ඩම් බිරියානි•
ix. රූපෙට රූපෙ• [2 කොටස]
දැං කපු මහත්තයා නිකං මලයාලම් ෆිල්ම් එකක වීරයා වගේ. උස්සගත්තා සුදු සරමෙ එක පැත්තකින්, විසික් කළා කිතුල් පොල්ල කාණුවකට. ‘කිසි-කිසි- ගාලා ආයෙ පත්තිනි දේවාලෙ ඇතුළට රිංගුවා. දැන් ඔන්න ආයෙත් දේව මූඩ් එක හැම පැත්තෙම. කට ඇරන් උන්නු අපි දෙන්න ආයෙ වැදගත්තා.
“දැං මොකක්ද නෝනා වුවමණාව?” කපු මහත්තයා බොර-බොර කටහඬින් ඇහුවා. මං පොඩ්ඩක් පැකිලෙමින් සද්දෙ කාරිය බාල කරලා වුවමණාව කිව්වා.
“හිම කිකිළිට ඩුබායි නගරේ ඉන්න ධන කුවේරයෙක් කසාද බඳින්න ලැබේවා!” කියලා. මියෑව් මියෑව්ගෙ කට ආයෙත් ඇරුණා. කපු මහත්තයාත් ටිකක් එක විදිහක් වුණා.
“හා….හා….කමක් නෑ. එහෙනම් වැදගන්නකෝ” කියලා කපු මහත්තයා යාතිකාව කරන්න පටන් ගත්තා. මොනවා කියනවද කියලා සංසාරයක් මට තේරුන්නෑ. මහා පුදුමාකාර වේගෙකින් තමයි යාතිකාව කළේ. “හිම කිකිළිව නයිල් ගඟේ ඉන්න කිඹුලෙක් කාපං” වගේ එකක් කිව්වද කියලත් ෂුවර් නෑ. විටින් විටේ හිම කිකිළි කියනවා විතරක් මට ඇහුණා. නයිල් ගඟයි, කිඹුල් කතාවකුයි කනාවට වගේ ඇහුණා. ධන කුවේර, ඩුබායි වගේ වචනත් ඇහුණා.
“හා එහෙනම් නෝනයි-මහත්තයයි දැන් යන්න. වැඩේ කෙරුණම ඔය කියන නෝනවත් එක්කගෙන එන්න.” කියලා අර මොනර පිහාට්ටෙන් අපි දෙන්නගෙ ඔළුවට තට්‍ටු දැම්මා. අපි දෙන්න බයබීතෙන් වගේ පඬුරු කැටේටත් දහයේ කාසි හය-හතක් ගිල්ලලා, පහන්වල තෙල් ඔළුවෙත් ගාගෙන එළියට ආවා.
“මොනවද අම්මපා අර ඉල්ලුවෙ? හිම කිකිළිට ඩුබායි ධන කුවේරයෙක්? හැබෑටම ඔයාලට පිස්සුද?”
“අපිට ඇති පිස්සුවක් නෑ. ඒක තමයි එයා ඉල්ලන්න කිව්වේ. ඉතිං මං ඉල්ලුවා. ඔයා මොනාද ඉල්ලුවේ?”
“මං මොනා ඉල්ලන්නද? නොමැරී ගෙදර යන්න ලැබේවා! කියලා හිතුවා.”
“පිස්සු මටයෑ ඔයාටනෙ. මොකෝ අපි සිවිල් යුද්දෙකට ඇවිල්ලායැ!”
අපි දෙන්නා කුටු කුටු ගගා දේවාලෙන් එළියට බහිද්දිම ගල් පඩි උඩිං ඉගිල්ලිලා වගේ හෙන සෙට් එකක් දුවං එනවා. උං ඔක්කොම නිකං ‘ක්‍රොචින් ටයිගර්, හිඩ්න් ඩ්‍රැගන්’ ෆිල්ම් එකේ රඟපාපු අය වගේ. අර ගල් පඩි උඩිං පාවෙලා වගේ ආවේ.
“කෝ අපේ ඩ්‍රෝන් එක? කවුද යකෝ අපේ ඩ්‍රෝන් එක ගත්තේ?”
මුලිං ආවෙ උසම උස මිනිහෙක්. පොර තැඹිලි පාට ජැකට් එකක් ඇදං උන්නේ. ඒකෙ පොකට් ඔක්කොගෙම මොනවා, මොනවා හරි ඔබාගෙන උන්නේ. ඒවා සමහරක් අර පඩි උඩිං එද්දි වැටුණදත් මන්දා. ඊට පිටිපස්සෙන් කොණ්ඩෙ ක්‍රේල් මිනිහෙක්. පොර ලුමිනස් කොළ ජැකට් එකක් ඇඳගෙන උන්නේ. ඊටත් පිටිපස්සෙන් එකට හැප්පි, හැප්පි වගේ තරබාරු ඩබලක් දුවං ආවා. උං ඩබල තනි කළුවෙන් ඇදං උන්නේ. උංගෙ අතේ ෆෝන් දෙක, දෙක. බෙල්ල වටේ ‘ස්කල් කැන්ඩි’ හෙඩ් සෙට් ඔතාගෙන. ඒ හෙඩ් සෙට් එහෙමත් ලුමිනස් තැඹිලි, කොළ පාටයි. මුං සෙට් එකට මොකක් හරි ලුමිනස් සින්ඩ්‍රෝම් එකක්ද කොහෙද!
“කවුද පරයෝ අපේ ඩ්‍රෝන් එක ගත්තේ? වරෙං එළියට චණ්ඩියා” කියද්දිම කපු මහත්තයා මලයාලම් ෆිල්ම් වීරයා වගේ ආයෙ බැස්සා එළියට. වම් අතේ තඩි කිතුල් පොල්ල. ඊට පිටිපස්සෙන් සබ් කපු මහත්තයා. මිනිහගෙ දකුණු අතේ මොනර පිහාටු මිටිය. වම් අතේ මොනවද කුඩු ජාතියක්.
“මම තමයි තොපේ සෙල්ලම් බඹරෙ ගත්තෙ. ඇයි මොකෝ කියන්නෙ? මේක දේව භූමියක් බව තොපි දන්නැද්ද? ඔහොම සපත්තු දාං එන්න කිව්වෙ කවුද උඹලට? මුලින්ම ගලවපියව් තොපේ සපත්තු, කැප් තොප්පි.”
අරුං බල්ලො වගේ සපත්තු ගලෝ, ගලෝ ඒ පාර කෑගහනවා.
“දීපං අපේ ඩ්‍රෝන් එක.”
“මේක වැල්ලෙ සරුංගල් යවනවා වගේ කියලද තොපි හිතන් ඉන්නෙ? පත්තිනි දේවාලෙට ඩ්‍රෝන් එව්ව එකා කවුද? කාගෙ අවසරෙන්ද උඹලා ඕක එව්වෙ?”
ඒ විඩේ අර තරබාරු ඩයල් දෙක සන්සුන්ව ඉස්සරහට ආවා. උන්ගෙ බෙල්ලෙ දාං උන්නු හෙඩ්සෙට් පවා ගලවලා අතට අරං දෙන්නම එක සැරේ කතාව පටං ගත්තා. හරියට සර්වසම නිවුන්නු වගේ. පස්සෙ එකෙක් කට වහගත්තා.
“අනේ අපිට සමාවෙන්න කපු මහත්තයා නොදැන වැරැද්දක් වුණා නම්. අපි ‘දූප’ චැනල් එකෙන්. නිවුස් එකක් කවර් කරගන්න එවපු ඩ්‍රෝන් එකක් තමයි මේ නැතිවෙලා තියෙන්නෙ.”
“ ආං..එහෙම එන්නකො මහත්තයා.” කියලා කපු මහත්තයා කිතුල් පොල්ල බිමට විසික්කා කළා.
“දැන් ඔය මහත්තරුන්ට පත්තිනි දේවාලෙන් මොකක්ද ගන්න තියෙන නිවුස් එක?”
ඒ පාර මහත්තයා ඇඹරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔළුව ගස්සලා කතාව පටන් ගත්තා.
“අපිට ආරංචියක් ආවා නෝනෙකුයි-මහත්තයෙකුයි ජීව ප්‍රමාණෙ කටවුට් එකක් අරගෙන නාගස්හන්දියෙන් හැරිලා හොරණ පැත්තට එනවාය කියලා”
“ඉතිං?”
“ඉතිං කියන්නෙ මහත්තයා ඒ ජීව ප්‍රමාණෙ රූපෙට පණ දෙන්න ජීවං කරන්න දන්න කෙනෙක් ඉන්නවා, එතුමා හොයාගෙනයි දේවාලෙට ආවෙ කියලයි අපිට කිව්වෙ.”
ඒ පාර කපු මහත්තයාගෙ ඇස් එළියට පැන්නා.
“ජීවං කරන්න! රූපවලට පණ දෙන්න! තොපේ කටවල් හත් කඩකට කැඩෙන්නෝනා. පර බල්ලෝ. මේ හාස්කම් තියෙන පත්තිනි දේවාලෙ ඉස්සරහා ඉදන්ද තොපි ඔය කතා කියන්නෙ? ඈ බල්ලෝ? පොඩි කපු මහත්තයා පිඹින්න ඔය හක් ගෙඩිය. දෙන්න මට ඔය කට්ටකුමංජල් අහුර. හා…මතුරන්න පටංගන්න…..”
පොඩි කපු මහත්තයා මායං වෙලා වගේ ඇහේ සුදු ඉංගිරියාවත් උඩ දාගෙන මොකක්ද මන්දා මතුරන්න පටං ගත්තා. කපු මහත්තයා ගැහුවා කට්ටකුමංජල් අහුරක් අහසට. ඒත් එක්කම කොහෙන්දෝ මන්දා විලාපයක් වගේ බෙර සද්දයක් ඇහෙන්න ගත්තා. මං අල්ලගත්තා මියෑව් මියෑව්ගෙ අත. මියෑව් මියෑව් මගේ බෙල්ල වටේ අනිත් අත දාගත්තා.
කළු ඇඳුම් කාරයෝ දෙන්නයි, ක්‍රොචින් ටයිගර් හිඩ්න් ඩ්‍රැගන් සෙට් එකයි ගල් පඩිවල බඩගාගෙන දුවන්න ගත්තා. උං දුවන හැම අඩියක් ගානෙම ගල් පඩි උඩ පතබෑවුණා. ඒ අල්ලපනල්ලෙ අපි දෙන්නත් දුවන්න ලෑස්ති වුණා. වෙන සබ් කපු මහත්තයෙක් ඇවිත් අපේ වැලමිටෙන් අල්ලලා නවත්තගත්තා.
“ඔහේලා දුවන්න ඕන්නෑ. උං දුවපුවාම ඇති.” කියලා හිනාවක් දැම්මා.
බයෙන් නමුත් අපි ඉතිං නතර වුණා.
උං ඔක්කොම බඩගාගෙන, දණ ගාගෙන දුවලා නොපෙනී ගියාට පස්සෙ සබ් කපු මහත්තයා සුදු ඉංගිරියාව පහළට ගත්තා. කට්ටකුමංජල් තිබ්බ අත ගස ගසා දේවාලෙ ඇතුළට ගිහිං කාටදෝ මන්දා කෑගැහුවා.
“ඕයි සිරී. ඕෆ් කරලා දාපං ඕක.”
අර බෙර සද්දෙ නතර වුණා.
කපු මහත්තයා කරුණාවෙන් වගේම අනුකම්පාවෙන් අපි දෙන්නා දිහා බැලුවා. මොනවා කරන්නද නොදන්න අපි දෙන්නා මෝඩ හිනාවක් පාමින් හිටි තැන ගල් වෙලා වගේ උන්නා.
“මහත්තයලා බය වුණාද? පුතේ මේ නෝනට වාඩිවෙන්න පොඩි පුටුවක් ගේන්න.”
“නෑ. නෑ. පුටු එපා. මං බය වුන්නෑ.”
පුටුව උස්සං ආපු පොඩි එකා මැදක නතර වෙලා ඉන්නවා. ඌට තීරණය කරගන්න බෑ දැං පුටුව ගේන්නද, එපාද කියනෙක. මං ඔළුවෙන් පුටුව එපා කිව්වා. කොල්ලා පුටුව අරං ආයෙ දේවාලෙ ඇතුළට රිංගුවා.
“අපි ඒ බොරුවට මැතිරුවේ. බය වෙන්න දෙයක් නෑ. ඔය එක එක පච චැනල්කාරයෝ සමයං කියාගෙන සැරින් සැරේ එනවා. ඒකමයි මං අර ඩ්‍රෝන් එකට කුඩු සංසාර වෙන්න දුන්නෙ. නෝනලා ඔය කාඩ්බෝඩ් රූපෙ අරං එන බව දැනගෙන මුං ආවෙ ටොම් පචයක් හදලා පතුරුවන්න.”
“මං කිව්වා කපු මහත්තයා ඔය කාඩ්බෝඩ් රූපෙ අරං එන්න එපාය කියලා. කෝ ඇහුවෙ නෑනෙ.”
“ඔය ජෝඩුව ළඟදිද බැන්ඳේ? ළමයි හෙම ඉන්නවැයි?”
“නෑ. නෑ. අපි බැඳලා නෑ.”
“හා. ඒකට කමක් නෑ. ළඟදි බඳිනවැයි?”
“නෑ. නෑ. අපි අතරෙ එහෙම සම්බන්ධයක් නෑ.”
“ඒකත් එහෙමද!” කපු මහත්තයා බලාපොරොත්තු සුන් කරගෙන අපි දිහා බැලුවා. ඊට පස්සෙ ආයෙත් මොනර පිහාට්ටෙන් ඔළුවට තට්‍ටු කළා. මට නම් ඒ විඩේ බයත් හිතුණා. දැං අපි දෙන්නට බඳින්න වෙයිද දන්නෑ. ඒත් යකෝ අපි මොකටද බඳින්නෙ? හිමකිකිළිනෙ බඳින්න හොයන්නෙ.
“හොඳා. හොඳා. දැන් එහෙනම් ඔහේලා යන්නකෝ. බාරෙ ඔප්පු කරන්න එන දාට අර නෝනාව එක්කගෙන එන්නකො.”
“අපි දෙන්නා ගල් පඩි දෙක, දෙක දුවමින් දේවාලෙන් එළියට ගමන පටන් ගත්තා. මියෑව් මියෑව් කිසි සද්දයක් නෑ. ගල් ගිලලා වගේ. මගේ අත තදින් අල්ලගෙන වේගෙන් ඇවිදිනවා විතරයි. මටත් බය හිතුණා එවේලෙ කතාකරන්න. කේන්ති ගිහිංද කවුද දන්නේ! අපි බුදු මැඳුර ආසන්නෙට ආවම මියෑව් මියෑව් ඉද්ද ගැහුවා හේ නතර වුණා.
“ඩම් බිරියානි හැබෑට තමුන්ට පිස්සුද? මොනවද මේ කරන බයානක වැඩ?”
“ඉතිං මං කාඩ්බෝඩ් එක අරං ආවෙ හොඳ හිතින්නෙ. ඒක බයානක වුණේ මං නොදැනනේ.”
“නොදැන වුණ හරිය මැදැයි. මං අර නොමැරී එන්න ලැබේවා කියලා පතපු එකෙන් වෙන්නෝනා අපි බේරුණේ. හිම කිකිළිට නම් ධන කුවේරයෙක් ලැබෙයි. අපේ තමයි ඇටකටු සුප් හැදෙන්නෙ.”
“මෙහා බලන්නකො. නිධන් ගන්න වැඩේටත් බය නොවුණ ඔයා, ගොඩ්සිලාටත් බය නොවුණ ඔයා මේකට බය වුණේ මොකෝ?”
“ඇයි ගෑනියෙ අර ‘දූප’ ටීවී එකට බය නැත්තෙ මොකාද? උංගෙ ටීවී එකේ යන ඒවා දැකලා තියෙනවද? උංට නියපොතුවල ඉදන් පිස්සු.”
“මං දැකලා නෑනෙ අනේ.”
“හා….එහෙනම් අපි දෙන්නා හිමකිකිළිගෙ රූපෙ උස්සං බයික් එකේ යන එකට උං හදන කතාව දැක්කම ඔයාට තේරෙයි මං කියපු එක.”
අපි දෙන්නා ගෙදර එද්දි අපේ අම්මා පාරේ හිටගෙන ඉන්නවා ඉණට අත් දෙකත් ගහගෙන.
“මොකක් නමුත් විනාසයක් වෙලා මියෑව් මියෑව්.”
මියෑව් මියෑව් කිසි සද්දයක් නැතිව මෝටර් බයිසිකලේ වේගෙ අඩු කළා. හරියට අම්මව මුණ ගැහෙන්න තියෙන කාලය අඩු කරගන්න වගේ. අපිට බයිසිකලේ නවත්තලා හෙල්මට් ගලවන්න ලැබුණේ නෑ.
“මොනවද යක්සයනේ අර කරලා තියෙන්නෙ? උඹලා හූනියම් ගුරෙක් හම්බෙන්නද ගියේ? කතා කරපං ළමයෝ.”
“අපි මොකුත් කළේ නෑ අම්මේ. බොරුවට කෑ නොගහ ඉන්නකො.”
“කළේ නෑ! උඹලා අර කරලා ඇවිත් තියෙන හරිය මැදැයි. මේ නාකි මට සැනසීමේ ඇස් දෙක පියාගන්න දෙන්නෙපා. අනේ මෙහෙමත් දරුවො. මුං දරුවො නෙවෙයි යස්සයෝ. යස්සයෝ.”
“මොකද ඇන්ටි වෙලා තියෙන්නෙ?”
“වෙලා තියෙන්නෙ? මං හිතුවා ඔය ළමයටත්වත් උකුණු පුකකවත් මොළයක් ඇති කියලා. උඹත් අපේ එකී ජාතියෙම ගොන් බඳින කණුවක්.”
“මොකක්ද දැං වෙලා තියෙන්නෙ? හරස්පද ප්‍රහේලිකා නොකියා කියන්නකො අම්මෙ.”
අම්මා ඉණේ ගහං හිටපු ෆෝන් එක ඇදලා දවල් නිවුස් පෙන්නුවා.
“හොරණ ප්‍රදේශයේ කුප්‍රකට දේවාලයක රූපවලට පණ දෙන යකැදුරකු අපේ විශේෂ ‘දූප’ කැමරාවට අද උදෑසන හසුකරගත හැකි විය. ජීව ප්‍රමාණයේ රූපයක් රැගෙන මෝටර් බයිසිකලයක තරුණ යුවළක් එම දේවාලය බලා ඉතාම රහසිගතව ගමන් අරඹන ආකාරය බලන්න. ඉතාම සූක්ෂම අපගේ ඩ්‍රෝන කැමරා මඟින් පටිගත කරන ලද මේ දර්ශනවල සියල්ල සටහන්ව ඇත. දේවාලයේ රහසිගතව වෙසෙන මේ යකැදුරාට කළ නොහැක්කක් නොමැති බවටයි ආරංචි මාර්ග පවසන්නේ. ඔහුට අධික ශරීර ශක්තියක්ද ඇති අතර, දැඩි මානසික ශක්තියක්ද ඇතැයි සැලකේ.
දර්ශන රූගත කර ගැනීමට ගිය අපේ කැමරා කණ්ඩායමේ හතර දෙනෙකු මේ වන විට අත්, පා අඩපණව සිටියි. ඒ යකැදුරා යක්ෂාවේෂයෙන් අපේ ඩ්‍රෝන කැමරාවකට පොල්ලකින් පහර දෙන ආකාරය දැක්වෙන මේ රූප රාමුව නරඹන්න. ඉන්පසුව ඔහු එක් අතක පොල්ලක්ද, අනෙක් අතේ යම් කුඩක්ද සහිතව මතුරන ආකාරයත්, ඒ අනුවව තවත් අයකුද අතකින් මොනර පිල් මිටක් ගෙන මතුරන ආකාරය ඔබට පැහැදිලිව දැන් පෙනෙනු ඇත. මොවුන් යක්ෂයන් බැඳගෙන වැඩගන්නා පිරිසක් වන අතර, ප්‍රදේශයේ මිනිසුන්ගේ ආරක්ෂාවටද මහත් තර්ජනයක් වන බවට දැන් පැහැදිලිය.
යකැදුරන් මතුරා අවසානයේ ශරීර ප්‍රමාණයේ කාන්තා රුව නිරුවතින් දේවාල භූමියෙන් පිටතට එන දර්ශන අප සතු වුවත් රූපවාහිනියක එවන් දර්ශන විකාශය කිරීම සදාචාර විරෝධී බැවින් ඒ දර්ශන ප්‍රචාරය නොකරේ. වහාම මේ ක්‍රියාදාමයට සම්බන්ධ සියලුම දෙනා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන පොලිසියෙන් ඉල්ලා සිටිමු. අවශ්‍ය නම් සියලුම වීඩියෝ දර්ශන පොලිසිය වෙත ලබාදීමටද අපට හැකිය. “
“මේ මොන බේගලයක්ද? මුංව පණ පිටින් තම්බන්න එපැයි.”
“පණ පිටින් තම්බන්න? ඇයි උඹලෑ යකදුරාද කිව්වෙ එහෙම කරන්න කියලා? අනේ මේ ඩම් බිරියානි, වැරැද්ද කරලා අනිත් උංව තම්බන්න කතා කරන්නෙපා. දැං හවස් වෙද්දි පොලිසියෙන් ඒවි. අනේ අම්මපා මොන නව නිංගිරාවක්ද! යකෝ අපේ පවුලෙ එකෙක් කවද්ද හිරේ ගියේ. දැං ඉතිං උඹලා දෙන්න ඒකත් කළා.”
“අනේ මේ අම්මේ! විකාර නැතිව ඉන්න. අපිව මොකටද පොලිසි ගෙනියන්නෙ? අපි මොන වරදක් කළාටද? මුංගෙ මේ බේගල්වලට කවුරු අහුවෙනවද? අනික ඔහොම කිසිම දෙයක් වුණේ නෑ. දේවාලෙ කපු මහත්තයා මොන යක්දෙස්සෙක්ද? ඒ මනුස්සයා බොහොම යහපත් කෙනෙක්. ‘දූප’ ටීවී බල්ලොන්ව හම ගහන්නෝනා. ඉන්නකො මං එයාලට වැඩේ කරවන්න. අපෙත් ඉන්නවා ලොකු-ලොකු තැන්වල යාළුවෝ. මෙහෙම එක-එකාට බොරු පයිත්තියන් නටන්න දෙන්න බෑ. අනික කාගෙන් අහලද අපි දෙන්නා බයිසිකලේ යන ඒවා ටීවී එකේ පෙන්නුවේ? අපහාස නඩුවක් දානවා මං මුංට විරුද්ධව. නල්ලමලේ ටීවීනෙ මේවා.”
“මං කිව්වනේ ඩම් බිරියානි ඔය පරයොන්ගෙ හැටි. ඕකුන් අහස-පොළොව නුහුලන නිවුස් තමයි හැමදාම දාන්නෙ.”
“හහ්…එව්වා මං එක්ක වානා. එයාලා මෙදා පොටේ කෙහෙල් ගහට කෙටුවේ.”
“ඉතිං දැං ඔයා මොකද කරන්නෙ?”
“අනේ මේ ඩම් බිරියානි ඔයාගෙ ඔය ගොඩ පෙරකදෝරු කතා හරියන්නෑ. අනික දැන් ටීවී එකේ ඒක ගිහිල්ලත් ඉවරනේ.”
“ඉවර නෑ. ඉන්නකො මං උන්ට වැඩේ බේරන්න.”
— — — — — — — — — — — — — — — — — — — — — — — — — — — — — — — — — — -
මං එවෙලෙම අයියගෙ යාළු ලෝයර් නෝනා කෙනෙකුට වැඩේ කිව්වා. එයා කිව්වා බය වෙන්න දෙයක් නෑ , එයා ලියුමක් හදලා දෙන්නම්. ඊට පස්සෙ ඒක ‘දූප’ ටීවී එකට යවමු කියලා. තව මං දන්න ලොක්කො කීප දෙනෙකුටත් වැඩේ කිව්වා. කෝකටත් කියලා චණ්ඩියෙකුටත් කිව්වා ගොඩින් බැරි නම් මඩින් හරි ප්‍රශ්නෙ විසඳලා දෙන්නය කියලා. හැමෝම එක මවකගෙ දරුවො වගේ ‘හා’ කියලා කිව්වා. අම්මා කොස් තම්බලා, හාල්මැස්සො බැදලා, දිග පරිප්පු හොද්දක් හදලා තිබ්බා. රෑට කන්න එහෙමට පිරියක් නැති වුණත් ප්‍රස්නවලට මූණ දෙන්නම් නම් සවි ශක්තියෙන් ඉන්නෝනා කියලා හිම කිකිළිත් කියපු නිසා ඔන්නොහේ බත් පිගානක් කෑවා. මියෑව් මියෑව් කෑවද කියලා අහන්න කෝල් කළා, එයා ෆෝන් එක ඕෆ් කරගෙන. මං පණිවිඩයක් තියලා නිකා හිටියා. ඇයි වදේ එයාටත් මේවා ගැන කැක්කුමක් තියෙන්න එපෑය. මාව විතරයෑ ටීවී නිවුස්වලට ගියේ. එයාවත් ඔය යසට පෙන්නුවේ.
එහෙන් අම්මා බණිනවා, මෙහෙන් යාළුවන්ගෙන් කෝල් එනවා. ඕපදූප සයිට්වලිනුත් මැසේජ් එක පිට එක එනවා. මොන ඉලව්වක්ද අම්මපා මේ වුණේ කියලා හිතමින් ඉන්නකොට ඔන්න මියෑව් මියෑව් කෝල් කළා. එයා හෙන රහසින් වගේ කතා කළේ.
“ඩම් බිරියානි…ඔයා නිදිද? මං මේ යාළුවෙකුගෙ ගෙදර හැංගිලා ඉන්නේ. ගෙදර එන්නෙපා කියලා අම්මයි-අක්කයි කෝල් කරලා කිව්වා. තාත්තා නම් කිව්වා ඔන්නොහේ එන්න කියලා. තාත්තා නම් කියයි. ගියාට පස්සේ අම්මගෙනුයි, අක්කගෙනුයි මං එපැයි බේරෙන්න.”
අනේ ඒ පාර නම් මට දුක හිතුණා. මගේ මේ මළ ඉලව් නිසා මේ මනුස්සයට විඳින්න වෙලා තියෙන කරදර කියලා හිතුණා.
“අනේ මට සමාවෙන්න මියෑව් මියෑව්. මම හිතලා කළ දෙයක් නෙවෙයිනෙ.”
“ඒකට කමක් නෑ. අර ‘දූප ටීවී’ සක්කිලි බල්ලොන්ව හම ගහන්නෝනා. මං උංට කෝල් කරලා බණින්න හදද්දි මිතුන් කිව්වා එපා, ඕකුන් ඕකත් රෙකෝඩ් කරලා දාවි කියලා. ඒ නිසා මං නිකං හිටියා. ඇත්තනේ. උංට කිසිම සදාචාරයක් නෑනෙ. වීව්ස් ගන්න ඕන දහදුරා වැඩක් කරාවි.”
“අපොයි ඔව්. කෝල් කරලා බණින්නෙපා. උං ඒකත් ප්‍රයෝජනේට ගනී. අපිටයි අන්තිමට අවාසි වෙන්නෙ. මං අපේ අයියගෙ ලෝයර් යාළුවට ඔක්කොම කිව්වා. එයා හෙට උදේම ලියුමක් ඩ්‍රාෆ්ට් කරන්නම් කිව්වා. ඊට පස්සෙ ඒක එයා හරහාම ‘දූප ටීවී’ එකට යවනවා.”
“අන්න නියමයි. ඕකුන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕනා. පර බල්ලෝ.”
“එහෙනම් ඔයා හෙටම ගෙදර යන්න.”
“ඔව්. මං හෙට දවල්ට වගේ ගෙදර යනවා. එතකොට අම්මලගෙ කේන්ති නිවිලා තියෙයි.”
මියෑව් මියෑව්ට වුණ වින්නැහිය කියලා හිතමින් මං නිදාගන්න ආවා. රෑ පුරා බයංකාර හීන පෙනුණා මතකයි. එකක කතා කරන හැකරැල්ලෙක් හිටියා. ඌ අනාවැකි කියන එකෙක්. අනාවැකියක් අහන්න ඕනා නම් ඌට පණ පිටින් කණාමැදිරියෙක් පූජා කරන්නෝනා. මං එකෙක් අල්ලලා පූජා කළා. ඌ ඇස් පියාගෙන අනාවැකිය කිව්වා.
“ඔය ප්‍රස්නෙ දුරදිග යන්නෑ. දැන් ඔය ළමයා ගිහිං නිදාගන්න.”
‘ඒ මොන සමයං අනාවැකියක්ද?’ කියලා ඇහුවා නිසා හැකරැල්ලා ඌට පූජා කරපු කණාමැදිරියාව මට කන්න කිව්වා. මං බෑ කිව්වා. ඌ අත් ගොඩකින් අල්ලලා කණාමැදිරියා මගේ කටේ එබුවා. ඌව ගිලපං කියලා මගේ හිස් මුදුනටත් පාරක් කෙළලා ඇරියා. මට කණාමැදිරියාව ගිලුණා. මං ඌව ගිලිනකොටත් උගේ ලුමිනස් ලයිට් එක පත්තු වෙවී තිබ්බේ.
මට මහා බයක් දැනුණා. දැන් මැරෙයි, දැන් මැරෙයි කියලා හිතද්දි එලාම් එක වැදුණා. කවදාවත් නැතිව මම එලාම් එක ගැන ආදරයක් ඇති වුණා. ඇදෙන් බහින්න වුණේ නෑ ෆෝන් එක රිංග් වුණා. මියෑව් මියෑව්ගෙ නම පෙනෙද්දි මට ළාවට වගේ බයකුත් දැනුණා. යකෝ මොන මරාලයක්ද දන්නෑ ඒ පාර.
“ඩම් බිරියානි ගුඩ් මෝනින්! දන්නවද වැඩේ? අන්න ‘දූප ටීවී’ බල්ලො බ්‍රේකින් නිවුස් එකක් ගහලා අපෙනුයි, කපු මහත්තයගෙනුයි ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා. අපිට වන්දියකුත් දෙන්නම් කිව්වා.”
“හෑ….ඒ කොහොමද? තාම ලෝයර් අක්කා ලියුම යැව්වෙත් නෑනෙ.”
“කොහොමද දන්නෑ අයියෝ. අන්න උං දෙකට නැවි නැවි සමාව ඉල්ලනවා. ඔයා තව කාට හරි කිව්වද මේ කේස් එක ගැන?”
“මං අඳුනන චණ්ඩියෙකුට නම් කිව්වා. ඒත් එයා මට ආයෙ මොකුත් පණිවිඩයක්වත් තිබ්බෙ නෑනෙ.”
“කවුරු වුණත් අපේ මොකෝ. ඉන්න මං ඔයාට ලින්ක් එක එවන්න. ඔයා ඕක ගෙදර අයට පෙන්නන්න. මං අපේ අම්මටයි-අක්කටයිත් යැව්වා.”
මියෑව් මියෑව් පුදුම සතුටකින් කතා කළේ. මට නම් මේ මොකුත්ම හිතාගන්න බැරිවයි උන්නේ. අර චණ්ඩියා මුංට වැඩේ බේරුවා නම් ලොකුකමටත් එක්ක එවෙලෙම මට කියනවනෙ. එයා නිහතමානී චණ්ඩියෙකුත් නෙවෙයි. කැපිලා පේන්න ආස කෙනෙක්.
ලින්ක් එක ඕපන් වුණා. ‘දූප ටීවී’ ඈයො මාර යටහත් පහත්ව අපි දෙන්නගෙනුයි, කපු මහත්තයාගෙනුයි, පත්තිනි මැණියන්ගෙනුයි, තව දේව පරම්පරාවකින්ම සමාව ගත්තා. අපිට වන්දියකුත් ගෙවන්න පොරොන්දු වුණා. වීඩියෝ එක සියලුම තැන්වලින් ඩිලීට් කරලා තියෙන්නෙ කියලත් කිව්වා. මට තාම මේක අදහගන්න බෑ. අනික අපිට වන්දියක් දෙන්නත් මුං පොරොන්දු වුණානෙ. ඒක කොහොම වුණ එකක්ද? යකඩෝ!! මගේ ඇස් අදහගන්න බැරිව හය-හත් වතාවක් මං ඒ ක්ලිප් එක බැලුවා. බලලා ලෝයර් අක්කටයි, ඔක්කොටමයි ෆෝවඩ් කළා. ලෝයර් අක්කා එසැනින් වොයිස් මැසේජ් එකක් එව්වා.
“එහෙනම් අපිට ලියුම් යවන්න ඕන වෙන්නෑ. නියමයි.”
මම ඒ මැසේජ් එකට හාට් එකක් දැම්මා.
— — — — — — — — — — — — — — — — — — — — — — -
පසු කතා :
අපි ආයෙ දේවාලෙ පැත්ත පලාතෙ ගියේ නෑ. ඒත් දවසක් කපු මහත්තයාව කළුතර බෝධියෙදි මුලිච්චි වුණා. මිනිහා මුලින් අපිව නොදැක්කා වගේ ඉන්නත් හදලා අන්තිමේ අපිට ළඟට කතා කළා.
“කොහොමද ඉතිං?”
“හොඳින් ඉන්නවා කපු මහත්තයා.”
අපි දෙන්නා ඇඹරෙමින් උත්තර දුන්නා.
“හැබෑට කපු මහත්තයා අර ටීවී එකේ අය වරද පිළිඅරගෙන අපෙන් සමාව ගත්තෙ මොකෝ? ඒ ගැන මොනාහරි දන්නවද?”
කපු මහත්තයා ළාවට හිනාවෙලා කොණ්ඩෙ හැදුවා. යමක් සිද්ධ වෙලා කියලා අන්න එවෙලෙ මට තේරුණා.
“වැඩිය මොකුත් කළේ නෑ නෝනා. ඩ්‍රෝන් පරයන්ගෙ බොටුවෙන් අල්ලලා හොල්ලලා “මං තොපේ කැවුතු කාලා ලේ බොනවා” කිව්වා. තව බන්ධනයක් කළා කියලා රෙදි බෝනික්කො ටිකකුත් ගෙනිහින් පපුවට කටු ගහලා පෙන්නුවා. බෝනික්කොන්ගෙ ඇග ඇතුළෙ ඩයි එකක් දාලා එවෙලෙම පපුවෙන් ලේ ගලනවා වගේ පෙන්නුවා. ඊට පස්සෙ බූතයෙකුට කියලා අහසින් කුඩක් ගෙන්නවලා ඒක උංගෙ මූණට යන්න පිම්ඹා. ඩ්‍රෝන් පරයො බය වුණා චූ යන්න. උංම තමයි කිව්වෙ සමාව ඉල්ලන්නම්, වන්දියක් දෙන්නම්, වීඩියෝ මකන්නම් කතා ඔක්කොම. මං ‘හා’ කිව්වා විතරයි. අපේ පොඩි කපු මහත්තයා එකෙකුට දෙන්නෙකුට තරමක් තදින් ගැහුවා නම් තමයි.”
“හෑ….එච්චර හරියක් වුණාද?”
“ඕවා සුළු දේවල් නෝනා. ඒක නෙවෙයි බාරෙ ඔප්පු කරන්න එද්දි එහෙනම් අර ‘කිකිළි’වත් අරං එනවා හොඳයි. අපි මේ ආසාවෙන් ඉන්නෙ උන්දැව බලන්න.”
මං “හා. හොඳයි” කියද්දි කවුදෝ ඝාංඨාරෙ ගහනවා ඇහුණා.
කපු මහත්තයා මයිකල් ජැක්සන්ගෙ ‘මූන් වෝක්’ එකේ වගේ පාවෙමින් වැලි මළුවෙ සැහැල්ලුවෙන් ඇවිදගෙන ගියා.