොකරන්න”
ඉන්න නොකියා, ඕන නම් යන්න වගේ දේවල් ඔහුගෙ කවිවල නිතර හම්බ වෙනවා. අනිත් එක කෙනෙක් ගැන ‘දූසමාන මතකයක්’ මතක තියන් ඉන්න කියන්නෙ කවුද? නිතර යහපත් ප්‍රතිරූප පෙන්නන කථකයො අතර මෙහෙම ඒවා හම්බවෙන්නෙ අහම්බෙන්. ‘කෙටි ඇසුරු කාලයක්’ කවියේ අපූරු උපමාවක් ආයෙත් හම්බ වෙනවා. “වැහි වලාවක් රඳවාගත්තු කඳු මුදුනක් වගේ උනා” දේවල් මෙච්චර කෙටියෙන් කියන්න පුළුවන් කියලා ඔහු හොයාගත්තෙ කොහෙන්ද දන්නෑ. මට ඒක හැම තිස්සෙම පුදුමයක්. ‘නිසල දිය/කැලඹුනු දිය’ කවියේ මෙන්න මෙහෙම පේලි කීපයක් තියෙනවා.
“එක් දෙයක් විතරක් මා වෙනුවෙන් කරන්න
මගේ සිහිනවලට විතරක් අත නොතබන්න
මම නින්දෙනුත් හිතන බව අමතක නොකරන්න”
කවියෙන් කරන තර්ජන වුණාට ඒවාට අපි කැමැත්තෙන් අවනත වෙන්න හිතනවා. ඒ භාෂාව පාවිච්චි කරන විලාසය නිසා වෙන්න ඇති.
‘මම කොල්ලෙක්ද?’ කවියේ තියෙනවා “මම කෑදැත්තන්ගේ හඬ කටපාඩම් කරනකොට”, “ඉරිදා ඉදලා බදාදට දිග කොච්චරද” මේ වෙනස් වචන එක තැන තියලා ඈතට ගිහින් බලලා විනෝද වෙන ගතිය තිලකසේනගෙන් මම නිතරම දකිනවා. කොහෙත්ම ගැලපෙන්නෑ කියලා හිතන් හිටපු සමහර වචන ඔහු අපිට එකට පුරුද්දලා පෙන්නනවා. විකාරරූපී හිතීම්වලට පොළඹවනවා. කෑදැත්තෙකුගේ කටහඬ පාඩම් කළ කෙනෙක් හිටිය බව මතක් කරවනවා. ‘නිර්මලා’ කවියෙදි ඔහු කියනවා “අනුන්ගෙ හීනත් මාව විඩාවට පත් කරනවා” කියලා. මේ සිතීමේ කලාපය අපිව ප්‍රබෝධයට පත් කරවනවා. මහා සාහිත්‍ය ඇතුළේ අනු භාෂාවක් හදලා, ඒකෙන් පරිකල්පනීය නුවරක් හදලා, ඔහු ඒ නුවර පාලනය කරනවා වගෙයි.
මාරියාවට එන්නෙ ඊළඟට. හයවැනි කවිය.
මන්දා
අපේ කසාදය කටුගාලා ගෙවුනු දෙවසර තුලදි
අපි මුන ගැහුනා කීප විටක් කඩමණ්ඩියෙදි
පාර පනිද්දි ඔබ එක වරක් මා දිහා බැලුවා
අපේ දරුවවත් ඇදගෙන ඔබ දුවනව දැකල බස් එකට
මම ඔහුව උස්සලා තිබ්බා පා පුවරුවෙන් උඩට
ඉක්මනට ගැන්නෙන්න
ඔබේ තුරුලට…………..
මෙහෙම ගිහින් මැද තැනකදි කථකයා කියනවා,
“මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන් අරගනද මන්දා” කියලා.
හරිම ශෝකී හැඟීමක් දෙන මේ කවියට තෝරගෙන තියෙන වචන බලන්න. පුනරුක්තියෙන් වැලකිලා හරිම සුළුවෙන් ශෝකය කවිය පුරාම ඉහින හැටි බලන්න. ඔහු කියන්නෙ ‘අපේ දරුවවත්’ කියලා. දරුවව ඉක්මනට උස්සලා ෆුට්බෝඩ් එකෙන් තියෙන්නෙ ඇගේ තුරුලට දරුවට ඉක්මනින් යන්න ඉඩ සලස්වන්න. ඒත් දරුවට නෙවෙයි කථකයාටයි ඇගේ තුරුලට යන්න වුවමණා කරන්නෙ. ඒත් කිසි තැනක එහෙම දෙයක් කියන්නෑ. කියවන්නාගේ වැඩ ඒවා හිතන එක. ඔහු කියවන්නාව නිතරම යම්-යම් දේවල්වලට පොලඹවනවා. මේත් එහෙම තැනක්. හරියට ‘ඉන් ද මූඩ් ෆො ලව්’ ෆිල්ම් එකේ රසිකයාව අවුලවනවා වගේ. නළුවාත්-නිළියත් මේ දැන් සිප ගනීවි කියලා බලාපොරොත්තුවෙන්, පුටුවෙන් මදක් ඉස්සරහට එන්නෙ නරඹන්නා. එහෙම කිසි දෙයක් වෙන්නෑ. ඒත් රූපරාමුවලින් එහෙම හිතන්න පොලඹවනවා. ඒක තමයි නිර්මාණයක අධිපතිභාවය. නිශ්ශබ්ද අණ කිරීමක් හරි පෙලඹවීමක් හරි තමයි මේ අය දෙන්නේ. අපි නිතරම ඒ උගුලට අහු වෙනවා.
මාරියාවෙ 9 වැනි කවිය මඟෑරලා යන්න බැරි තරම්. ඒකට මාතෘකාවක් නෑ. තියෙන්නෙ හිස් තිත් පේලියක්. මේක, ගැහැනු නම් දෝරෙ ගලන කවියක්.
වලාකුලකත් ගැහැනියෙක්ගේ රුව දකින
වැලි කඳු යායකත් ගැහැනියෙක්ගේ හැඩ දකින
බොලඳ වියේ කඩඉම
පන්නන්න පෙරාතුව
සීතා එව්ව ලියුම නැතිවෙලා
මම තැපැල් කන්තෝරුවෙත් හෙව්වා
අරුතක් තිබුණත් නැතත්
පැතුව හිත සනහන වදන්
රුචිරා රට යන සූදානම මම දැක්කා
ඒ කිව්වේ
මූදු ඉමෙන් එහා දහවලේ අනිත් පැත්තට
මම සිහිය අවුල් කරගෙන ඇඳෙන් නැගිට්ට දවසේ
මගේ සිහිනයේ ලැගගන්ඩ නිමල්කා දැඟලුවා
එතකොටයි මට තේරුම් ගියේ
රටෙත් දැන් යුද්ධයක් බව
වැල්ල මත දිලෙන ඉරේ
කාශ්ඨ රත් පැහැය සැබවක් බව
පොල් ගස් පෙලට උඩ
හොල්මන් අවකාශය
නිශ්ශබ්දය පිරි ගල්ගුහා නොවන බව
තට්‍ටු මන්දිරය පෙන බුබුලක් වගේ ලස්සනයි
මම දියේ ගිලෙන්ඩ යනකොට
අචලා මට වතුර ගෙනැවිත් දුන්නා
ඉස්තූතියි ඒකට
ඔයා සිහින දකිනවද
කුසුමී ඇහුවා
නින්දෙදීද
මම ඇහුවා
හැම නමක් එක්කම වෙනස් මතකයක් හෙළි වෙන්නේ. ඒවා එකිනෙකට වෙනස්. කිසිම සම්බන්ධයක් නෑ වගේ බැලූ බැල්මට පේන්නේ. ඒත් සම්බන්ධය තියෙන්නෙ සිද්ධිවල. එක සිද්ධියක් නිසා වුණ අනෙක් සිද්ධිය. අන්න එහෙමයි මේ නම් අතර සම්බන්ධය හැදෙන්නේ. ඒත් ඒක ලොකුවට සලකන්න ඕන දෙයකුත් නෙවෙයි. නිකං ඔහේ දැනං ඉන්න; ඔයා කැමති නම් දැනං ඉන්න වර්ගයේ එකක්.
වෙන රටක් කියන අදහස දෙන විදිහ පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න. ඔහු කියන්නෙ දහවලේ අනිත් පැත්තට යනවා කියලා. මේ කාලයේ වෙනස්වීමත් එක්ක වෙනත් රටක් ගැන කියන විදිහ කට කොනකට හිනාවක් ගේන සුළුයි. මේ මැද්දට ඔහු රටේ යුද්ධයක් තියෙන බවත් ගේනවා. ගෙනැල්ලා ඒක බෝම්බයක් වගේ අතෑරලා ආයෙ වෙන දෙයක් කියන්න ගන්නවා.
අචලා වතුර ගෙනැත් දුන්නෙ දියේ ගිලෙන්න යනකොට. කථකයා ඒකට ස්තූතියි කියනවා. ඒ අස්සේ කුසුමී අහනවා ඔයා හීන දකිනවද කියලා. අවධියෙන් ඉන්නකොටත් සිහින දකින කථකයා කුසුමිගෙන් අහන්නෙ නින්දෙදිද කියලා. බලන්න මේ සංවාදවල තියෙන නුහුරු නුපුරුදු ගතිය. කිසි වර්ණනාවක් නෑ. කෙලින්ම ප්‍රශ්නෙ අහනවා, කෙලින්ම උත්තරේ එනවා. හැබැයි මේවා පෙම් කවි.
ඒ අතරේ කවියේ මුලම නැතිවෙච්ච ලියුමක් හොයනවා. ලියුම එවලා තියෙන්නෙ සීතා. මේ ලියුම් සෙල්ලම ඔහු නිතර පාවිච්චියට ගන්නවා. ඒකෙන් යම් හැඟවුමක් නිතරම කවිය ඇතුළේ තවරනවා. ඒක නිකං ආදරය ගැන ‘අදහස’ ලියුම්වල හංගනවා වගේ වැඩක්. මේ අපි නොදන්න ඔක්කොම තියෙන්නෙ ඒ නැතිවුණ ලියුම්වල. වරක් කියවලා නැවත කියවන්න බැරි වුණ ලියුම්වල.
හාද්ද හම්බ වුණේ මාරියාවෙ 10 වැනි කවියෙදි. ඒ කවියේ මැදක මෙන්න මෙහෙම පේලි හතරක් හම්බවෙනවා. ඊටත් පස්සේ කවියේ අවසාන පේලි හත.
……සත්තු මට කැමති උනේ නෑ
කුරුල්ලොවත්
ඒත් විස්වාස කරන්න පුලුවන්ද
ඔබ මට කැමති වෙලා…………
……ඔබේ ඇරිඇරි වැහුනු තොල්
එතකොට
ලාවට
මගේ කම්බුලක ගැටුනා
ජීවිතේට
මං ලබාපු
එකම තෙතමනය ඒකයි
හාද්ද කිව්වම අපි බලාපොරොත්තු වෙන්න සෘංගාරමය කතාව මේ කවියෙන් අපිට හම්බ වෙන්නෙ නෑ. හැබැයි හරිම මෘදු විදිහෙ සනීප හැඟීමක් දෙන කම්මුලකට ලැබෙන හාදුවක් නම් කවියෙ අන්තිම තියෙනවා. ඒකත් හාදුවක්ම නෙවෙයි; නොවෙන්නෙත් නොවේ වර්ගෙ එකක්. ‘ලාවට කම්මුලක ගැටීමක්’. මේ වර්ගයේ පෙම් කවි මම මීට කලින් කියවලා නෑ. මම කලින් කියවපු බහුතරයක් පෙම් කවිවල ප්‍රේමය ගැන කියන්න පුදුම හදිස්සියක් තිබ්බේ. අනික ඒවා හරිම වේගයෙන් ගලං යන ජාතියේ ඒවා. මේවා ස්ලෝමෝෂන් පෙම් කවි. චලන චිත්‍ර එක්ක එන පෙම් කවි. බෝඩින් නෝනාගේ බාලම දුවගෙ ඇරිඇරි වැහුනු තොල්, එයා උලුවස්ස යට හිටගන්න විදිහ සහ කථකයාගේ වෙව්ලන අත, ඒ අත උරහිස උඩින් ඉස්සෙන විදිහ, සරනේරුවෙ රැදෙන විදිහ. මේක පොඩි චිත්‍ර කතාවක්. කවියාට ඕනා කරන්නෙම කියවන්නාව අවුලෙන් අවුලට දාන්න. ඇත්ත, කියවන්නෙක් වෙච්ච මම දැන් ඉන්නෙ අවුලෙන් අවුලකම තමයි. එහෙම තමයි ඔහුගෙ කවි. මොකද අජිත් තිලකසේන කියන්නෙම අලුත් භාෂාවක්.
[2024 ජූලි 12 දා පැවැති ‘චැටි සොසයිටි’ සූම් සංවාද වැඩසටහනේදී ‘සාහිත්‍යයේ අජිත් තිලකසේන ධාරාව හෙවත් ‘කියන විදිහ’ කියවීම’ මාතෘකාව අනුව කළ කෙටි අදහස් දැක්වීමයි මේ.]
කාංචනා අමිලානි | 2024 ජූලි 12 | සිතුවම : සුපුන් කුරේ