කුකුළෙක් අතින් ගත් කිකිළී | මංජුල වෙඩිවර්ධන
01. රත්මලානේ රාත්‍රියක දේදුන්නක් යට
°ඒ ඉස්ත්‍රී ඉස්තිරික්කය°
**ඉස්තිරික්කය ඉස්ත්‍රී බව කීමෙන් ඉස්තිරික්කයකට අයත් ගින්දරමය ස්වභාවය ප්‍රකට කරවන සුළුය. ඉන්පසුව ඉතිරි වන සුළු වචනමය ඉඩේ පුරුෂ ඉස්තිරික්කයක් ගැන මට සිතන්නට කුඩා දෙවැටක් මැවුණි. මද දුරක් ඒ පටු දෙවැට දිගේ ඇවිදිමින් සිට "ඇවිදලා වැඩක් නෑ, එයා කියාගෙන යන එක අහලම බලමුකො." කියා නැවත හැරී ආවෙමි. එහෙම හැරී ආයෙන්ය මේ ලියන පසු කතා ඔක්කෝම.**
ලේඛකයා අපව පටලවයි. හෙතෙම භාෂාව කුඩා ඒකකයකට කඩා සුන්බුන් බවට පත් කර ආයේ වෙනස් දෙයක් හදා පෙන්නයි. ඒ විනෝදවත් ගමන් දිගේ, නොයෙක් විස්කම් බලමින් අප අර වෙනස් දෙය තේරුම් ගන්නට උත්සාහ කරයි. අන්න එවිට කිසිම කතාවක් තේරුම් ගැනීමට උත්සාහ කිරීමේ සමත්කමක් ඕනෑ නැතැයි මට හිතෙයි. තේරුම් ගැනීමෙන් බොහෝ අවුල් ලිහී යයි. ගැට කොණ්ඩයක් අයන් කළාක් මෙන් පිළිවෙළක් වෙයි. කතාවකට එහෙම පිළිවෙළක් අත්පත් කර දෙන්නට වුවමනාවක් නැත.
කතාව කොහොමත් ලේඛකයා සතු පෞද්ගලික දේපලකි. එය පොදු දේපලක් කියා උදම් අනමින්, බොරු වළවල්වල වැටෙමින් පාඨකයන් ද අප්‍රමාණ විනෝදයක් ලබන්නට උත්සාහ කරයි. ඒත් මේ උත්සාහයේ ව්‍යාජය දන්නා ලේඛකයා නිර්මාණාත්මක වළවල් කපමින් එහි රෝස මල් ඉහිරවමින් සමාන්තර ප්‍රමෝදයක් ලබයි. මේ ප්‍රමෝදයට බිලි වෙන්නට පාඨකයන් හරිම කැමැතිය. ඒක කැමැත්ත අබිබවා ගියා උඩගුකමක් කියන්නත් මම කැමතිය.
විනිෆ්‍රීඩා තමන්ගේ නාසයෙන් කොළ ඉස්තිරික්ක කිරීමෙන් ඔන්න දැන් අපේ ප්‍රමෝදය ඇවිස්සෙයි. ඉතිං ලේඛකයා ඔබට දැළ හෙළා ඉවරය. මේ දැලේ පැටලි පැටලී තාවර වීමට ඇති ආසාව වළක්වා ගන්නට අමාරු බව කෙනෙකුට කියන්නට පුළුවන්. ඒකමනෙ ඉතිං තව, තවත් ඔබ කියවන්නෙ. ලිවීමේ ආසාවට නොදැවැනි කියැවීමේ ආසාව දැන් මොරටුවේදී ගහට, ගහක් මුණගැහෙන්නා වාගේ එකට හැප්පෙයි.
පළමු කතාව වංගු කිහිපයක් සහිතව කෙටිත් නැති දුරත් නැති ගමනක මාව ගෙනගියෙන් දෙවැනි කතාව නොකියවා පළමු කතාව ගැන ලියන්නට පෙළඹෙව්වා. ඒක කරන්නෙ අර ලේඛකයා කපලා තියෙන නිර්මාණාත්මක බොරු වළේ නොවැටී ඉන්න.
ඊට පස්සෙයි විනිෆ්‍රීඩා සහ වැඩිමහල් චිත්‍ර ගුරුවරයා මට මුණගැහෙන්නෙ. ඒ ලංකාවෙ කලාගාරෙකදි. හැබැයි මේ ඉන්නෙ අර කතාවෙ මුලදි කියපු කුඩා දැරිය, විනිෆ්‍රීඩාමයි කියලා ලේඛකයා අපිට දැනෙන්න අරිනවා. කඩි කුලප්පුවෙන් කතාව නොකිව්වොත් අනිවාර්‍යෙන්ම ඒක අහුවෙනවා. දැන් අපි ඉන්නෙ චිත්‍රපටියක් බලද්දි ඕඩියන්ස් එක විතරක් ළාවට දන්න රහසක් දරාගෙන. රහස ටක්කෙටම ඒකයි කියලා ඔක්කොටම දැනගන්න ලැබෙන්නෙ එකම මොහොතෙ. හැබැයි ඕඩියන්ස් එකේ ඉන්න අපි ළාවට වගේ මේක දන්නවා. පොඩි තිගැස්මක් නේද එතන තියෙන්නෙ? ඒ තිගැස්ම තව ප්‍රබල වුණා නම් මම තවත් කැමතියි. පාඨකයන්ට අධිකාරි බලය ලැබෙනවට මම පෞද්ගලිකව කැමති නෑ. ඒකෙන් අර එකවර දැල්වෙන්න ඕන ගිනි පුළිඟුව ඩිම් වෙනවා.
02. ලොලීටා ඇන්ටි
ලොලීටා නමේම තියෙන්නෙ එක්තරා ගිනි විජ්ජුම්බරයක්. ස්වල්ප සෘංගාරයක්. නම් එහෙම තමයි. නම් ඇතුළෙ තියෙන යම්, යම් සංකේත ඒවායේ උප්පත්ති තේරුමෙන් ගැලවෙන්න අපිට ඉඩ දෙන්නෑ. හැබැයි මේ කතාවෙ ලොලීටා නමට පස්සෙන් ඇන්ටි කියලා යෙදුණට පස්සෙ අර උප්පත්ති තේරුමට වෙන තේරුමක් එක්කහු වෙනවා. එතකොට අපි කලින් දැනන් හිටපු වචනෙක තේරුම විසාල අර්බුදයකට යනවා. මේ අර්බුදය මැද්දෙ හිටගෙන මම කතාව කියවගෙන යනවා.
අවංක වෙන්න එපැයි. මේ කතාවෙ සර්පයා අරගෙන තියෙන ඉඩ නොසෑහෙන්න වැඩියි කියලා මට හිතුණා. ඒක මගේ කියැවීමේ විලාසයට බාධා කරපු එක ගැන මම ඉන්නෙ නෝක්කාඩුවකින්. ඒක එහෙම වුණාට ලේඛකයාට ඒ නෝක්කාඩුව ගැන තඹ පයිසෙක තැකීමක් නැතිව ඇති.
ලොලීටා ඇන්ටිගෙ හුරතලය ගැන හුරතලෙන් ලිවීම කතාවෙ තැන, තැන වේළිච්චි කොළ ආදිය දාලා ගහපු ගිනි ගොඩවල් වගෙයි මට දැනුණේ. ගින්දර යාන්තමින් මතු වෙනවා, වැඩිපුර තියෙන්නෙ දුම්. මේ ධූම කලාපයේ තමයි රහස තියෙන්නෙ. අපි ලව්වා ඔහු කතාව කියවන්නෙ අර රහස හොයාගන්න තියෙන ප්‍රාථමික මිනිස් ආසාව දැනගෙන. ඔන්න ආයෙ කතුවරයගෙ දැළේ පාඨකයා පැටලෙනවා. එහෙම පාඨකයන්ට දැල් එළීම ගැන දිවා-රෑ නැතිව හිතන මට ඒක හරි විනෝදයක් දෙනවා.
දේශපාලනය ගැන කියැවෙන යටි පෙළ තියෙන්නෙ මේ දැළට උඩින්. එහෙම ලේයර් කිහිපෙක කතාවක් පිහිටුවීම සතුටක් නේද ගේන්නෙ? එහෙමත් නැත්නම් පාඨකයා විසින් ලේයර් කිහිපයක් හදා ගැනීම ලේඛකයාට සතුටක් ගේනවද? කවුද ඕවා දන්නේ!!
කෙටි කතාවලට විශේෂ හැඩයක්, රසක්, පාටක් නැහැයි කියලා සෑහෙන ඉස්සර ඉදන් මම තනි මතේට හිතන් හිටියා. කවිවලට වුණත් එහෙමයි. ඒවා ලේඛකයාගේ මායා කර්මයේ බරපතළකම අනුව තමයි හැදෙන්නෙ. 'ලොලීටා ඇන්ටි'ටත් එහෙම නිශ්චිත හැඩයක්, රසක්, පාටක් දෙන්න කෙනෙකුට අමාරු වෙයි.
වතාවක 'බුනීල මල්' වගේ හැඩයක් අපිට මතක් කරවලා නෑ, එහෙම නෙවෙයි කියලා ආයෙ වට වංගුවක පටලන්න කතුවරයා සමර්ථ වෙනවා. ' "මේවා අපි දන්න කතානෙ" කියන හැඟීම් මාත්‍රය විදුලියක් කොටන්නා වගේ හිතේ අන්දෝලා ලේඛකයා කතාවට පොඩි, හීනි, මෘදු මැජික් තට්ටුවක් දානවා. කතාව කීමේ විලාසිතාව තමයි මේ මැජික් තට්ටුව.
මම කැමතියි ඒ මායාකාරී තට්ටුවට. ලොලීටා ඇන්ටිට. ඇගේ ඔය හුරතල් ගතියට. අන්න එහෙමයි පාඨකයෝ දැළේ පටලගන්නෙ.
03. වෙස්ගත්තී නොහොත් මතකය ඇවිළෙන චිතකය
ඒ කතාව මට එච්චර වැදුණේ නැත.
04. කුකුළෙක් අතින් ගත් කිකිළී
කුකුළා කවුද කියලා මුලින් හිතන්න ගන්නවා. ඊටත් එහා කවුද යකෝ මේ කුකුළෙක්ව වඩං යන කිකිළී කියලා හිතෙන්න ගන්නවා. මේ කතාවෙ ඉන්නෙ මිනිස්සු නොවෙයි. කුකුළොයි-කිකිළියොයි. උන් කෙකර ගඟා, බිත්තර හළ, හළ කතාව පුරාම ඇවිදිනවා. ඊට පස්සෙ එක-එකා සම්මුතිගතව රවුමක් ඇඳන් කුකුළු කෙටිල්ල පටන් ගන්නවා. කියවන්නා අර රවුමෙන් මෙහා තව ලොකු රවුමක් ඇඳන් අරූ දිනුවා, මූ දිනුවා කියලා ඔට්ටු අල්ලන්න තියාගන්නවා.
මේ කතාව මැද්දෙ ඇන තියන් වාඩිවෙලා උන්නු මට හම්බ වුණේ රස්නෙ පිට බිත්තරයක්. මං ඒක ඇල්ලුවෙ නෑ. ඔහේ ටිකක් තියෙන්න ඇරියා. පස්සෙන් පහු හිතුණා මට මොකටද ඉතිං බිත්තර කියලා. ඒ නිසා අත් දෙක, වන වන ගෙදර එන්න ආවා.
කෙටිකතාවලින් අපිට කියන්නෙ මොකක්ද කියන එකට වඩා කෙටිකතාවක් කියෙව්වට පස්සෙ මගේ ඔළුව ඇතුළෙ වැඩකරන්නෙ මොන වගේ චලන චිත්‍රයක්ද කියලා කල්පනා කරන්නයි මම ආසා කරන්නෙ. ඒක පාඨකයෙකුට අයිති රාජකාරියක් හරි, පොතෙන් ලැබුණු මොකක් හරි එකක්ද කියලා හිතන්නත් මට ඒ තරම් වුවමනාවක් නෑ. මං දිගටම ඉන්නෙ මගේ ලෝකෙනෙ. මං ඉතිං කෙටිකතාවෙන් ගලං වැටුණු දිස්නෙ දිගේ මං ඇඳපු චිත්‍රෙකට සීක්වීන්ස් අල්ලනවා වගේ වැඩක් හැමතිස්සෙම කරන්නෙ. මේ ලිවීමෙන් කරන්නෙත් එහෙම වැඩක්. ප්‍රහර්ෂය විඳින්න අපේම විදිහක් තෝරගන්නෙකේ එහෙමට අවුලක් නෑ.
05. දේවදූතිකාවකගෙන් පිහාටුවක්
06. බාල්දි දෙකක්, මිනීමැරුම් තුනක්
විසාල කාලයක් මිඩංගු කරමින් නිරත වෙලා උන්නු පත්තර රස්සාව ගැන රස මතක මෙන්න මේ කෙටිකතා දෙකෙන්ම ඇවිළුණා. පස්සෙ නිවුණා.
කාංචනා අමිලානි• අගෝස්තු 17•