සිංහල සාහිත්‍ය සහ ලිවීමේ විලාසය විතැන් වීම
අජිත් තිලකසේනගේ ‘පිටුවහල් කර සිටිද්දී’ කෙටිකතා පොත පළ වුණේ 1964දී. ඒ කියන්නේ අදින් නොසෑහෙන කාලෙකට කලින්. කොටින්ම මම ඉපදෙන්නත් කලින්. මේ කාලය ගැන දුර චිත්‍රය නිර්මාණයකට වලංගු නැති බව කෙනෙක් නැගිටලා කියන්න පුළුවන්. ඒ වගේම මට ඒ කෙනාට කියන්නත් පුළුවන් ‘තමුන් වාඩිවෙලාම ඉන්නවා හොඳයි’ කියලා. කාලය විසින් අපිට ඇති කරන බලපෑම තරමක් සංකීර්ණයි කියලයි මම හිතන්නේ. මම නොදන්නා කාලය සහ මම දන්නා කාලය අතර ලොකු හිඩැසක් තියෙනවා. වෙනත් කෙනෙකුගෙන් අහලා දැනගත් තොරතුරුවලට වඩා මම විස්වාස කරන්න කැමති මට දකින්න ලැබුණ තොරතුරු සහ අත්දැකීම්. ඒවායේ මම නිර්මාණය කරගත්ත සමීපකමක් තියෙන නිසයි එහෙම වෙන්නේ. නමුත් මෙන්න මේ මම නොදන්න කාලයේ යමක් මට දැනගන්න ලැබෙන විදිහ අනුවත් ඒ තොරතුර ගැන මම සලිත වෙන, පුදුම වෙන සහ ඒකට ආශක්ත වෙන යම් ආකාරයක් තියෙනවා. ඉන් එකක් තමයි සාහිත්‍ය කියන්නේ. ඊට පස්සෙයි චලන චිත්‍රය ඇවිල්ලා ඇගේ හැපෙන්නේ.
අජිත් තිලකසේන සහ ඔහුගේ නිර්මාණ ගැන තමන්ගෙ හිතේ යම් ආලෝකයක් පත්තු කරගන්න නම් සාහිත්‍ය කෘති වගේම චලන චිත්‍රයත් එක්ක හැප්පෙන්න වෙනවා. ඔහුගේ ලිවීමේ විලාසය මීට කලින් අපිට හමුවෙලා නෑ. ඔහු කතාවක් කියන්න උත්සාහ කරන්නෙ නෑ. කතාවක ශේෂ හෝ කතාවකට ඕන කරන අඩුම කුඩුම ටිකක් ඔහු අපිට නොපෙනෙන ඈතක ඉඳන් වීසි කරනවා. ඒ අඩුම කුඩුම ටික අහුලගෙන පිළිවෙළට හෝ අපිළිවෙළට ගැලපීමෙනුයි අපිට කතාවක් ලැබෙන්නේ. හැබැයි අපිට කතාවක් ඕනා නැත්නම් එහෙම ඇමිනීමක් ඕන වෙන්නෙත් නෑ.
අජිත් තිලකසේන හැඟීම් සහ වැසුණු කල්පනා ලියන්නෙක් විදිහට අඳුනගන්න පුළුවන්. සෙසු ලේඛකයෝ තමන්ගේ වැසුණු කල්පනා හෝ පිටත අවකාශයට නොපෙන්විය යුතු කල්පනා මොකක් හෝ පාලන යතුරකින් මේච්චල් කරගන්නවා. එනිසාම ඔවුන් නිතරම සභ්‍ය සහ ස්වභාවික ලිවීමකුයි පිටත සමාජයට ඉදිරිපත් කරන්නේ. මේ පාලන යතුරු සෙල්ලමෙන් මිඳුණු තිලකසේන ඉතා සියුම් ලෝකයක් අපිට විවෘත කරලා පෙන්නනවා. මේකට හොඳම උදාහරණය මට හම්බවුණේ ‘පිටුවහල් කර සිටිද්දී’ කෙටිකතා පොතේ පළවෙනි කෙටිකතාවෙ ඇතුළේ තිබිලා. කෙටිකතාවෙ නම ‘තනිකඩයා’
“වාතයේ තෙතමනය නිසා මට හිතිය නොහැකිය.” වාතයේ තෙතමනය නිසා තමන්ට හිතන්නට බැරිය කියා කියන මිනිහෙක් මීට පෙර ඔබට මුණගැහිලා තියෙනවාද? ඒ මොන තාලේ කතාවක්ද? හිතන එක නවත්තන්න වාතයේ තෙතමනය කරන කෙංගෙඩිය මොකක්ද? “ඈ තවත් කෙනෙකුට අයිති වී සිටීම මා කරදරයට පත් කළේය.” ඒ මොන ජාතියේ කරදරයක්දැයි ඔබට ලිහා පැහැදිලි කරගන්න පුළුවන්ද? ඔබට එය කරන්න බැරි විත්තිය දන්න නිසාම ඔහු ඊළඟ පේලියේ උපකාරක අවස්ථාවක් ඉදිරිපත් කරනවා. එනම් දිනක් සිනමා ශාලාවකදී ඔහුට ඉදිරියේ හිස් අසුනක් දැකීමෙන් හිත කරදරයට පත්වූවා වැනිය කියලා. සුදු ගවුමක් ඇඳගත් පාසල් ශිෂ්‍යාවක් ඒ ආසනයේ වාඩි වුණාට පස්සේ ඒ හිතේ කරදරය නැතිව ගිහින් තියෙනවා. මේ හිතීමේ විලාසය කියවන ඔබේ හිතේ කරදර ඇති කරනවා නේද? මගේ හිතේ නම් කරදරයට පත් වෙනවා. මේ ලියන්නේ ඒ කරදරයට පත්වුණ එකෙන් ගැලවෙන්නයි.
“තාර පාර දෙසින් වාහන ශබ්දයක් ඇහුනෙන් ඒ යන්නේ ලොරියක් නම් ඔක්කොම හරියාවි යැයි මට සිතුණේය.” හැම වෙලාවකම කෙනෙකුට විකාර රූපී හෝ උමතු ලිවීමක් කියලා හිතෙන්න පුළුවන් යමක් තිලකසේන හැම වාක්‍ය හය-හතකටම වතාවක් ලියනවා. නමුත් ඔහු අඳිමින් ඉන්න කෙටි චිත්‍රයේ මානසික ස්වභාවය කියන්න මේ විකාරරූපී වාක්‍ය දෙන්නේ ලොකු උදව්වක්. ඉතාම සාමාන්‍ය මනුස්සයෙකුගේ ‘යථ’ ගොඩක් වෙලාවට ඔහුගේ කතාවලින් එළියට පනිනවා. ඒවායේ හික්මීමක් නැතිවෙන්න පුළුවන්. තරමක උමතු ගතියක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම අර්ථයක් නැතිවා වාගේ පේන්නත් පුළුවන්. මේක තමයි ඔහු පාවිච්චියට ගන්නා ‘භාෂාව’. ඔහුගේ ලිවීමේ විලාසය තේරුම් ගන්න නම් අන්න ඒ භාෂාව තේරුම් ගන්න උත්සාහ කරන්න වෙනවා.
අපි හිතන් ඉන්නෙ හැමෝටම පොදු භාෂාවක් තියෙනවා කියලා. ලංකාවෙ නම් සිංහල තමයි පොදු භාෂාව කියලත් අපි හිතන්න උත්සාහ කරනවා. ඒත් පොදු භාෂාව කියන්නේ එහෙම එකක් නොවෙන්න පුළුවන්. සිතීමේ පරාස අතර තියෙන හිඩැස් එක්ක අපිට පොදු භාෂාවක් හොයාගන්න සෑහෙන්න අමාරු වෙන්න පුළුවන්. සිංහල කියන්නෙ එක භාෂාවක් මිසක් පොදු භාෂාවක් නෙවෙයි. ඒ වගේම සිංහල ලියන විධි, කතා කරන විධි අතරත් මෙන්න මේ පොදු සාධකය එහෙට මෙහෙට පාවෙනවා. එහෙම බැලුවම තිලකසේන කතා කරන, ලියන භාෂාව පොදු සමාජයේ මිනිස්සුන්ගෙ භාෂාව නෙවෙයි. ඒක තිලකසේනගේ නිෂ්පාදනයක්. දූපතක් ඇතුළේ නොපෙනෙන දූපතක් වගේ එකක්.
අන්න එහෙම මොහොතක තනි පුද්ගල නිෂ්පාදනයක් වුණ භාෂාවක් තේරුම් ගන්න එකත්, ඒ අනුව සංවාදයක් පවත්වගෙන යන එකත් තරමක් අසීරු වැඩක්. මේ සංවාදය නිතරම කුඩා තීරුවක් ඇතුළේ පැවතුණේ ඒ හින්දාම වෙන්න පුළුවන්. මහ සමාජය ඇතුළේ තිලකසේන කියන්නේ දුර චිත්‍රයක් වෙන්නත් ඇත්තෙ ඒකයි. ඔහුට ළං වෙන්න ක්‍රමයක් නැතිව බහුතරයක් පසුතැවෙන්නත් ඇති.
ඔහුගෙ භාෂා සෙල්ලම ගැන මුලින් මහා සමාජය බොහොම කැළඹුණෙත් ඒකම වෙන්න ඇති. නමුත් ඔහුට පූර්ව ලේඛකයෝ වගේම පහුකාලීන ලේඛකයො ගොඩක් මේ ‘හදිසි භාෂා පෙරලිය’ දැන, නොදැන තමන්ගෙ වැඩ කරමින් කාලය ගත කළා. ඉතාම සුළුතරයක් මේ භාෂා පෙරලියෙන් විස්මයට පත් වෙලා තමන්ගේ ලිවීමේ ලාලසාවට ඒවායේ කෑලි-බෑලි එකතු කරගන්න වුණා. නමුත් තිලකසේන කියන්නෙ එහෙම අනුකරණය කරන්න පුළුවන් ලේඛකයෙක් නෙවෙයි. ඔහුගෙ සාරය උරාගන්න සමත් කිහිප දෙනෙක් මේ අතරේ උන්නා. ඉන් වැඩිම සමත්කමක් දැක්වූයේ කේ.කේ. සමන් කුමාර. ඔහුගෙ ලිවීමේ තිලකසේනගෙ ලිවීමේ සාරයෙන් වැඩි ප්‍රමාණයක් දකින්න පුළුවන්.
දැන් ආයෙත් ‘තනිකඩයා’ කෙටිකතාවෙ අවසානෙට අපි මාරු වෙනවා.
“මට දේවල් සිද්ධ කළ හැකි හෙයින් මම සිටිමි”. අන්න එහෙමයි මේ කෙටිකතාව ඉවර වෙන්නේ. මේ කතා නායකයා ගැහැනුන් එක්ක තියෙන සම්බන්ධකම්, වෙන අයගේ ගැහැනුන්ට ආසා කරන එක වගේ දේවල් කියවන්නාට අහුවෙන එක වළක්වන්නත් ඕනාකමකින් පෙළෙනවා. එතකොට එයා උදාන වාක්‍යයක් කියනවා. ඒ උදාන වාක්‍යයෙන් තමයි කතාව ඉවර වෙන්නේ.
ඔහුගේ ලිවීමේ විලාසයේ තියෙන විස්මය කියවන්නා ළඟ ඉතිරි වෙන්නෙ මෙන්න මේ වගේ අවසානවලින්. ලේඛකයාගේ අධිපතිභාවය පෙන්නන්න ඕනෑ නෑ කියලා අඟවන ගමන්ම අධිපතිභාවය පෙන්නන එක. මම ආශක්ත වෙන්නෙ අන්න එහෙම දේවල්වලට.
“උහ්! බෙල්ල කපනව වගේ මට දැනෙන්නෙ. හුළං…” ‘දේවතා කන්ද’ කෙටිකතාව පටන් ගන්නෙ අන්න එහෙම. ඔහුටම ආවේනික උපමා රූපක ආදිය වෙන විශ්වයක් හදනවා. දූපතක් ඇතුළේ කුඩා දූපතක් හදනවා වගේ තමයි. ලොකු ලෑස්තියක් ඇතුවයි මේ විශ්වයට කියවන්නාට ඇතුළු වෙන්න සිද්ධ වෙන්නේ. මොකද එහෙම සූදානමක් නැතුව ඇතුළු වුණ ගොඩක් අය අතරමං වුණ බවක් පේන්න තියෙන නිසයි මම එහෙම කියන්නේ. කෙටිකතා පොතක් කියවන්න සූදානම් වෙනවා කියන්නෙම වෙනත් වැඩක්. සාමාන්‍යයෙන් පොතක පෙරවදනෙන් සහ කතාවලට පිවිසෙන්න තියෙන හිස් පිටු, පටුන, පිදුම ආදියෙන් තමයි වෙනත් කතන්දර ආදියට අපිව අවිඥානිකව සූදානම් කරන්නේ. මේ සූදානම හරිම ක්ෂනිකයි. ඒ වගේම රළුයි. ඒත් එතන තියෙන අවිඥානික ගතිය නිසාම කියවන්නො ඒ ගැන ඒ තරම් වධ වෙන්නෑ. ඔවුන්ට ඒකට අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ. නමුත් තිලකසේනගේ සාහිත්‍යයට ඇතුළු වෙන්න ඊට වඩා ලොකු සූදානමක් ඕනවෙනවා.
මේ උපුටන එන්නෙත් ‘දේවතා කන්දෙ’න්.
“ඔයාගෙ පපුව ගැහෙනව මට මෙහාට ඇහෙනව.”
“නෑ. ඒ බිත්ති ඔරලෝසුවෙ බට්ට යනව.”
“දෙපැත්ත කාන්තාරෙ. තෙතමනයක් නෑ. දිය සීරාව හරියෙ ගන කැලේ. අකුල් බකුල්. කටු බටු.”
ඔහුගේ ආදර කතා ලිවීමේ විලාසයත් අපිව විලම්බීත කරවනවා. ඔහු ජීවත් වෙලා තියෙන විශ්වයත්, අපි ජීවත් වෙලා තියෙන විශ්වයත් අතර මොකක්දෝ නොපෑහීමක් තියෙන බව දැනෙන නිසා තමයි මේ විලම්බීත ගතිය අපි අතරින් ගලාගෙන යන්නේ. භාෂාව එක්ක ආයෙත් අපිට සටන් කරන්න සිද්ධ වෙනවා ඔහු කියන දේ හරියාකාරයෙන් තේරුම්ගන්න. මේ භාෂා සටන් එච්චර ලේසි ඒවා නෙවෙයි. ඒවා ඇතුළෙන් ලේ නොගැලුවට අධික මහන්සියක් අපිට දැනෙන්න ගන්නවා. ඒ මහන්සිය අපිව නොමග හරින්නත් පුළුවන්.
“යුද්දෙ. අහසෙ මහ මලකඩ පාටක්. නිල් පාටක් දැක්කෙම නෑ අද.”
“යුද්ධ පුස්ඹයි හුලඟ උනත්.”
“බෙංගාලෙ ඉදලා මං මේ ආ හුස්මට හින්ද සිංහල කතා කරද්දි තවමත් මගෙ දිව පැටලෙනවා. මම කිව්වෙ කොහිල දලුයි අලයි. අමී ජා බොල්චි තුමී කී බුජෝ?….”
“බෙංගාලෙ පොල් තෙල් නැති හින්දද ඔයාගෙ ඔලුව අවුල්?”
මේ උපුටන ‘යුද්දෙ’න්. ඔහු කියන්නෙ අහස මලකඩ පාටයි කියලා. හුළඟ යුද්ධ පුසුඹයි කියලා. කාලය ගැන ගැටලුව මාව වෙලාගන්නෙ මෙන්න මේ වගේ වෙලාවල. මම නොදන්න යුද්ධයක් ගැන මගේ හිතේ කටු චිත්‍රයක් ඇඳගන්න තරමක් වෙලාවක් ගතවෙනවා. ඊට පස්සෙයි මම කතාවට හූමිටි තියන්න ගන්නේ. කියවන්න ඕන කරන සූදානමක් ගැන මම කලිනුත් කිව්වෙ මෙන්න මේ නිසා. ඒ සූදානම ඇති-නැති ගතිය අපිව බඹරයක් වගේ කරකවනවා අතොරක් වෙලාවට. කියැවීමට කැරකැවීමක් ඕනෑ නෑ කියලා කෙනෙකුට කියන්න පුළුවන් වුණාට කැමැත්තක් ඇතිව හෝ නැතිව අපට කැරකැවීමක් ලැබිලා තියෙනවා.
“ඔයා දන්නව මට කෙනෙක්ගෙ හැඩ රුව විස්තර කරන්න බැරි විත්තිය.”
ලේඛකයා මෙතනදි කියන්නෙ සර්ව සම්පූර්ණ ඇත්තක්. කතා නායකයා වගේම කිසිම මොහොතක ලේඛකයා කාවවත් විස්තර කරන්නෑ. මම කියන්නෙ ඔහු ඇත්ත ලෝකයේ කිසිවක් පොදු භාෂාවකින් විස්තර කරන්නෑ. ඔහුගේ විස්තර කිරීම් ඔක්කෝම තියෙන්නෙ අර මම කලින් කියපු අලුත් භාෂාවෙන්. ඒවා ඉඟි, උපමා, රූපක, සිද්ධි සහ ස්ථාන විදිහටයි එළියට එන්නේ. කියවන්නාට ඉවසීමක්, ලෑස්තියක් තියෙනවා නම් විතරක් කතාවේ හැඩ රුව හරි තමන්ට දැනකියාගන්න ඕනය කියලා හිතෙන ‘යමක්’ දැනගන්න පුළුවන්. හැබැයි ඒ දැනගැනීම කියවන්නාට තමන්ගෙ භාෂාවට පරිවර්තනය කරගන්නත් මෙතනදි සිද්ධ වෙනවා.
සූදානම, ගෙදර වැඩ වගේම අමතර මහන්සියක් අජිත් තිලකසේනගේ සාහිත්‍ය කියැවීමට කෙනෙකුට වැය කරන්න වෙනවා. එහෙම භාෂාත්මක කප්පමක් හරි වියදමක් හරි ඉල්ලා හිටින්න ලේඛකයෙකුට පුළුවන් කියන්නෙම තරමක පුදුමයක්. අපූර්වයක්.
“මං ආවෙ හයියෙං. බස් එක හයියෙං ආපු විදිහට දුරවල් තවත් ඉතුරු උනේ නෑ.”
මෙතනදි දුර ගැන කියැවෙන සංකල්පය ආයෙත් මනස විකල් කරවනවා. වේගය විසින් දුර අහෝසි කරනවා කියලයි ඔහු කියන්නේ. මේක ඇත්ත ලෝකයක් නෙවෙයි කියලා තර්කයක් හදාගන්නත් මේ ඔස්සේම අපිට පුළුවන් වෙනවා. ඇත්ත නොවන මේ කතාවෙ තියෙන බොරු ලෝකෙ වේගය විසින් දුර අහෝසි කරවනවා, දුර අඩු කරවනවා.
මේ උපුටන ගත්තෙ ‘කනපිට’ කෙටිකතාවෙන්.
“මේසෙට කන තිබ්බහම ලෝකෙ පෙරලෙනවා ඇහෙනව.”
“මම බාගෙට මෙතන ඉන්නෙ.”
මේසෙට කන තිබ්බම පෙරලෙන ලෝකෙක ඉන්න අපිට මේ දෙබස් ගැන විචිකිච්චාවක් ඇති වෙන්න පුළුවන්. ඒත් කවුද මේසෙට කන තිබ්බහම ලෝකෙ පෙරලෙනවා කියලා විස්වාසෙට ගන්නෙ? අනික ඔහු කියනවා ඔහු මෙතන ඉන්නෙ බාගෙට කියලා. එතකොට අනිත් බාගෙට මක් වෙලාද? මිනිහෙකුගෙ අඩකින් කාටවත් වැඩක් තියෙනවද?
“ඇගේ කොට්ටයේ මැදක් හරිය වල ගැහී තිබුනේ ඈ එහි හිස තබාගෙන අදෘශ්‍යමානව ඇඳෙහි දිගාවී සිටින පරිද්දෙනි.”
“එයට යටවී පොඩිවී තිබුනු රෝස පැහැති ඇගේ ලේන්සුවක් දෙස මා බලා සිටියේ එක් කැලෑ සතෙකු තවත් කැලෑ සතෙකු දිහා බලා සිටින්නාක් මෙනි.”
ස්ත්‍රීය සම්බන්ධයෙන් කෙරෙන විස්තර දිහාට එනකොට ලේඛකයා ආයෙත් අපිව අර අලුත් විශ්වයට ඇදලා දානවා. ඔව්. බෙල්ලෙන් අල්ලලා ඇදලා දාන්නේ. මීට කලින් කිසි කෙනෙක් මෙහෙම ගැහැනුන් සම්බන්ධයෙන් විස්තර කිරීම් කරනවා මම කියවලා නෑ. පොදුවේ ලේඛකයන් බහුතරය ස්ත්‍රීය අතිශය ලලිතවත් වස්තුවක් විදිහට විස්තර කරමින් අතත්‍ය රොමෑන්තික ස්වභාවයක් ඊට ඔබ්බවන්නයි උත්සාහ කර තියෙන්නේ. ඔහුත් ස්ත්‍රීය අතිශය ලලිතවත්, ආකර්ශණීය වස්තුවක් විදිහට දකිනවා තමයි. නමුත් ඔහුගෙ භාෂාව ඇතුළේ ඒ ලලිතවත් බව විස්තර කෙරෙන්නෙ වෙනත් විදිහකින්.
ලේන්සුවක් කැලෑ සතෙකුට සමාන කරන්න පුළුවන්කමක් ඇති කෙනෙක් ඉන්නවා නම් ඒ තිලකසේනම වෙන්න ඕනා. දැන් මෙතන කැලෑ සතෙක් තවත් කැලෑ සතෙක් දිහා බලා ඉන්නවා කියන්නේ අප්‍රාණවාචී ලේන්සුවක් දිහා පණ ඇති මිනිහෙක් බලා ඉන්නා විටයි. ලේඛකයා මේ විස්තර කිරීම කරන්නෙ කලින් ස්ත්‍රීයක් අදෘශ්‍යමානව නිදාගෙන ඉන්නවා වැනියි කිව්වාට පසුවයි. හැම විටම සාම්ප්‍රදායික රොමෑන්තික සාහිත්‍ය ඉක්මවා ගිහින් වෙනත් වටරවුමකින් රොමෑන්තිකභාවයක් නිෂ්පාදනය කරන්න ඔහු උත්සාහ කරනවා. එහි ලස්සනක් නොමැති විටක පවා දැඩි ආකර්ශණයක් පවතිනවා. අස්වාභාවික ගැස්මක් ඔහු වචනවලින් ඇති කරවනවා. කෙටිකතාවට වඩා කවියෙනුයි පෙර කියපු ගතිය ඔහු නිතරම ප්‍රකට කරන්නේ. මේ නිසාම තිලකසේනගේ ගද්‍ය රචනාවලට වඩා මම ආශක්ත වෙන්නෙ පද්‍ය රචනාවලටයි.
මේ උපුටන එන්නේ ‘නිර්මාන’ කෙටිකතාවෙන්.
“දෙදෙනෙක් ඇතුල් වූහ. එක්කෙනෙක් පස්සෙ එක්කෙනෙක්. සබන් පුස්ඹක් පිරුනේය.”
සුවඳක් ආපු බව කියන්න ඔහු පාවිච්චි කරන භාෂා ප්‍රයෝගය බලන්න. ඒ වගේම ඒ වාක්‍යයේ තියෙන චලනමය ගතිය දිහා බලන්න. දෙන්නෙක් ඇතුළු වෙලා, එක්කෙනෙක් පස්සෙ එක්කෙනෙක්. ඊට පස්සෙ සබන් පුසුඹක් පිරෙනවා. මේක අපූරු චලන චිත්‍රයක්. වචන ගොඩාක් නාස්ති කරමින් කියන්න ඕනෑ දෙයක් ඉතාම සරලව කෙටි වාක්‍ය කිහිපයකින් ඔහු කියලා ඉවර කරනවා. හැම වාක්‍යයක් අවසානෙම ඊළඟ වාක්‍යයට එළැඹෙන්න පියගැටක් තියලයි ඔහු ලියන්නේ. වචන අතරේ වගේම වාක්‍ය අතරේත් එහා-මෙහා ඇවිදින්න ඕන අයට අවකාශයක් හදලා. කැමතිම නම් කියවන්නාට පුළුවන් ඔය වාක්‍ය කිහිපය අතරේ නැවතිලාම ඉන්න. ඉන් පස්සේ තමන්ට ආසා කතාවක් නිමවාගන්න.
“උඹ තරහද සිල්වියා එක්කල?”
“ඇතුලෙන්ද? පිටින්ද? ඔහු ඇසුවේය.”
මිනිස් මනස කපලා කොටලා ඔහු ප්‍රශ්න අහනවා. කෙනෙක් එක්ක තරහා ඇතුළෙන්ද? පිටින්ද? කියන එක බොහොම ආගමිකයි. බහුතරය බෞද්ධාගමිකයෝ ඉන්න රටක මෙහෙම ප්‍රශ්නයක් අහපු ගමන් ඒ ප්‍රශ්නෙ අහපු අර්ථයෙන්ම ඒක අපිට තේරෙන්න ගන්නවා. ඔන්න එතකොට ලේඛකයා සිංහල, බෞද්ධ නාඩියක් නොදැනුවත්වම අල්ලනවා. මේ ඉක්මන් වටහාගැනීම ගැඹුරු කියවීමකට කෙනෙකුව අරගෙන යන්න පාරක් කපලා දෙනවා වෙන්න පුළුවන්. තිලකසේන වචන හසුරවන විදිහ වගේම සරල වචන කීපයක් අරගෙන එකට පුරුද්දලා සෙන් කවියක් වගේ හදන එකෙත් අරුමයක් තියෙනවා.
මම ඊළඟ උපුටනය ගන්නෙ ‘යුගාන්තයෙන්’
“පහේදි මට යකෙක්, පහේදි, යකෙක් වැහුන. පන්ති කාමරේදි. අමුතු සක්තියක් දැඋනා සරුවාංගෙටම. දහ දෙනෙක් උනත් ඇදගෙන යන්ඩ. බලා ඉද්දිම මූන ඇඹරුනා. රැලිවැටුනා. ගිරී යටින් හූ තිව්ව. ඔරලෝසු කටු පෙඋනා අනිත් අතට කැරකෙනව. ඇවිදගෙන යනකොට පය තියන තියන තැන පාතාලෙයක්. ඈ කීවාය.
“අටේදි මම අස් උනා. මම කීවෙමි”
මේ ප්‍රේම සංවාද බොහොම ස්වභාවිකයි. ඇත්ත ලෝකෙ ඇත්ත මිනිස්සු කතා කරන විදිහයි. නමුත් ලේඛනයට එනකොට මේ ඇත්ත ලෝකෙ අහෝසි කරලා කාල්පනික ලස්සන ලෝකයක් මැවෙනවා. සංවාද හුරතල් වෙනවා. ඔවුන් ඇත්ත මිනිස්සු නොවන ගනයට වැටෙනවා. මේ පරස්පරය ඔහු ලේඛනයෙදි හෙළි කරනවා.
“පිහියෙං අනින්ඩ වගේ ඔයා ජනේලෙ ඇරියෙ.”
ඒ අතරෙම වචනවලින් ඔහු පිහියෙන් අනිනවා. ජනේලයක් ඇරෙනවා.
මේ උපුටන එන්නෙ ‘දෙමහල්ලෝ’ කෙටිකතාවෙන්.
“මට බෑ මගේ සන්තෝසෙ කල් දාන්ඩ.”
ඇත්ත. කාටවත් ඕනා නෑ සන්තෝසයක් කල් දාන්න.
කෙටිකතා පොතක මේ තරම් හැඟීම් ගොඩක්, සිදුවීම් ගොඩක්, වෙනත් තේරුම් තියෙන වචන ගොඩක් තියෙන එක ගිනි පුපුරක් පත්තු කීරීමක් වගෙයි. මේ සටහන පටන් ගන්නකොට මම කිව්ව විදිහට කාලය ගැන තොරතුර මම ගන්න විදිහ ගැන ආයෙත් මට හිතන්න වෙනවා. 1964 කියන්නෙ බොහොම ඉස්සර. මම ඉපදෙන්නත් ඉස්සර. මේ පොත මුද්‍රණය වුණ 1964 ගැන දැන් මට ආයෙත් හිතන්න පුළුවන්. හැබැයි මම එතකොට ඉපදිලා නෑ.
කාංචනා අමිලානි | 2024