කඩවසම් පහේ කල්ලියේ
මාරා තලේක් දමනය

මාරා තලේක් ගංගාව එදා හැසිරුණේ දියට බසින ඕනෑම ජගතකුට “පාඩමක් උගන්වමි!!” කියන ලතාවකිනි. ගංගාවකට එහෙව් රහක් යෑම සාමාන්‍ය දෙයක් යැයි නොසිතමි. එහෙත් ගංගාවකට පවා තමන්ට ආවේණික ප්‍රශ්න තිබිය හැකිය. තලේක් ගංගාව එහෙව් හැසිරීමක් ප්‍රකට කරන විට ගංගාවේ එහා ඉවුරේ හුන් ටැනෝ බෝරා ලෙස බෞතීස්ම ලත් කඩවසම් චීටාවන්ගෙන් සැදුම් ලත් පහේ කල්ලිය සුස්ම පිඹිමින්, එහා මෙහා නොසන්සුන් සිතින් ඇවිදිමින් සිටියෝය. ගං දිය තම චණ්ඩ බව ප්‍රකට කළත් ටැනෝ බෝරා කල්ලියේ පිරිමි ගංගාවකට පැරදෙන්නට ලෑස්ති නොවූවෝය. එකෙකු ගං ඉවුර මත තිබූ සමතලා ගලක වාත්තු කළ පිළිමයක් සේ වාඩි වී බලා සිටින්නට විට. තවකකු උඩු හුළඟට ඉව කරන්නාක් මෙන් අභිනයකිනි. දැඩි අධිෂ්ඨානය මුසු බැල්ම සේම කැලඹීමක් ද මොවුන් වෙතින් පෙනෙන්නට තිබුණි. බාගදා ඒ තමන් ගන්නට නියමිත තීරණයේ අවදානමත්, බරපතලකමත් තරාදියේ එක පසෙක ලා අනෙක් පසට තම වුවමණාව ලා බර කිරා බලන මනෝමය මොහොත විය හැකිය.

මේ සියල්ල ස්වකීය කැමරා ලෙන්සය ඇතුළතින් සජීවීව නැරැඹූ බුද්ධිලිනී ඩි. සොයිසා මදක් නැවතිල්ලේ කතාව පටන් ගත් හෙයින් ම’විසින් ඇඳි මනෝමය සිතුවම මදකට හකුලා ගතිමි.

“මම මේ පින්තූර ටික ගත්තෙ 2020 ජනවාරි මාසෙදි. ඒක අපි කෙන්යාවෙ මසායි මාරා උද්‍යානයට ගිය අට වැනි වතාව. ඒ කියන්නෙ කොවිඩ් නිසා රට වහන්න කලින් අන්තිමට ගිය ට්‍රිප් එක. අපි ජනවාරියෙ කෙන්යාවට ගොඩබහින කොට හරිම අසාමාන්‍ය වැස්සක් වැටෙමින් තිබ්බා. මේ වාතාවරණෙත් එක්ක මසායි මාරා යන එක වෙනම වික්‍රමාන්විත වැඩක් වුණා. මොකද ඒ වෙනකොට මාරා වගේම තලේක් ගංගා පිටාර ගලමින් තිබ්බෙ. අපේ මඟ පෙන්වන්නාට සුපුරුදු කෑම්ප් එක වෙන්කර ගන්න බැරි වුණා. මසායි වැඩිහිටියන් පවා මේ මහා ගංවතුර ගැන පුදුමයට පත් වෙලයි හිටියේ. ඔවුන්ගේ ජීවිත කාලෙටම මේ තරම් භයංකාර ගංවතුරක් දැකලා තිබිලා නෑ.

අට වැනි වතාවටත් මසායි මාරා යන්න මට සාධාරණ හේතුවක් තිබ්බා. ප්‍රසිද්ධ ටැනෝ බෝරාවන් පස් දෙනාගෙ පින්තූර ගන්න මට ලොකු වුවමණාවක් තිබ්බා. මේ චීටාවන් පස් දෙනාව කලින් මම දැකලා තිබ්බත් හිතේ හැටියට පින්තූර ගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. මොකද මෙහෙම පිරිමි චීටා පස් දෙනෙක් කල්ලි ගැහිලා ඉන්නවා මීට කලින් කිසි කෙනෙක් දැකලා තිබුණේ නෑ. අපි අලුත් කෑම්ප් සයිට් එකට ගියාම දැනගන්න ලැබුණෙ හිත දුකෙන් පුරවන ආරංචියක්. බලාපොරොත්තු රහිත ගංවතුර නිසා චීටා කල්ලිය ගඟේ අනිත් ඉවුරෙ කොටු වෙලා කියලා අපේ මඟ පෙන්වන්නා කිව්වා. බොහෝ දුරට අපිට ඒ අයව දකින්න බැරි වෙයි කියලයි ඔහු කිව්වෙ. අපි බොහොම දුකෙන් නින්දට ගියා.

දෙවැනි දවසේ දුක වැහිලා යන ලස්සන ආරංචියක් අරන් ආවේ අපේ මඟ පෙන්වන්නාමයි. ටැනෝ බෝරා කල්ලිය තලේක් ගංගාව ආසන්නයේ ඉන්නවා කියලයි මඟ පෙන්වන ඇන්තනි කිව්වේ.

ඔවුන් මේ වතාවේත් ගංගාව තරණය කරන්න ඉඩ තියෙන බව අත්දැකීම් බහුල ඇන්තනීගෙ මුවින් පිට වුණාම ආයෙත් බලාපොරොත්තුවේ මල් පිපුණා. ඒ වෙනකොට අපි සිංහයොන්ගෙ ආඩම්බරකාර ඉරියව් පින්තූරවලට අල්ල ගනිමින් හිටියේ. සිංහ ආඩම්බරය එයාලටම තියාගන්න කියලා අපි එන්න ආවා තලේක් ගඟ දිහාට. සිංහයො වගේද චීටාවරු පස් දෙනා?

ඒ වෙලාවෙ ගඟේ සැර කොයිතරම් ද කියලා අපි දැක්කා. චීටාවෝ මේ ගඟ තරණය කරාවි කියලා මම හීනෙන්වත් හිතුවෙ නෑ. ඒත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන් කියලා තීරණේ ඉදලා අපි ගං ඉවුරෙ නතර වෙලා බලාගෙන හිටියා.”

යළිත් බුද්ධිලිනීගේ කැමරාවේ ලෙන්සයට මගේ මනෝමය ඇස යොමුවෙන් ඒ තුළින් සුනම්‍ය චීටාවකුගේ වාත්තු කළාක් මෙන් රූපයක් පෙනෙන්නට විය. “අන්න…අන්න..උං ගඟට බහින්න හදන්නෙ!”

මගේ මනෝමය කටහඬ මහ හඬින් බෙරිහන් දුන්නත් බුද්ධිලිනීගේ ඇස මදකට හෝ නොසෙල්වුණි. සිදු වන්නට යන දෙය මට පෙර ඈ දැන සිටියාක් බඳුය. එක්කෝ චීටාවන් හා ඈ මනෝමය සංවාදයක නිරතව සිටින්නට ඇත. ඇසට ඇස දී ඔවුනොවුන් එකිනෙකා දෙස බලා සිටින්නේ ඒ නිසා විය හැකිය.

“චීටාවන් පස් දෙනා තලෙක් ගඟේ එහා ඉවුරෙ ඉන්නකොට මොනවද හිතුණේ? උන්ගේ ඊළඟ පියවර මොකක්ද කියලා දැනුණද?” ප්‍රශ්න නොඅසා සිටීමට හික්මීමක් නැති හෙයිනි ඒ.

“චීටාවෝ පස් දෙනා ගඟෙන් එගොඩ වෙන්න හදනවා කියන ඉගිය ආපු ගමන් හැඟීම් දෙකක් ආවා. මේ අය ගඟ තරණය කළොත් ඒක මගේ ජීවිතේ දකින්න ලැබෙන දුර්ලභම සිද්ධියක් වෙනවා. අනෙක මීට කලින් මීට අඩුවෙන් වතුර තිබුණ කාලවල පවා මෙගොඩට එන්න උත්සාහ කරපු චීටාවන්ව ඒ වතුරෙ ගහගෙන ගිහින් තියෙනවා. මේ අති විශේෂ චීටාවො පස් දෙනා ඒ ඉරණමට ගොදුරු වුණොත් කියන බය මගේ හිතට ඇතුළු වුණා.

අපි පැය ගාණක් එහා ඉවුරෙ ඉදන් මේ අයගෙ හැසිරීම බලන් හිටියා. වෙන පොඩි ඉවුරුවල උඩ-පහළ යමින් සෑහෙන වෙලාවක් චීටාවෝ පස් දෙනා කාලය ගත කළා. වතුරට බැහැලා බලන්න උත්සාහ කරනවා වගේ පෙනුණත් වතුරට පැන්නෙ නැහැ. මෙහෙම ගිහින් හැන්දෑවත් ළං වුණා. ඒ වෙද්දි අපි ඔක්කොම අදහස අතෑරලා හිටියේ. මෙන්න එක පාරටම කණ්ඩායමේ නායකයා හරිම ලස්සන පිම්මකින් වතුරට පැන්නා. ඒක හරිම ක්ෂණයකින් වුණේ. නායකයා පීනන අතරේ තවත් තුන් දෙනෙක් වතුරට පැන්නා. ඒත් පස් වෙනියා හිටියේ දෙගිඩියාවක. එයා වෙන කුඩා ඉවුරු හොය හොයා එහා-මෙහා දුව දුවා උන්නා. ඒ නිසයි පස් වැනියෙක් ‘A Great Swim’ පින්තූරෙ නැත්තෙ. ඒත් ටික වෙලාවක් ගිහින් එයත් වතුරට පැන්නා.

පස් වැනියා ටිකක් අමාරු මාර්ගයක් තීරගෙන පීනමින් හිටියේ. සාමාන්‍යයෙන් චීටාවො වතුර සැර තැන්වලින් එගොඩ වෙන්න ප්‍රිය කරනවා. ඒකට එක හේතුවක් එහෙම සැර වතුර පාරක කිඹුල්ල නැති එක. මොකද එයාලගෙ එකම ජීවිත තර්ජනය මේ ගංගාවල ඉන්න කිඹුල්ලුයි. මොන ක්‍රමයකින් හරි කිඹුල්ලු මඟාරින්නයි එයාල උත්සාහ කරන්නෙ. ඒ වගේම ඒ අය හරිම ශක්තිමත් පිහිණුම්කාරයෝ. වතුරෙදි හරිම පහසුවෙන් මේ අය හැසිරෙනවා. ඒත් අපේ මසායි මඟ පෙන්වන්නාගෙ නම් කට ඇරිලා තිබුණේ. මේ තරම් සැර වතුර පාරක් හරහා කිසිම චීටාවෙක් පීනනවා එයා ඊට කලින් දැකලා නෑ කියලා කිව්වා.

මීටර් 100ක් විතර ගඟේ පහළට පීනගෙන එනකොට ගොඩබිමකට ආසන්න වෙනවා කියලා අපිට පෙනුණා. එතකොටයි ඇත්තටම හුස්මක් වැටුණේ. මොකද තප්පර 10–15කදි විතර චීටා රංචුව නොපෙනී ගියා. අපි හිතුවෙම එයාලා ගිලෙන්න ඇති කියලා. ඒත් ඊළඟ මොහොතෙ වතුරෙන් උඩට ඔළුව උස්සලා ගොඩබිමට ළං වෙනවා දැක්කම සතුට වැඩිකමට අපි එකිනෙකා බදාගත්තා. අපේ ඇස්වලින් සතුටු කඳුළු වැක්කෙරුණා. ඒක නිකං සියදිවි නසා ගැනීමේ උත්සාහයක් වගේ එකක්. ගොඩබිමට ආපු ගමන් චීටාවෝ කැලෑව පැත්තට දිව්වෙ ගොදුරක් අල්ලගන්න. මුලින්ම හයිනාවෙක්ගෙ පස්සෙ එළවලා ඒක අසාර්ථක වුණාම තවත් සතෙක් පස්සෙ එළවනවා මම දැක්කා. ඒකත් වැරැදුණ දඩයමක්. හවස 05 වගේ වෙද්දි අපි එතනින් එන්න ආවා.”

නායක චීටා ඉදිරි ගාත්‍ර මදක් ඇතුළට නවමින්, සුනම්‍ය සිරුර අලංකාරිත ආකාරයකට නවමින් ජලයට පනින දසුන මම යළිත් මනසින් පසුපසට ධාවනය කර නැරැඹුවෙමි. මන්ද ධාවනයක් සහිතව ඔහුගේ පිම්මෙන් හාත්පස ජලය විසිවෙන ආකාරය බැලුවෙමි. එතරම් අලංකාරයක් චීටාවකු අත්පත් කර ගත්තේ කෙසේද? ත්‍රාසජනක වාර්තා චිත්‍රපටයක රූප රාමු කිහිපයක් සේ පෙනෙන මේ එකිනෙක බැදි සේයාරූ ගොන්න වේගයෙන් දුව වන්නට සැලැස්වූ පසු චලන චිත්‍රයක් මවා ගත හැකිය. කතා කරන ඡායාරූප යැයි විරුදාවලි ලබන්නේ මෙවන් සේයාරූ විය යුතුය.

“සිංහයො බැලිල්ල අතෑරලා චීටාවන්ගෙ පින්තූර ගන්න එනකොට මේ වගේ හැඟීම්බර පින්තූරයක් ගන්න ලැබෙයි කියලා හිතුවද?”

ඕ නැවතිල්ලේ පිළිතුරු දෙයි.

“කොහෙත්ම නෑ. හොඳ පින්තූරයක් ගන්න ලැබෙන එක වාසනාවක්. ඒකට ඉවසීමයි හරිම වෙලාව එනකන් සිටීමයි බලපානවා. මේ වගේ නොඉවසිල්ලෙන් බලා හිටපු අවස්ථා ගොඩක් තියෙනවා. එක්කො සිංහයො දඩයම් කරන වෙලාවක්, එහෙම නැත්නම් දිවියෙක් නිදාගෙන නැගිටිනකන් බලා ඉන්න එක වගේ. ඒත් මෙහෙම දෙයක් කවදාවත් වෙලා නෑ. අපි මේ ඉවුරෙ බලා හිටියට ඒ මුළු දවසම නාස්ති වෙලා යන්නත් ඉඩ තිබ්බා. චීටාවො පස් දෙනා ගඟ තරණය නොකරන්නත් තිබ්බා. මොකද පහුගිය දවස් කීපයේම එයාලා ගං ඉවුරට ඇවිත් ගඟට බහින්නෙ නැතිව ආයෙ හැරිලා ගිහිල්ලා තිබුණා. හැබැයි ඒකම තමයි සත්තුන්ගෙ පින්තූර ගැනීම කියන්නෙම. හොඳම දේ වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න එකයි අවස්ථාවක් එනකන් ඉවසිල්ලෙන් බලා ඉන්න එකයි මූලිකම. කාලයක් ගියාම සත්තුන්ගෙ හැසිරීම බලලා අනුමානවලට එන්න පුළුවන්. ඒත් අපිට හරියටම කියන්න බෑ ඒ අය ඊළඟට මොනවා කරාවිද කියලා. වන සත්ව පින්තූර ගන්නවා කියන්නෙම ඉවසීම ප්‍රගුණ කරන එකටයි.”

ඇගේ කටහඬේ ඒ ඉවසීම ඇති පදමට ඇතැයි මට සිතුණි.

“මේ අපූරු පින්තූරය ගන්න ඔබ පින්තූර කීයක් ක්ලික් කළාද? පරිපූර්ණ පින්තූරයක් ගත්තා කියන හැඟීම ඔබට දැනුණද?” යළිත් මගේ කුතුහලය ඇවිස්සුණි. ඕ පුරුදු ලෙසම සන්සුන්ව පිළිතුරු දෙයි.

“නායක චීටාවා වතුරට පනිනකොටම මම පින්තූරයක් ක්ලික් කළාද, නැද්ද කියලා මේ දැනුත් මට මතක නෑ. ඒත් මගේ කැමරාවෙ ඔවුන්ගේ සම්පූර්ණ ක්‍රියාවලියම තියෙන බව දැක්කම තමයි දැනුණෙ නොදැනුවත්වම හැම වැදගත් අවස්ථාවක්ම මම ක්ලික් කරලා කියලා. ගඟට පනින පළවෙනි පිම්මේ ඉදන් ගොඩබිමට එනකන්ම ඒ මුළු ගමනෙම පින්තූර මම අරගෙන. හරියටම කිව්වොත් පින්තූර 40–50ක් අතර ගාණක් මම අරගෙන තිබුණා. ආයෙත් කැමරාවෙන් ආපස්සට පින්තූර ටික බලද්දි තමයි මට දැනුණෙ හරිම දුර්ලභ පින්තූර ගොන්නක් මම අරගෙන කියලා.”

මේ නැෂනල් ජියෝග්‍රැෆික් මැගසීනයේ මුල් පිටු සරසන සැම්පලයේ සේයාරූය. ඒවා ජීව ගුණයෙන් පරිපූර්ණය. මේ දැන් සේයාරුවෙන් එළියට පැන චීටාවකු මගේ කාමරයේ ලාස්‍ය ලීලා පෙන්වමින් තාන්ඩ්‍ය ගෙරවුමක් මුදා හරින්න හැකි යැයි සිතීමි. කැමරා කාචයත්, බුද්ධිලිනීගේ ඇසත්, චීටාගේ ඇසත් එකට හමු වුණ තැනක් ඒ අතර මගේ නිරීක්ෂණයට හසු වුණි. ඒ ඇගෙන් නොඅසා සිටීම මහත් වරදකි.

“චීටාවකු ඔබේ ඇස් දිහා බලා කතා කළා කියලා ඔබ කියා තිබුණා. ඒ මොහොතේ ඇත්තටම ඇති වුණ හැඟීම විස්තර කරන්න පුළුවන්ද?”

ඒ පින්තූරෙ මට හරිම විශේෂයි. කණ්ඩායමේ නායකයාගේත්, මගෙත් එක මොහොතක ඇහැට ඇහැක් මුණ ගැහුණා. චීටා මගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා වගෙයි මට දැනුණේ.

“අනේ නෝනා, ඔයා මොනවද මේ කරන්නෙ? ඔන්න ඔය ආම්පන්න බිමින් තියලා මට උදව් කරන්නකො.” ඒ වෙලාවෙ චීටාගෙ මූණෙ තිබ්බ හැඟීම පුදුමාකාරයි. ජීවත් වීම වෙනුවෙන් කරපු ඒ අරගලය මාව පුදුම කළා. චීටාගෙ මූණෙ තිබුණ අධික වෙහෙස, ගොඩබිමට ආවට පස්සෙ තිබ්බ සැනසීම පෙන්නුවෙ එයාලගෙ ජීවිත සටන්වල තියෙන බරපතලකමයි.”

ඊළඟට මට දැනගැනීමට ඕනෑ වුණේ ලෙන්සයෙන් නරඹන අතර පින්තූර ගැනීම අසීරු නැත්දැයි කියාය.

“කලින් කිව්වා වගේ ඇත්තටම මට මතක නෑ පින්තූර ගත්ත බවක්වත්. මට මතක මගේ පපුව අධික වේගෙකින් ගැහෙන්න ගත්ත කියන එකයි “අයියෝ අර මොකද කරන්නෙ? එයාලා මැරෙන්නයි මේ හදන්නෙ”කියලා හයියෙන් කෑ ගහපු එක විතරයි. පස් වැනි චීටාව වතුර යට නොපෙනි යනවත් එක්කම අපි හිත හදාගත්තා ඔක්කොම ඉවරයි කියලා. ඒ වෙලාවෙ ඇති වෙච්ච හැඟීම් වචන කරන්න බෑ. අපි ඔක්කොම හිටියෙ කඳුළු වක්කරමින්.”

සැබවි. ඒ අතිශය දුර්ලභ, මෝහනීය දසුනකි. වනජීවී ඡායාරූප ලෝලියකුට මෙවන් අත්දැකීමක් ජීවිතයටම ලැබෙන්නේ එක් වරක් විය හැකිය. බුද්ධිලිනී ගත් ඒ මායාමය සේයාරුව Wildlife photographer of the year තරගයේ ජූරියේ ඇගයීමට පාත්‍ර වන්නේද ඒ සුවිශේෂීත්වය හේතුවෙන්මය. එය ජයග්‍රහණයකට එහා ගිය අභිමානයකි. ඒ ගැන ඇගෙන්ම අසා දැන ගැනීම වටී.

“Wildlife photographer of the year තරගයට මම ඉදිරිපත් වුණේ පළවෙනි වතාවට. මේ ලෝකෙ වැඩියෙන්ම කතාබහට ලක්වෙන ලොකුම සම්මානයක්. ඒක හරියට වනජීවී ඡායාරූපකරණයේ ඔස්කාර් සම්මානය වගෙයි. මගේ ගුරුවරයෙක් සහ මඟ පෙන්වන්නෙක් වුණ රුක්ෂාන් ජයවර්ධන 2002දි මේ තරගයට සහභාගි වුණා. ඔහු හැරෙන්න වෙන කෙනෙක් ලංකාවෙන් මේ තරගයට සහභාගි වෙලා ප්‍රශංසා ලබලා නෑ. මේ පින්තූරෙ තරගෙට දාන්න කියලා ඔහු මාව උනන්දු කළා. පින්තූරෙ තියෙන දුර්ලභකම හින්දා සමහර වෙලාවට මට හොඳම 100 ඇතුළට යන්න පුළුවන් කියලයි මම හිතුවෙ. ඒත් මගේ පින්තූරෙට ජූරියේ විශේෂ සම්මානයක් ලැබෙයි කියලා හීනෙන්වත් හිතුවෙ නෑ. මොකද වෘත්තීය ඡායාරූප ශිල්පියෝ බර ගාණක් අභිබවා ගිහිල්ලයි මට ඒ සම්මානය ලැබුණේ. මේ අවුරුද්දෙ රටවල් 95කින් පින්තූර 55,000ක් තරගෙට ඉදිරිපත් කරලා තිබුණා. තාමත් මට විශ්වාස කරන්න බෑ සම්මානයක් ලැබුණා කියන එක.”

“මම වෘත්තීය ඡායාරූප ශිල්පිනියක් නෙවෙයි. මම බැංකු නිලධාරිනියක්. පින්තූර ගන්නෙ විනෝදෙට. වනජීවි පින්තූර ගන්න එකයි මගේ ආසාව. පුංචිම කාලෙ ඉදන් මගේ තාත්තා නොයෙකුත් සත්වෝද්‍යාන බලන්න මාව එක්කගෙන ගියා. ‍යන්තම් ඇවිදින්න පුළුවන් කාලෙ ඉදන්ම තාත්තා එක්ක නොයෙක් වනෝද්‍යානවල ඇවිදින්න පටන් ගත්ත එකෙන් වෙන්න ඕනෑ මේ කැමැත්ත ඇති වුණේ. ඒත් මම පින්තූර ගන්න පටන් අරන් තාම අවුරුදු 10ක් වගෙයි වෙන්නෙ. අනික මම පාවිච්චි කරන්නෙත් මිල අධික කැමරාවක් නෙවෙයි. කැනොන් 5D Mark IV කියන කැමරාවත්, 100–400mm ලෙන්ස් එකකුයි මම පාවිච්චි කරන්නෙ. ඒ වගේම අඩු ආලෝකයක් තිබ්බොත් පින්තූර ගන්න 70–200mm f2.8 ලෙන්ස් එකක් පාවිච්චි කරනවා. අපි පින්තූර ගන්න පාවිච්චි කරන කැමරාවෙ වර්ගය හරි මිල අධික කම හරි හොඳ පින්තූරයක් ගන්න බලපාන්නෙ නෑ. ඒක පාවිච්චි කරන පුද්ගලයා අතෙයි හොඳ පින්තූරයක් ගන්න හැකියාව තියෙන්නෙ. ඒ වගේම මම වැඩිය කැමති නෑ ට්‍රයිපෝඩ්, මවුන්ට් පාවිච්චි කරන්න. මට අපහසුවක් නැතිව හසුරගන්න පුළුවන් කැමරාවක් සහ ලෙන්සයක් තියෙන එකයි වැදගත් වෙන්නෙ.”

චීටාවෝ පස් දෙනා දැන් හයිනාවකු පසුපස එලවනවා ඇතැයි මට හදිසියේ සිතුණි. ඒ හැඟීමෙන් රෝම කූප මදක් ඉස්සුණි. දඩයම සහ දඩයක්කාරයන් නිතර අපව බිය ගන්වන බව සැබවි. එහෙත් වනාන්තරයේ නීතියට අනුව සෑම විටම දඩයක්කරුවන් සේම දඩයම් ද තිබිය යුතුය. ටැනෝ බෝරාවරු පස් දෙනා පෙර කී සුනම්‍ය ශරීර ලෙලවමින් යළිත් ගං ඉවුරට ළඟා වනු ඇත. හිතුණොත් යළිත් අනෙක් ඉවුරට ද පීනා යනු ඇත. තම කඩවසම් සිරුර මතින් තෙතබර ජලය ගසා දමමින් වනාන්තරයට ඇදී යනු ඇත. මේ චක්‍රීය ක්‍රියාවලිය නැවත, නැවතත් සිදු වනු ඇත. එහෙත් බුද්ධිලිනී ඩි. සොයිසා තම කැමරාවට හසු කරගත් ඒ ජනකාන්ත සේයාරුව යළි ඒ අයුරින් කිසිවකුට හසුකර ගත නොහැකි වනු ඇත.

කාංචනා අමිලානි
ඡායාරූප:
බුද්ධිලිනි ඩි. සොයිසා | Instagram | web | Blog |

පුවත්පත් සබැඳිය : https://bit.ly/3lwRdoW

Founder of http://thinkland.net | poetess| journalist| Blogger| Writer|

Founder of http://thinkland.net | poetess| journalist| Blogger| Writer|