එහෙම නෙවෙයි,
මල් පාගන්න වුණා මට
මුලින් එකක් දෙකක්
පස්සෙන් පහු ගිණිය නොහැකි තරම්

මුලින් සීතලයි යටි පතුලට
දියවෙලා අහවර අයිස් කැටයක් මෙන්
දැන් දැන් ගින්දරයි සියොළඟටම
ගිනි මැළ සීයක් පතුල යට

ඔබට ඉන්න ඕනද මල් ගස් උඩ?
රොන් උරන්න ආ බඹර වෙසින්
ඒත් පෙර ආත්මෙත් අමතක කොළයක් මෙන්?
ඔබට වැටෙන්න ඕනෑද ගස් පාමුලට
පුළුං මල් මෙන්,
සුදෝ සුදුවට
හෑල්ලුවට
පෑගෙන වෙනත් මල් දිහා බලන්න
පපුවට අත තියාගන්න
හූල්ලන්න

අනේ මම දන්නෑ; මේවා කිව යුතු දේවල්ද?
කලින් ඔබ දැනං උන්නාද?
මල් පාගන බව; මේ මම
ආදරම කවි ලියපු අය ගැන හිත හිත

මං අහන්නෙ දැනගෙන උන්නද ඔබ?
මම එහෙම බව

මාරා තලේක් ගංගාව එදා හැසිරුණේ දියට බසින ඕනෑම ජගතකුට “පාඩමක් උගන්වමි!!” කියන ලතාවකිනි. ගංගාවකට එහෙව් තරහක් යෑම සාමාන්‍ය දෙයක් යැයි නොසිතමි. එහෙත් ගංගාවකට පවා තමන්ට ආවේණික ප්‍රශ්න තිබිය හැකිය. තලේක් ගංගාව එහෙව් හැසිරීමක් ප්‍රකට කරන විට ගංගාවේ එහා ඉවුරේ හුන් ටැනෝ බෝරා ලෙස බෞතීස්ම ලත් කඩවසම් චීටාවන්ගෙන් සැදුම් ලත් පහේ…

හරියටම මතකයට නැඟූ විට
පැගිරි රසකි ඒ මුළු අවුරුද්දෙම

දත් හිරි වැටෙන බිලිං ගෙඩියක්
නියපොතු රිදවන ලෙමන් කුයිලක්
නහයටම වද දෙන මැන්ඩරින් පොත්තක්
ඒ ඔක්කොම අවුරුද්දෙ සති බෙදාගෙන

පළවෙනි සතියට
සියුම් වියළි කැස්සක් අරගෙන
අතර මැද දවස්වල උරතලයේ වේදනාව අරගෙන
නින්දත්-නොනින්දත් අතර
ද්වන්ධ සටනකට ඇද දමන
මළ කෑ කඩු ඇවිත් ළය හාරගෙන බහින
ඒත් උදෑසන අවදිව සිනා සිසී ඉන්න සිදුවන

දෙවැනි සතියට
උණු වතුර ගෙන උගුර තවන
විපරීත සිහිනවලට දහවලෙත් බිය වෙන
හුමාලයෙන් ජීවිතාශාව වඩවන
නින්ද යන ඩිංගකට
මෝහනයටත් කෙනකු දුව එන
ගංගා, ඇළ දොළ පසුකර ආයෙත්
පැගිරි රස හමාගෙන එන

දැන් තවත් සතියක ඇරැඹුම
යථා සිහියේ කට්ටකුමංජල් පුසුඹට වහ වැටෙන
පුවක් මල් හිසේ ගසමින් නට-නටා ඇවිදින
අරුම, නරුම දවස් කිහිපයකි ගත වන
ඔබේ පණිවිඩ දැක-දැක පිටුපා යන
පැගිරි සුවඳක්‍ හෘදයේ කොණක ඉතිරි වන

“තොලගා බලනු-නොබලනු!”
කාට දොර කවුළු හැර දිය යුතුද අවසන!!

ස්මරණ කොම්පෝස්‍ටුවකි
කාමරය තුළ
අඩි දහයක් ඇවිද, නතරව
දණ ගසාගෙන බිම, සිමෙන්තිය හාරා
එකින් එක ගොඩගමි
අලුත් එවා එහි වළලමි

එක් රැයක කාමරය ඇතුළට විත්
අල්මාරි පියනේ වසා සිටි
සමනලයා ඔබද?
තනිකමක් ඇතැයි කලින් දැනගෙන
ආවාද?
ඒත් මිනිස් ඔබට සමනල වෙසක් මොකටද?

තවත් රැයක පහන් නිවා දමා
නිදිවර්ජිතව ගෙවන විට ආ
කණාමැදිරියා කවුද?
යාබද කොට්ටය මත වසා
ලුමිනස් එළියක් දල්වමින් හිඳ
බිය දුරු කළ ඔබ කවුද?

මේ ගමන දෙබෙදුම් රේඛාවකින්
අවසන් කර
නැඟෙනහිරටත්-බටහිරටත්
වෙන්ව යන්නට
ඉඟි කරන්නේ මෙහෙමද?

ආයෙත් ඒ සමනලයා ආවොත්
ඌ එළවා දමන්න සිත දැඩි කර ගතිමි
කාමරය ඇතුළත කොහොමත් උකටලීය
බිඳුණු බඳුන්ය, ඉහිරුණු කිරිය
අතහැර දැමූ පළා මිටිය
දුවන මුවන්ය

චංචලය
හැම දවසකම සීත මීදුමය
ගිලි, ගිලී ඉන්නා විට
ඔබ අරුණෝදයේ අව් රැල්ල මතය
දැන් හැරී යා යුතුය
දැඩිව අල්ලා ගත් අත, අත හැරිය යුතුය

එක පාරට කාමරේ ඇතුළ නිශ්ශබ්ද වුණා. කළුවර වුණා, පොඩි මීදුමකින් වැහිලා ගියා. එන්න එන්න මීදුම වැඩි වෙන්න ගත්තෙ මං හීනෙන්වත් නොහිතපු විදිහට. මං හැබැයි ඕක ලොකුවට ගණන් ගත්තෙත් නෑ. මීදුම වැඩි වෙලාවට අඹ ගහ යටට හරි වත්ත පහළ රෙදි වනලා තියෙන දිහාට එහෙම ගිහින් එනවා. අනික මීදුම වැඩි වුණා කියලා…

“මට මුළු රෑම නින්ද ගියේ නෑ”
පණිවිඩය ආවෙ පාන්දර. පෙරහරක අලියෙක් කුලප්පු වෙලා හැමෝවම චප්ප කරගෙන යනවා කියන ආරංචියක් ලැබුණා වගේ මාව කලබලයට පත් වුණා. ඒක මහ අනවශ්‍ය, මෝඩ කලබලයක්.

ඒත් ඒක ඇතුළේ පුසුඹ හමන රෝස මල් පෙති හැලි, හැලී තිබුණා. මම හරිම මෝඩ විදිහට රෝස මල් පෙති අහුල, අහුල…

‘ත්‍රිවේණි සංගමම්’ ධනුෂ්කා නිෂාදි කුලරත්නගේ දෙවැනි කාව්‍ය සමුච්චයයි. කවිය පිළිබඳ වඩාත් දාර්ශනික අරුත් සැපයීමෙන් බැහැරව සරල වචන සෙල්ලම් ප්‍රිය මහා සමාජයෙන් ඈ වියුක්තය. ඇගේ කවිය බරසාරය. සරල වචන සෙල්ලම් ඉක්මවා යන සාහිත්‍යාත්මක කොදෙව්වකට කියවන්නා ‍රැගෙන යෑමට සමත්ය. කවියේ අරමුණු ‍රැසක් අතර දෝලනය වන යුගයක කවියේ රොමෑන්තික ඉම් පෙදෙස් සේම සුලබ…

ඒක හැමෝම වගේ කියන්න පටන් ගත්තා. හැමෝම කියන්නෙ හැමෝම. තැපැල් පියුංගෙ ඉදන් රැජිනගෙ රාජකාරි ලියුං ලියන නිලධාරියා වෙනකන්ම හැමෝම කියන එකට අයිතියි. නලාකාරයෝ, නැට්‍ටුවෝ, පයිප්ප බාස්ලා පවා ඒ ලැයිස්තුවෙ ඉන්නවා. ගිනි නිවන හමුදා භටයෝ, කිමිදුම්කරුවෝ වගේම පාන් බක්කරේලත් ඔය ලැයිස්තුවේ ඉන්නවා. …

පා මුදුව ගලවාගෙන ය
කඩුක්කම් පැහැර ගෙන ය
ඔබ තිලිණ දුන් රිදී මුදුවේ කාන්තිය දියවී ය
නළල් පට තිබූ තැන නැත
සාන්තුවර නින්දේ වසරක් සිටින විට
පෙම් මාලක්කම් ගැසූ අතීතය
ක්ෂය වී ගොස් ය, දියවී ගොස් ය

දැන් අපට අලුතින් පටන් ගත හැකිය
අතින් අත පටලා-මලින් මල ගවසා
කොණ්ඩා ගෙතිය හැකිය
පිච්ච ද, අරලිය ද හිස ගැවසිය හැකිය
මතක නැතැයි සිතෙන හැම මොහොතකම
කොනිත්තා බලා අවදියෙන් බව
සැක හැර දැනගත හැකිය

කුමන පා ඇඟිල්ලේ මුදු දමන්නේදැයි
මුල සිට වාද කළ හැකිය
රවුල වවන්නට අණ දෙන්නට හැකිය
බුලත් කා මුව රත් කර නොගන්නැයි
අවවාද දෙන්නට හැකිය

සියල්ල අවසන,
ඔබව සිසිර-තාරකා නින්දට
පමුණුවන්නට හැකිය

චක්‍රීය අත් වැරැද්දක
වසරින් වසර අපට
ගිලෙන්නට හැකිය

XIX• ආසාදිතපුර

සැකකාර අසල්වැසියා
පහත් කරාවිද මාස්කය,
පීනසය ඇති ඔබට කිවිසුම් යයි එවිටම
දැන් සැක කවුද?
ඇස් හිනාවෙන් බර කර
ගෙතුළට යයි අසල්වැසියා

ඇන්ටිජන්, පී.සී.ආර්
සැකසහිත වචනය දැන්
මුණු මුණුවකින් මිස
හඬගා කියනු නරක

පී.එච්.අයි එයිද ඔබ නිවසට?
ග්‍රාමසේවක එයිද ඔබ නිවසට?
ලේ ඥාතිකම් දැන් පලක් නැත
කවුරුත් කාටත් බයෙන් පසුවෙන
ආසාදිතයන් සොම්බිපුර ගෙන…

kanchana amilani

Founder of http://thinkland.net | poetess| journalist| Blogger| Writer|

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store