kanchana amilani
6 min read3 days ago

ඩම් බිරියානි•

ix. රූපෙට රූපෙ•

“…‘රූපෙට රූපයක් පූජා කරනවා’ කියලා ඔයා භාර වෙන්න.”
“අයියෝ ඕක මොකක්ද, සුළු දෙයක්නෙ. මං භාර වෙන්නම්.”
ඔන්න ඕකයි සංවාදෙ. හිම කිකිළි ඇන්ටාක්ටිකාවෙ ඉදන් මගෙන් ඉල්ලීමක් කළා. එයාගෙ කීමට ජර්මන් පන්සලේ කොඩි දාලා, නීග්‍රෝධාරාමෙ කොඩි දාලා, කළුතර බෝධියේ කොඩි දාලා මාව ඒ සියලු තැන්වලින් එළවලයි තිබ්බෙ. මොකද ඒ කොඩිවල ලියලා තිබ්බ දේවල් ‘හරි මදිය’ කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඉතිං මං වරද පිළිඅරන් කොඩි අකුල‍ං එන්න ආවා.
ඒ කොඩිවල තිබ්බ දේවල් ගැන නිකමට කියනවා නම්, එකක මං ලිව්වා ‘හිම කිකිළිට ඕසෙට සල්ලි ලැබියං’ කියලා. තව එකක ලිව්වා ‘ගන්න, ගන්න ලොතරැයිය ඇදියං’ කියලා. අන්තිමට දැම්ම කොඩියෙ තිබ්බෙ ‘ඩුබායි ධන කුවේර මන්දිරයක් ලැබියං’ කියලා. මෙව්වා එහෙම කොඩිවල ගහන්න සුදුසු දේවල් නෙවෙයි කියලා ඒ අදාළ තැන්වලින් මාව එළෙව්වා.
දැන් යන්න හදන්නෙ උග්ගල්බඩ දේවාලෙට. ගිහිං කරන්න මහ ලොකු දෙයක් නෑ. බාරයක් වෙන්නයි තියෙන්නෙ. බාරෙ වෙන්නෙ මොකටද කියලා මගේ හිතේ තිබ්බාවෙ කියලා හිම කිකිළි කිව්වෙ. මං ඔක්කොටම හා කිව්වා. මේ ගැන ගෙදර අයටයි, මියෑව් මියෑව්ටයි තාම කියාගන්නත් බැරි වුණා.
අම්මගෙ කකුල් කැක්කුමයි කියලා මේ ගමනට එන්න බෑ කිව්වා. එයා කිව්වෙ මියෑව් මියෑව් එක්ක මෝටර් බයිසිකලේ යන්නයි කියලයි. ගමනට එන්න බැරි වුණාට අම්මාගෙ සම්පූර්ණ සහයෝගය දෙන්න එකඟ වුණා.
“දැන් ඔයා කොහොමද භාරෙ වෙන්නෙ? ඔයා මීට කලින් ඔය වගේ භාරයක් වෙලා නෑ නේද? ඕක කරන පිලිවෙල එහෙම දන්නවද?”
“මං දන්නෑ අනේ. ඒකනෙ ඔයාලගෙන් උපදෙස් ඉල්ලුවේ.”
“මෙහෙමයි ඔයා මල් වට්‍ටියකුයි, තෙල්, හඳුන්කූරු, කපුරු අරගෙන යන්න. ඒවා පත්තිනි දේවාලෙට පූජා කරන්න. ආ..ඊට කලින් අර පොඩි රූපයක් ගන්න පූජා කරන්න”
“ඉතිං ඒ පිත්තල කෑලිවල හරියට රූපෙ පේන්නෙ නෑනෙ. එව්වා හරියන්නෑ.”
“මොකෝ හරි නොයන්නෙ? ඒවා තමයි හැමෝම පූජා කරන්නෙ.”
“ඒක වංචාවක්. රූපෙට රූපෙ නම් හරි රූපයක් පූජා කරන්නෝනා.”
“අනේ මේ ඩම් බිරියානි, කියන දෙයක් අහන්න ඉගෙනගන්න.”
“හරි. හරි. අම්මා ඉන්නකො. මං සාධාරණ විදිහට වැඩේ කරන්නම්.”
ඒ පාර අම්මා හොඳටම කලබල වුණා.

“පුතා මෙහෙ එන්න. මේ නංගිට කියන්න රූපෙට රූපෙ පූජා කරන්නෙ කොහොමද කියලා.”
අයියා ආවා ‘බැස්කවිල් රුදුරු බලුව’ පොත කිහිල්ලෙ ගහගෙන.
“ඔන්න මේ චැප්ටර් එකේ තමයි අරුන් ඩබල යස්ස බල්ලව අල්ලන්න යන්නෙ. දැන් මොකක්ද ඔයාලගෙ ප්‍රස්නෙ?”
“ඇයි ළමයෝ බීරිද? ම‍ං දැන් ඇහුවෙ රූපෙට රූපෙ භාරයක් වෙන්නෙ කොහොමද කියලනෙ.”
“ඒක සිම්පල්. රූපයක් අරං යන්න”
කියාගෙන මිනිහා ආයෙ ගේ ඇතුළට වැදුණා.
මං අයියා කියපු එක තදින් හිතට ගත්තා. අනිද්දා සෙනසුරාදා නිසා මියෑව් මියෑව්ට නිවාඩුනෙ. එයා එන්නම් කිව්වා 8 වෙද්දි. මට හෙට දවසම තියෙනවා ඉතිරි වැඩ ඔක්කෝම කරගන්න.

මං මුලින්ම කළුතර උතුරෙ කටවුට් ප්‍රින්ට් කරන තැනට ගිහින් වැඩේ බාර දුන්නා. හිම කිකිළිගෙ ලස්සන පින්තූරයක් තෝරලා එව්වෙ එයාමයි. ඒක සෙනසුරාදා උදේ යද්දි අරන් යන විදිහට පැක් කරලා තියන්නම් කිව්වා. ගාණත් ඉතිං සාදාරණයි. කහ මල් එක්ක නිල් මානෙල් ටිකකුත් පූජා කරන්න කියලා අම්මා කිව්ව නිසා බෝධිය ළ‍ඟින් නිල් මානෙල් පොහොට්ටු 20ක්ම අරං ආවා. කෝකටත් කියලා අම්මා කිරිබතක් හදලා දෙන්නම් කිව්වා.
“හැබැයි පුතේ මේවා මෝටර් සයිකලේ මඟ නවත්තං දෙන්නා එක්ක කනවා එහෙම නෙවෙයි හොඳේ!!”
“පිස්සුද අනේ? අපි උදේට පාලම් දෙක ළඟ සුනේත්‍රා අක්කලගෙ කඩෙන් තෝසෙ කාලා යන්න හිතන් ඉන්නෙ.”
“එහේ රෝන්දෙ ගිහිං උග්ගල්බඩ යන්න පරක්කු වෙයි ළමයෝ. එක පාර එක වැඩක් කරපල්ලා. දොඩං ගොඩ වගේ ඔක්කොම බදාගන්න යන්නෙ නැතිව.”
අම්මා පුටු පුටු ගගා කියවමින් කිරිබතට දාන්න පොල් බ්ලෙන්ඩර් කරන්න ගත්තා.

පාන්දර පහේ ඉදන් අම්මගෙ සද්ද පූජාව පටන් ගත්තා. ටීවී එකෙත් පිරිත් දාලා, රේඩියෝ එකෙත් පිරිත් දාලා. ඒ මදිවට ආයෙ පොල් බ්ලෙන්ඩර් කරන සද්දයකුත් ඇහෙනවා. අන්තිමට මට 5.45ට නැගිටින්න සිද්ධ වුණා.
“ඔය නෙළුම් පොහොට්‍ටු ටික පුප්පවාගනින් ළමයෝ. නැතිව ඕවා කපුමහත්තයා පුප්පන්නෙ නෑනෙ. කහ මල් ටිකට පැන් ගහලා ෂොපින් බෑග් එකකට දාගන්න. පඬුරු එහෙම ගන්න. ඔය මිථ්‍යා දුෂ්ටික කතා එහෙම දේවාලෙදි කියනවා නෙවෙයි. මගේ මේ කකුල් අමාරු නැත්නම් මම ඔයාව තනියෙම යවන්නෑ. මොනවා කරගෙන එයිද විස්වාස නෑනෙ මේ ළමයි. මැදැයි ජර්මන් පන්සලේම කොඩි එල්ලන්න ගිහිං කරං තියෙන වින්නැහිය. දැන් ආයෙ ඒ පැත්ත පළාතෙ යන්නයි කියලද? විළිලැජ්ජාවෙ බෑනෙ. මුතුකුඩ නෝනගෙ ළමයි කියලනෙ කියන්නෙ.”
මම හෙමි‍ං සැරේ මියෑව් මියෑව්ට කෝල් කරලා විජහට එන්නයි කිව්වා. අම්මගෙ බැණුම්වලින් ගැලවිලා යනවා මිසක් ඒවට උත්තර දීලා තේරුමක් නෑ. අනික උත්තර දෙනවා කියලා මොනවා දෙන්නද? සියලු වරද ම‍ං අතේනෙ.
මියෑව් මියෑව් ‘බරාස්’ ගාලා බ්‍රේක් ගහනවා ඇහුණා.
“යං යං පරක්කුත් වෙලා.” කියාගෙන මං එළියට ආවා.
කිරිබත් ද, කහ මල් ද, නෙළුම් මල් ද අරගෙන මං බයිසිකලේට ගොඩ වුණා. මියෑව් මියෑව් තාම නිදිමතේ ද මන්දා!
නාගස්හන්දියට හරවනකොටම මියෑව් මියෑව්ට මතක් කළා රූපෙ ගන්නෝනා කියලා.
“රූපෙ? මොන රූපෙ ද?”
“ඇයි අනේ පූජා කරන එක. ඒක ගන්නෝනා. ඔන්න ඔය හරියෙං නවත්තන්න. මං ‘ඩිං’ ගාලා ගිහිං අරං එන්නම්. මියෑව් මියෑව් මවිත වෙච්ච ගමන් බයිසිකලේ නැවැත්තුවා.
මං ගිහින් කඩේ දොරට තට්ටු කළාම රණසිංහ අංකල් දොර පලුවක් ඇරලා රූපෙ දුන්නා.
“ඕක අරං යන්න ඇහැකියෑ ළමයෝ? නවාගන්නෙපා හොඳේ. ඔය කාඩ්බෝඩ් එක නැවුණොත් කොහේවත් හිටවන්න බැරිව යාවි.”
“හරි. හරි”
මම රූපෙ තිරස් අතට වඩාගෙන යනකොට මියෑව් මියෑව්ගෙ කට ඇරුණා.
“ඔච්චර විසාල එකක්? ඕක කොහේ හරි හිටවන්නද?”
“පිස්සුද අනේ? කොහේ හිටවන්නද? මේක පූජ කරන්න ගෙනියන්නෙ.”
“පිස්සු මට නෙවෙයි, ඔයාට. අනේ මම නම් නෑ ඔය විකාරවලට.”
“හරි අනේ. යංකො. යංකො. මමනෙ පූජ කරන්නෙ.”
“දැන් මේකක් කිහිල්ලෙ ගහ‍ං පාලම් දෙක ළඟ කඩෙන් තෝසෙ කන්න යන්න බෑ. අපි ඔය මඟක තිබ්බොත් ලැවරියා වගේ දෙයක් අරං කමු.”
මියෑව් මියෑව් ටිකක් හිතේ අමාරුවෙන් වගේ ඒක කිව්වෙ.
පාර දිගටම උන්න මිනිස්සු අපි දිහා පුදුමෙන් බැලුවේ. ඊට එහා මියෑව් මියෑව් නහයෙන් අඬනවා අපිව පොලිසියෙන් ඇල්ලුවොත් මොකද කියන්නෙ කියලා. මොනව කියන්නද ඉතිං. කවුරුත් රූප පූජ කරනවා ඇතිනෙ. මේක පොලිසියෙන් අල්ලන්න වැඩක්යැ. අනික මේ හොරණ පාරෙ එහෙමට පොලිසියෙන් නෑ. ඇල්ලුවත් ශාන්ත අයියට හරි නෙලුම්කාට හරි කියන්න බැරියැ. එයාලා මාව බේරගන්නෙ නැතැයි.
අපි උග්ගල්බඩ දේවාලෙට හැරෙනකොට වෑන් එකක් පුරෝලා තවත් කට්ටියක් ගියා. ඒ හැමෝමත් අපි දිහා පුදුමෙන් බැලුවා. දැන් මටත් ටිකක් පුදුමයි. මොකෝ දන්නෑ මේ හැටිම අපි දිහා බලන්නෙ. අපි දෙන්නගෙ ෆොටෝ එඩිට් කරල කොහේහරි දාලද දන්නෑ. ඒත් අපේ එඩිට් කරන්න වටින ෆොටෝ තියෙන එකක්යැ.

අපි දෙන්නා බයිසිකලේ විහාර ගේ ළඟ නතර කරලා දේවාලෙට පල්ලම් බහින්න පටන් ගත්තා. හරස් අතට මගේ කිහිල්ලෙ හිම කිකිළිගෙ රූපෙ. මියෑව් මියෑව් මල්, තෙල්, කිරිබත් අතින්, කටින් එල්ලගෙන. අපි මුලින් මල්, පහන් පූජා කළා. ඊට පස්සෙයි භාරෙ වෙන්න ගියේ. ගල් පඩි බැහැගෙන ගිහින් අන්තිමට පත්තිනි දේවාලෙ ළඟට යනකොට එතන සූ ගාලා සෙනඟ. යාතිකාවල ඉවරයක් නෑ. ඒ අස්සෙ කෙනෙක් මායම් වෙලාද කොහෙද, කෙස්ස කඩන් නටනවා. අපි දෙන්නා කෝකටත් කියලා රූපෙ කිහිල්ලෙ ගහංම පැත්තකට වුණා. ඔහොම බිත්තියක් අයිනෙ ඉන්න අතරේ කපු මහත්තයෙක් අපිව දැක්කා.
“ඔය නෝනයි, මහත්තයයි මොකටද දන්නෑ ආවෙ? මෙහෙට එමු. මෙහෙට එමු.”
කපු මහත්තයා රැල් බුරුල් ඇරලා කතාකරන්න පටන් ගත්තා. අතේ තිබ්බ මොනර පිහාටු ටිකෙන් චාමර සලන ගමන් එහෙම කිව්වෙ.
“අපි මේ රූපෙට රූපයක් භාර වෙන්න ආවා.”
“හා..එමුකො බලන්න. කෝ දෙන්න පූජා වට්ටිය. කෝ පඬුරු තියන්න ඔතනින්. ආ…එතකොට කෝ රූපෙට රූපෙ? අමතක වුණැයි?”
“මේ තියෙන්නෙ රූපෙ”
මං තිරස් අතට කිහිල්ලෙ ගහං උන්නු හිම කිකිළිගෙ ජීවමාන සයිස් කාඩ්බෝඩ් රූපෙ කපු මහත්තයට ඉදිරිපත් කළා. කපු මහත්තයා ඇස් ගෙඩි එළියෙ දාං මගේ දිහා බැලුවා. මියෑව් මියෑව් දිහා බැලුවා. ආයෙ මගේ දිහා බැලුවා.
“ඈ නෝනා මක්කටද මෙච්චර ලොකු කාඩ්බෝඩ් රූප? මේවා භාරගන්න අපිට බෑ. මේ ලස්සන නෝනෙක්නෙ පින්තූරෙ ඉන්නෙ.”
“ඔව්. ඒ නෝනා තමයි කිව්වෙ එයාගෙ රූපෙ භාර වෙන්න කියලා.”
“එතකොට භාරෙ ඔප්පු කරන්නෙ කොහොමැයි?”
“ඒ නෝනාව එක්කං ඇවිත් ම‍ං මෙහෙට පූජ කරනවා. ඔය කාඩ්බෝඩ් රූපෙ ආයෙ අරං යනවා.”
“අපිට එහෙම මනුස්සයෝ භාරගන්න බෑ. අනික මේ දේවාල අස්සෙ ගෑනු අය තියාගන්න තහනං. නෝනා හදන්නෙ අපේ රස්සාවත් නැති කරන්න.”
“මේක ඉතිං කාඩ්බෝඩ් රූපයක්නෙ. මේක භාරගන්න.”
“ඒ වුණාට හැබෑවට ඉන්නවා වගේනෙ. මට නම් බෑ මේක බාරගන්න.”
“එහෙම කියන්නෙපා කපු මහත්තයා, අර පොඩි පිත්තල රූප මොකෝ මේක මොකෝ, ඔන්නොහේ මේක බාරගන්න.”
“ඔන්න ඕක ගන්න කපු මහත්තයා, මෙච්චර ඇවටිලි කරන එකේ ඕක අරගෙන දේවාලෙ කොහේහරි තියමු.”
තව සබ් කපු මහත්තයෙක් ඉදිරිපත් වෙලා එහෙම කියපු නිසා වැඩේ ගොඩ ගියා. ප්‍රධාන කපු මහත්තයා අකමැත්තෙන් වගේ හිම කිකිළිගෙ කාඩ්බෝඩ් රූපෙ භාරගත්තා. හිම කිකිළි ඉතිං ගිනි කිකිළියෙක් වගේ ඒකෙ වසීකාර හිනාවකින් නැලවිල්ලෙ ඉන්නවා.
“හරි, එහෙනම් තමුන්ගෙ ප්‍රාර්ථනාව හිතේ තියං වැඳගන්න.”

මමයි, මියෑව් මියෑවුයි වැඳගත්තා. මියෑව් මියෑව් මොනවා හිතේ තියාගත්ත ද දන්නෑ. මට එයාට කියන්නත් බැරි වුණානෙ කාරණාව ගැන හරියටම.
යාතිකාව පටන් ගත්තා. කපු මහත්තයා මොනර පිහාටු ටිකෙන් අපි දෙන්නගෙ ඔළුවට තට්‍ටු කීපයක් දැම්මා.
එතකොටම ඩ්‍රෝන් එකක් අපේ ඔළුවට උඩින් යනවා පෙනුණා. ඒක දේවාලෙ හරහා කැලේ පැත්තට ගිහින් ආයෙ අහසට නැග්ගා.
“මොකක්ද යකෝ ඒ?”
යාතිකාව නවත්තලා කපු මහත්තයා එළියට බැහැලා බැලුවා. මෙන්න එතකොටම කැලේ පැත්තෙ ඉදන් ආයෙමත් ඩ්‍රෝන් එක ආවා. කපු මහත්තයා ළඟ තිබ්බ කිතුල් පොල්ලක් අරං දෑත බදලා ඩ්‍රෝන් එකට දුන්නා කුඩු සංසාර වෙන්න.

මතු සම්බන්ධයි.

කාංචනා අමිලානි | twitter | threads | fb | insta |

kanchana amilani

Founder of thinkland | poetess| journalist| Blogger| Writer|