kanchana amilani
11 min readMar 14, 2024

ඩම් බිරියානි•

Vii. ග්‍රීසිප්‍රීසි• { අවසන් කොටස }

මියෑව්ගෙ මෝටර් සයිකලේ සද්දෙ ඇහෙද්දිම අයියා ගේ ඇතුළට ගියා උල්කාපාත කෑල්ල ගේන්න. ඒ අතරේ ‘ක්‍රාස්” ගාලා ජීප් එකක් නැවැත්තුවා ගේට්‍ටුව ඉස්සරහා. ‘සට-පට’ ගාලා ජීප් එකෙන් පොලිස් ඇඳුම් ඇඳගත්ත හතර දෙනෙක් බැස්සා. ඉස්සරහින්ම ආවෙ හයේ හතරෙ පෙනුම තියෙන, උඩු ‍රැවුල මහතට වවපු මූණ රවුම් පොරක්. ඊට පිටිපස්සෙන් උසට උසේ තව තුන් දෙනෙක් කඩිමුඩියෙ එනවා පෙනුණා. ඉස්සරහින්ම ආපු පොලිස් මහත්තයා කටහඬ ඕනවට වඩා ගොරෝසු කරලා මෙන්න මෙහෙම ඇහුවා.
“කවුද අර අඹ ගහ යට ගෙදරින් බලෙන් කුකුල්ලු උස්සං ආපු ගණංකාරයා? එන්න කියනවා මෙහෙට මට පොඩ්ඩක් බලන්න.”
මම ඔළුව හරෝලා ළිං ගැට්ට උඩ එරමිණියා ගොතං වාඩිවෙලා ඉන්න සීවක යකා දිහා බැලුවා. යකත් ඒත් එක්කම කද හරවන්නෙ නැතිව ඔළුව විතරක් සම්පූර්ණයෙන්ම පොලිස් මහත්තයා දිහාට හැරෙව්වා. දැං ඔළුව පිටිපස්සෙ, කද ඉස්සරහා. පොලිසියෙ චණ්ඩියාගෙ අතේ තිබ්බ පිස්තෝලෙත් බිම වැ‍ටුණා. ඇස් එළියට පැන්නෙ පුදුමෙටයි, බයටයි. කෑ ගහන්න වගේ කට ඇරුණා. ඒත් සද්දෙ පිටවුන්නෑ. පිටිපස්සෙ හිටපු පොලිස් රාලහාමිලා තුන් දෙනාවත් පෙරලං, බිම වැටි-වැටි ජීප් එක දිහාට දිව්වා. ඒ දුවන අන්තිම හරියෙදි,
“සාජන්….මෙහේ වරේං……ඔන්න යකෙක්…….මහා බයානක යකෙක්. දුවපං යකෝ දුවපං….මගේ පිස්තෝලෙත් ඇහිදන් වරෙන්…..” ආදිය දේවල් කියනවා ඇහුණා. පිටිපස්සෙන් ආපු තුන් දෙනත් ‘බයවෙලාම දුවනවා’ වගේ අදහසකින් ළිඳ දිහා බැලුවා. බය වුණා. ගිරිය යටින් හූ තිබ්බා. වැටි-වැටි දිව්වා. එකෙක් ආයෙ බඩගාගෙන වගේ ඇවිත් බිම තිබ්බ ලොක්කගෙ පිස්තෝලෙත් ඇහිදං දිව්වා.
සීවකයා ළිං ගැට්ට උඩ ඉදන්ම මහා කැත හිනාවක් දැම්මා. ඒ හිනාවට මගේ නම් හීගඩුත් පිපුණා.

එළියෙ වෙන මෙළෝ දෙයක් අයියට ඇහිලා නැති ගාණෙන් උල්කාපාත කෑල්ලත් උස්සන් මිනිහා ආවා. කොහේ ඇහෙන්නද මිනිහා හෙඩ්ෆෝන් දෙකක් ගහගෙනනෙ කනේ. අපිව මෙහේ මරලා දාලා තිබ්බත් මිනිහා දන්නෑ.
“කවුද ආවේ?”
“කවුද ආවෙ තමයි. පොලිස් ජීප් එකකින් හතරක් ආවා. කුකුල්ලු අරං ගිය චණ්ඩියා කෝ අහගෙන ආවෙ. සීවකයා ළිං කණ්ඩිය උඩ ඉදන් ඇග කරකන්නැතිව ඔළුව විතරක් හරෝලා බැලුවා. අරුං වැටි වැටි දිව්වේ.”
“යකෝ!! මූ අමර බඩුවක්නෙ. එතකොට මියෑව් මියෑව්? බයිසිකලේ නවත්තන සද්දෙත් මට ඇහුණනෙ.”
“අනේ මන්දා. කොහේ ගියාද හිතාගන්න බෑ. තාම වත්ත ඇතුළට ආවෙ නෑනෙ.”
මේ කතාව මැද්දෙ කුකුල්ලුන්ගෙ සැබැ අයිතිකාරි, පොලිසියට ඔත්තුව දුන්න එකී, වයලට් කොණ්ඩේ ලිහමින්, බඳිමින් ලැසි ගමනින් ආවා.
“කවුද යකෝ මගේ කුකුල්ලු උස්සං ආපු පරයා? වරෙං එළියට උඹව මම කම්මුතු කරන්න. දරුවෝ වගේ හදපු කුකුල්ලු දෙන්නා. හෙණ ගහනවා නේද උඹලට මේවට?”

වයලට්ගෙ ඇස්වලින් කඳුළු වැක්කෙරෙනවා. ඉකිය මැද්දෙන් පපුවටත් අත තියං උන්නෙ. මට ඉබේම සීවකයා දිහා බැලුණා. පොලිස්කාරයොන්ට දාපු සෙල්ලං වයලට්ටත් දාවි කියලයි මං හිතුවෙ. ඔහේ නෑ!! ඔළුව බිමට පාත් කරං ළිං කණ්ඩියෙ වාඩිවෙලා ඉන්නවා විතරයි.
ළිඳ පාමුල බෙල්ල කඩපු කුකුල්ලු දෙන්නගෙ මළ කඳන් දැක්කා විතරයි වයලට් මායම් වුණා වගේ.
“අනේ මගේ දරුවෝ වගේ හදපු දෙන්නා. කවුද මගේ දරුවන්ගෙ බෙලි කැඩුවෙ? කවුද කියපං යකෝ? මගේ ඇස් දෙක දිහා බලලා කියපං. ආ….‍තෝද මහ ලොකු කෙරුමා? බැහැපිය ළිං ගැට්ටෙන් බිමට.”
වයලට් යකාට බයත් නෑනෙ දෙයියනේ. උගේ බයානක පෙනුම ගැන මේ ගෑනිට කිසි ගාණක් නැති හැටි අම්මපා. මට නම් මේක දැං තේරුං කරගන්නත් බෑ.
සීවක යකා වයලට්ට අවනත වෙලා ළිං පඩියෙන් බැස්සා. වයලට් කුකුළු මළ කඳන් දෙක දෝතට වඩාගෙන ඉම්බා. ඊට පස්සෙ එයාගෙ ඉණේ ගැටගහන් උන්නු සරුවාලයක් ගලවලා අරං ඒක බිම තියලා ඊට උඩිං මළ කඳන් දෙක බෑව්වා. හැරුණා සීවකයා දිහාට. මළ යස්සනියක් වගේ පැන්න ගමන් සීවකයගේ කටෙන් එළියට පැනලා තිබ්බ දත් දෙකෙං එක දතක් අඹරලා කෑල්ලක් කඩලා ගත්තා. සීවකයා එළෝ-මෙළෝ නැතිව ඔළුව බඳන් කෑගහන්න ගත්තා. අර කැඩිච්ච දත් කෑල්ලත් අරං වයලට් යන්න හැරුණා. සරුවාලෙ පපුවට තුරුලු කරන්, යකාට දෙස්දෙවොල් තියමින්, සාප කරමින් තමයි වයලට් ගියේ.
ගේ ඇතුළේ හොරු වගේ හැංගිලා හිටපු අයියයි, මායි, අම්මයි මිදුලට පැන්නේ මේ සන්තෑසි ඔක්කොම ඉවර වුණාට පස්සෙයි. කොහොමත් අපි වයලට්ට බයයි. අනික අපිට පුළුවනැයි යකෙක්ව බේරන්න!
ඔය අතරේ මියෑව් ෆෝන් එකත් කනේ ගහගෙන හෙල්මට් එක වනමින් ආවා.
“ඉතිං මූව ගෙනැත් ඇරලන්න කියනවලුනෙ. මං මොකෝ කරන්නෙ? අපිට ආයෙ සල්ලි ඕන්නෑ අයියේ. ඒත් මැණික් දෙක නම් ඕනෙ.”
ෆෝන් එක කට් කරලා නිකංම ළිඳ පැත්ත බලපු මියෑව්ව එහෙම්මම එතන ගල්ගැහුණා. ඒ මදිවට යකා දැන් තවත් බයානක පෙනුමෙන් ඉන්නේ. එළියට නෙරපු දතක කෑල්ලක් කැඩිලා එතැනින් හෝයියට ලේ ගලනවා. දතක් මැද්දෙන් කැඩුණම ලේ එන්නෙ කොහොමද කියලා මට තේරුන්නෑ. සමහර විට යක්කුන්ගෙ එහෙම වෙන්නැති.
මියෑව් අඩියට දෙකට ගෙට පැන්නා. හෙල්මට් එකත් බිමට විසි කළා. කෙලින්ම කුස්සියට දුවලා කූල් වතුර එකක් ෆ්‍රිජ් එකෙං අරං බීගෙන බීගෙන ගියා. ඉතිරි ටිකෙං මූණ හෝදගත්තා. ඊට පස්සෙ පු‍ටුවකට හාන්සි වුණා.
“ඩම් බිරියානි අර මොකෙක්ද? ඌද අපි ගෙනාපු ග්‍රීසිප්‍රීසියා? උගේ මූණ හරි බයංකාරයිනෙ. මගේ කකුල් දෙකත් පණ නැති වුණා. මට නං බෑ මූව එක්කං යන්න. මගදි මූ මාව මරං කයි. මිගාර අයියට බැරිද මූව ගිහිං ඇරලලා එන්න?”
“මට පුළුචං. ඒත් ඌට යන්නෝනා කිව්වෙ උඹත් එක්කනෙ. අනික මං මෝටර් බයිසිකල් පදින්න දන්නෙත් නෑ. මූව මං පාරෙ බස් එකේ එක්කං යන්නද!!”

“කෝ ඇන්ටි?” ඒ පාර මියෑව් එක පාරටම ඇහුවා.
“අනේ මන්දා. දැං ටිකකට කලින් මේං මෙතන හිටියේ.”
මං කෝකටත් එළියට බැහැලා බැලුවා. ඔහෙ නෑ. නිකමට වගේ ළිඳ පැත්තට ගියා. මං යද්දි යකා ළිඳ පාමුල වාඩිවෙලා අඬනවා. අම්මා එතැනම මිටි බංකුවක් තියාගෙන මොනවද හෙමිං හෙමිං කියෝනවා. සීවකයා ඔළුව බදාගෙන දිගටම අඬනවා. අම්මා පොට්ටනියකට අයිස් දාල ද කොහෙද සීවකයගේ කම්මුලක් තවන්න ට්‍රයි කරනවා.
‘අනේ මෙහෙමත් නාඩගං! ඒ පාර මළ යස්සයෙක්ව හුරතල් කරන්න හදනවා. අපේ අම්මා නම් පාඩමක් ඉගෙන ගන්න කෙනෙක් නෙවෙයි.’
ඔන්න ඔහේ ඕන තොවිලයක් නටාගත්තාවෙ කියලා හිතලා මම ආයෙමත් ගෙට ආවා. මේකෙ බරපතළකම අම්මට නම් කොහොමටත් තේරෙන්නෑ. අයියට තේරෙනවා. ඒත් එයා වැඩි කලබලයක් නැතිවම ඉන්න හදනවා. මියෑව්ට නම් කොහොම කිව්වත් තේරෙන එකක් නෑ. ඔය පොඩි ළමයෙක් වගේ බයවෙලා අයිස් වතුර බිබී ඉන්නේ.
දැන් අර බයවෙලා හූ තියං දුවපු පොලිසියෙ හතර දෙනාට මොකක් වුණාද දන්නෑ. ඒ අය මේක ඉහළට රපෝර්තු කරලද දන්නෑ. උංට තොවිල් නටන්න වෙයිද දන්නෙත් නෑ. ඊට එහා වයලට් කරලා ගිය වින්නැහිය. ඒ ගෑනි මහසෝනට එහා. නැත්නම් මෙච්චර බයංකාර යකෙකුගේ දතක් කඩලා ගන්න හිතාවියෑ! ළමයි වගේ හදපු කුකුල්ලු දෙන්නා මරාගත්ත නිසා ඔය ගෑනිගෙ මොළේ පිස්සු වැටෙන්නත් පුළුවං. ඒවට වගකියන්නෙ කවුද? මෙහෙම යකෙක් අපේ ගෙදර හිටියාය කියලා කාට කිව්වත් විස්වාස කරාවිද! අපිට නුහුගුණේ කියලා හිතාවි ඕන එකෙක්. ඒත් එක්කම සීවකයාව මෝටර් සයිකලේ දාං යන්නෙ කොහොමද? මගදි පොලිසියෙන් එහෙම ඇල්ලුවොත් මොන විනාසයක් වෙයිද? සීවකයා යාල හන්දියෙදි හරි ගල්පාතදි හරි මියෑව්ව මරාගෙන කෑවොත් හෙම. මගේ ඔළුවෙ සූ ගාන දෙබරයක් බැඳලා ගානයි දැං.

“කෝ ඇන්ටි?”
“ආං අරහෙ සීවකයව නලෝනවා. කැඩිච්ච් දත් කෑල්ලට අයිස් තියනවද කොහේද!”
“අම්මා යකාට බය නැද්ද ඩම් බිරියානි?”
“අපේ අම්මා එයාට ඕන ඒවට විතරයි බය වෙන්නෙ. මං හිතන්නෙ එයාට යකාට බය වෙන්න ඕන නැද්ද කොහෙද. කවුරු දන්නවද අනේ. මෙන්න මේ කොඩිවිනේ කරන්නාගොඩටම ගිහිං දාන්න අයියෝ.”
“ඔයා සමන් සුමනට කෝල් කළාද? වෙච්ච දේ කිව්වද?”
“ඔව්. අර මං මෙහෙට එන වෙලේ කෝල් කර කර හිටියෙ සමන් සුමනයට. යකාව එක්ක එන්න එපා කියලයි ඌ කියන්නෙ. බහිරවයත් බය වෙලාලු. මං කිව්වා අපිට සල්ලි ආයෙ ඕන්නෑ, හැබැයි මැණික් දෙක ඕනා කියලා.”
“ඉතිං?”
“උං කිසි එකක් දෙන්නංය කියන්නෙත් නෑ, බෑ කියන්නෙත් නෑ. හැබැයි යකා එක්කං එනවට නං බයයි කියලා මට තේරුණා. තව උංගෙ යක්කු භාර අමාත්‍යාංශයක් වගේ එකක් තියෙනවා කිව්වා. ඒකෙ කාටද කෝල් කරලා මේ ටික කියන්න ඕනා කිව්වා. මං හිතන්නෙ ඌ මාව අන්දන්න හැදුවේ. එහෙම අමාත්‍යාංශ කොහෙද ඩම් බිරියානි! ඔයා මොකෝ හිතන්නෙ? ඕක ගැන හිම කිකිළිගෙන් හෙම අහලා බලන්නකො.”
“පිස්සුද අනේ යක්කුංට මොන අමාත්‍යාංශද? අනික මේ අපේ රටේ? මෙහේ මිනිහෙක්ටවත් ඔය අමාත්‍යාංශෙකින් වැඩක් කරගන්න පුළුවන්යැ. එහෙම එකේ යක්කුංගෙ වැඩත් මුං බාරගනීද? මං නම් හිතන්නෑ මියෑව් ඔය කතාව ඇත්ත කියලා.
ඉන්නකො කෝකටත් මං හිම කිකිළිට මැසේජ් එකක් යවලා බලන්න. එයත් ඔය අමුතු එව්වා දන්නවා.”
මං හිම කිකිළිට මැසේජ් එකක් දැම්මා. විනාඩි දෙක තුනෙන් උත්තර ආවා. මේ ජාමෙ ඇහැරං මොනවා කරනවද අම්මපා.
“මං බයානක හීනයක් දැකලා ඇහැරුණා. ඊට පස්සෙයි ඔයාගෙ මැසේජ් එක දැක්කේ.

බිරියානි! මේ අහන්න. බූතයන්ට නං ඇන්ටාක්ටිකාවෙ අන්ඩර් ග්‍රවුන්ඩ් අමාත්‍යාංශයක් තියෙනවා කියලා මං අහලා තියෙනවා. එහෙම එකේ යක්කුංට ලංකාවෙ අමාත්‍යාංශයක් තියෙන්නත් බැරි නෑ. අනික ඔහේ ඉන්න යක්කු ගාණත් වැඩියිනෙ අනේ.
ඔයාල පහනෙන් පණිවිඩ යවලා නැද්ද? දැං තියෙන්නෙ වෙසමුණියට පහනෙන් පණිවිඩයක් යවන්න. මං කියලා දෙන්නම් ක්‍රමේ.”
“ඉතිං කවුද වෙසමුණියා කියන්නෙ?”
“ලොකු යකා තමයි අනේ වෙසමුණියා කියන්නෙ. ඒකවත් දන්නැද්ද ඔයාලා?’
“මං ඕවා දන්නෑ අනේ.”
“පහන පත්තු කරන්න ඕනා ජල ප්‍රදේශයක. පා කරලා යවන්න පුළුවංනං වඩා හොඳයි. ඔයා වැට පැනලා මුහුද පැත්තට යන්න. පහනකට හොඳට පොල්තෙල් දාලා, කපුරු පෙතිත් දාලා, වද මල් ඉස්ම පොඩ්ඩකුයි, දෙහි බිංදුවකුයි දාන්න. හිතින් වැදගෙන වෙසමුණි යකාට පණිවිඩේ කියන්න. ඊට පස්සෙ පහන පා කරලා යවලා පස්ස නොබලා ගෙදර එන්න.”
“මේක කාටවත් කියලා කරන්න හොඳ නැද්ද?”
“නෑ. නෑ. කටේ කෙළ බිංදුවක් හෙළන්නෙපා.”
මං අම්මගේ අලුත් පහනකුයි, පොඩි තෙල් බෝතලෙයි, කපුරු පෙතියි, දෙහි පෙත්තයි, වද මලකුයි අරං වැල්ල පැත්තට දිව්වා. හිම කිකිළි කියපු හැටියෙන්ම වතාවත් කරලා පහන පා කළා. ආයෙ පසු නොබලා දුවගෙනම ආවා.

මං එද්දි සීවකයා අපේ සාලෙ දොර හරස් කරං පැදුරක් දාං නිදි. අම්මා ඌට පරණ සරමකුත් දීලා. යකෙක්ගෙ ඇගට උඩිං පනින්න හොඳ නැද්ද දන්නෙත් නෑනෙ. මං කුස්සිය පැත්තෙන් ගිහිං සාලෙට ආවා.
“මේ මොකෝ මේ?”
“අනේ පුතේ ඊසිප්‍රීසියට ගැහිලා උණ ගන්න වගේ ආවා. මං පැනඩීන් දෙකක් දීලා, කොත්තමල්ලි ටිකකුත් පෙව්වා. ඇහැරිලාම කරන්නාගොඩ යං කිව්වා. අන්න මියෑව් ගියා ටිකක් ලොකු හෙල්මට් එකකුයි රේන් කෝට් එකකුයි යාළුවෙක්ගෙන් ඉල්ලං එන්න. මෙයාව පේන්නෙ නැතිව එපැයි එක්කං යන්න. අනේ පව් අසරණයා. අපිත් එක්ක දිගටම ඉන්න තිබ්බනෙ.”
‘තිබ්බා තමයි, අම්මා ජර්මන් පන්සලේ මූට අපල කොඩියක් දාන්න නොගියා නම්.”
“අපල තමයි ඉතිං මෙයාට. හොඳට හිටිය ළමයා යකෙක් වෙයියැ අපල නැත්තං.”
අපේ අම්මා ගුලි කාලද මන්දා. පවුලෙ එකෙක් යකෙක් වුණා වගේනෙ දැං මෙයා කතා කරන්නෙ. මේ කරුමෙන් ගැලවෙන්න මඟක් හොයන්නෑ. තව ඌව ගේ අස්සෙත් දාගෙන කොත්තමල්ලිත් පොවලා. මූට පැනඩීන් විස ද දන්නෙත් නෑ. මේ ගේ අස්සෙ යකෙක් මළොත් ඔක්කොටම එහා. කොහෙද ඉතිං මෙයාට කිසි එකක් ගාණක් නෑනෙ.
මියෑව් ආවා රේන් කෝට් එකයි, විසාල හෙල්මට් එකයි හොයාගෙන. ඒ අස්සෙ සමන් සුමනයා දිගින් දිගටම මියෑව්ට කෝල් කරනවා. බහිරවයා වට්ස්ඇප් මැසේජ් දානවලු.
“වැඩේ හරිද?” මං මියෑව්ගෙන් ඇහුවෙ සමන් සුමනලගෙ වැඩේ. කවදාවත් නැතිව මියෑව්ට මම අහපු දේ තේරුණා.
“හරිමත් නෑ ඩම් බිරියානි. සමන් සුමනයා බයේ අපි යකාව කරන්නාගොඩ ගේනවට. උං අපිට නොකියන මොකක් හරි යටිකූට්‍ටු සමයමක් මෙතන තියෙනවා. මුං යකාව අපේ ඇගේ ගැහුවෙ ඒකයි. දැන් වැඩේ පත්තු වෙලා ගිය නිසා මුං බය වෙලා. දැං උං කියනවා අපි යකාව තියාගත්තොත් සල්ලියි, මැණික් දෙකයි දෙන්නංලු. අනේ අපි මූව තියං අහවල් එකක් කරන්නයි. මං බෑ කිව්වා.”
“සීවකයනෙ මියෑව් ඌව එහේ ගිහිං දාන්න කිව්වෙ. නැතුව මේ අපි හිතලා ගිහිං අතාරිනවා නෙවෙයිනෙ.”
“අන්න ඒකනෙ.”

“සීවක නැගිටපං බං. මෙන්න උල්කාපාත කෑල්ල. දැං එහෙනං කරන්නාගොඩ යන්න ලෑස්ති වෙයං.”
අයියා සීවක නිදං ඉන්න පැදුරෙන්ම වාඩි වෙලා කතා කරන්න පටන් ගත්තා. සීවකයා ඇහැරිච්ච ගමං හූවක් කියං උඩ පැන්නා. නළලට දාලා තිබ්බ ඕඩිකොලොං පැලැස්තරේ ඇදලා විසි කළා. සරමත් ගලවලා විසි කළා. දැං ආයෙත් යකා අමුඩෙ පිටිං. නිදාගෙන නැගිට්ටට පස්සේ අර අඬන දොඬන ගතිය අතුරුදං වෙලා වගෙයි. හැබැයි පොඩි ‍තෝන්තුවක් නැත්තෙමත් නෑ.
සීවකයා අයියා දීපු උල්කාපාත කෑල්ල චොක්ලට් බිස්කට් එකක් වගේ හපලා ගිල්ලා. ඊට පස්සෙ ළිඳ පාමුල හාරලා යස මැණික් ගල් හයක් ගෙනැත් දුන්නා. අපේ අයියගේ ඇස් දිලිහෙන්න ගත්තා. මැණික් එපාය කියපු මිනිහා මෙන්න දෝත පාලා මැණික් හය ගත්තා. මට බය හිතුණා අපේ අයියයත් සීවකයා වගේ මැණික් ගල් ටික හපලා ගිලියි කියලා. ගිල්ලා නම් වස්ති කරන්නෙපැයි ආයෙ ඕවා එළියට ගන්න.
“උඹලා ඕවා විකුණලා අර ගෑනිට කුකුල් නාම්බො දෙන්නෙකුත් ගෙනැත් දීපල්ලා. මං බඩගින්නටනෙ කෑවෙ. කවුද දන්නෙ ඒ ගෑනිගෙ දරුවොය කියලා.”
සීවකයා එච්චර සීරියස් කතාවක් කිව්වෙත් මිනීමරුවෙක් තාලෙං. ඒ කියන්නෙ මූ කලින් හිටිය යකාම වෙලා. මියෑව්, සීවක යකාට රේන් කෝට් එක දුන්නා ඇඳගන්න කියලා. තඩි හෙල්මට් එකත් දුන්නා ඔළුවෙ දාගන්න කියලා.
“මේවා මොකටද බං? මං ආවෙත් මේවා දාංයෑ!!”
“දැන් උඹේ හැටියට ඕවා නොදා පාරක යනවා වානා. උඹට තේරෙන්නැද්ද යක්කු එහෙම පාරෙ යන්නෑ. උඹ ඔහොම අමුවෙංම ගියොත්, දැක්ක දැක්ක එකා බය වෙලා තොවිල් කරන්න වෙයි. අනික හැමතැනම කට්ටඩි. උං උඹව බෝතලේ දායි.”
“උඹලා තාමත් ඔය බෝතල් කතා විස්වාස කරනවද බං? පයිත්තියං ද උඹලට? මං සම්පූර්ණ වැඩුණු යකෙක්. මට කරදරයක් කරන්න හපන් කට්ටඩියෙක් මේ ගම්තුලානෙ නෑ. ඒක සක්සුද්දෙන්ම දැනගෙන මං කතා කරන්නෙ.”
මියෑව් මැද්දෙන් පැනලා ප්‍රශ්න කළා.
“එහෙනං සමන් සුමනයා උඹව අපිට බන්දෝලා දුන්නෙ?”
“ඒක වෙන කතාවක්. උඹලා දන්නවද සමන් සුමනයා කියන්නෙ කවුද කියලා?”
“නෑ.”
“ඒක උඹලා නොදන්න තරමට හොඳයි.”
සීවකයා රේන් කෝට් එක ඇඳං, හෙල්මට් එකත් දාගත්තා. දැං ඉතිං කාටවත් මූව හොයන්න බෑ තමයි. යන්න හැරිලා, “කෝ එන්න කියපං උඹලෑ අම්මට.”
අම්මා කකුල් අද්දමින් වගේ එළියට ආවා.
“මෙහේ ආව නං.”
අම්මා සීවකයා ළඟට ගියා. සීවකයා ඉණෙන් ඇඳලා ගත්ත හම් මංජුසාවකින් අම්මට මැනික් ගල් විස්සක් විතර දුන්නා. සමහර ඒවා නිල්ම නිල් පාටයි, අනිත්වා ලේ රතු පාටයි.
“මේවා මොකටද මට?”
“ඔහේ ඕවා විකුණගන්න. මං යන්නං.”
“අනේ පුතේ ප්‍රවේසමෙන් යන තැනක.”
අම්මා මේ පුතේ කියන්නෙ මියෑව්ට එහෙම නෙවෙයි, සීවකයට.
*********************

කතාවෙ ඉතිරි ටික කිව්වෙ මියෑව්. ඇයි එයානෙ සීවකයව ‘අලියා ගල’ ළඟට ඇරලන්න ගියේ.

*******************
අපි දොඹගොඩ හරියට යනකොට අමුතු මීදුමක් පාත් වුණා පාරට. යකා ටිකක් කලබල වුණා. මට කිව්වා මීදුම ගණන් නොගෙන වේගෙන් යමු කියලා. වේගෙන් යමු කිව්වට මට පණ බයේ බෑ. එහෙන් පිටිපස්සෙ සීට් එකේ ඇත්ත යකෙක්. මෙහෙන් ලොවෙත් නැති මීදුමක් පාත්වෙලා පාරට. මං කියන්න ගාථාවක් මතක් කළා පැය භාගයක් විතර තිස්සේ. මොන මතක් වීමක්ද!! මට මතකෙට එන්නෙම “සිතේ සංකා නැතේ මගේ…..ජීවිතේ මං ගෙවන්නෙ ඈ හා….හා….හා…හා…ඈ හා….” සිංදුව විතරමයි. ඒක කිව්වා කියලා මොන ලබ්බක්වත් වෙන්නෑනෙ. මම අපේ ගමේ පන්සල හිතිං මවාගත්තා, කළුතර බෝධිය, ශ්‍රී මහා බෝධිය, පිල්ලෑවෙ පන්සල, බෙල්ලන්විල පන්සල…..හැම එකක්ම හිතිං මවාගත්තා. ඒත් යකඩෝ එක ගාථාවක්වත් මතක් වෙන්නෑ. ‘සිතේ සංකා නැතේ මගේ…” මඟුලමයි හිතට එන්නේ.
ඔන්න යාල හන්දියට ළං වෙද්දි අර මීදුම නැති වෙලා වගේ ගියා. ඒත් ඊට පස්සෙ පුදුම බොම්බිලි කරවල සුවඳක් එන්න ගත්තා. හරියට පිටිපස්සෙ සීට් එකේ ඉන්න යකා බත් එක්ක බොම්බිලි කරවලයි, පරිප්පුයි කනව වගේ. බැරිම තැන මම යකාගෙන් ඒක ඇහුවා.
“මේහ් උඹ බොම්බිලි කරවල කනවද පිටිපස්සෙ සීට් එකේ ඉදං?”
‘පිස්සුද බං උඹට. කොහේ තියෙන බොම්බිලි කරවලයක්ද? ඇයි උඹ එහෙම ඇහුවේ?”
“නෑ. මට බොම්බිලි කරවල සුවඳක්ම එනවා. ඒකයි.”
“හ්ම්! එහෙනං වැඩේ වරදින්නයි යන්නෙ.” යකා ටිකක් පහත් හඬින් එහෙම කිව්වා. ඔයාට කියන්න ඩම් බිරියානි මගේ කකුල් දෙකත් සීතල වෙලා ගියා. මූ මේ යක්කුංගෙ වලියකටවත් මැදි වෙලාද මන්දා. වැඩේ කියන්නෙ එවෙලෙ හිතට ආපු ඔක්කොම මම සීවකයගෙන් ඇහුවා.
“සීවක ඇත්ත කියපං, උඹලා යක්කුංගෙ වලියකට මැදි වෙලාද ඉන්නෙ?”
“නවත්තපං බයිසිකලේ.” මං බ්‍රේක් ගැහුවා. සීවකයා හෙල්මට් එක නොගලවාම බයිසිකලෙන් බැස්සා. මගේ හෙල්මට් එකට උගේ හෙල්මට් එක ළං කරලා කතා කරන්න ගත්තා.
“ඇයි උඹට එහෙම හිතුණේ?”
“හිතුණා නෙවෙයි, මට එහෙම එකක් දැනුණා.”
“හා. එහෙනම් කමක් නෑ. යමං එහෙනම් ආයෙ.”
සීවකයා බයිසිකලේට නැග්ගා. මට නම් දැන් මේ අපංබ්‍රංශෙ තේරෙන්නෙම නෑ. මූ මාව බිල්ලටවත් දෙන්නද ගෙනියන්නෙ?
“නෑ. නෑ. උඹව බිලි දෙන්නෑ.”
සීවකයා එක පාරටම කිව්වා. ආයෙ මගේ කකුල් සීතල වුණා. දැං මට හිතන්නත් බයයි.

අපි ටෙම්පො හන්දියට එනකොට හතර වටෙන්ම කට්ටකුමංජල් සුවඳයි. ඔන්න ආයෙත් සීවකයා කලබල වුණා. ඒත් බයිසිකලේ නවත්තන්න කිව්වෙ නෑ. අපි යන මඟ දිගටම පිදේනි ත‍ටු තිබ්බා. ඒ හැම එකකම බොම්බිලි කරවල පුච්චලා පොල්කට්ටක දාලා තිබ්බෙ. සීවකයා මට ඒවා පෙන්නුවා.
“උඹට ආවෙ ඕවයෙ සුවඳ තමයි.”
“අපි මේ උගුලකටද යන්නෙ?” මට ඒක ඇහුණා ඉබේටම. සීවකයා මහා මිනීමරු හිනාවක් දැම්මා.
“උඹ බය වෙන්නෙපා. උඹට කරදරයක් වෙන්නෑ. මේ ඔක්කොම සමන් සුමනයාගෙ වැඩ. පර බල්ලා. ගෙරි බල්ලා. සමන් සුමනයා කියන්නේ අපේ යක්ක සභාවෙ ආවතේවකාරයෙක්. ඌට ඕනා මාව මරන්න. මගේ බල බිඳින්න. මං උල්කාපාත කෑල්ල කෑවෙ නිකං නෙවෙයි. මුංට දැං මාව මරන්න බෑ. අද මං ‘අලියා ගල’ ළඟට එන ඕන එකෙක්ගෙ බො‍ටුව කඩලා ලේ බොනවා. උඹට කරදර නෑ මගෙන්. උඹලා මට උදව් කළා. ඒවා අමතක නෑ.”
යකා බීලා වගේ කියවන්න පටන් ගත්තා. එන්න එන්න උගේ ඇස් ගිනි රතු වෙලා එළියට පනින්න පටන් ගත්තා. අර කැඩිච්ච දත ටිකෙන් ටික ලියලන්න පටන් ගත්තෙ ඔය අතරේ. ඒක මං දැක්කෙ ඌ හෙල්මට් එක ගැලෙව්වට පස්සෙයි.
“ඕං උඹේ දත ලියලනවා.” මට ඒකත් ඉබේම කියවුණා.
“ඔව්. මං දැං ඉන්නෙ මට අයිති එක විමානෙක. අරූ වැඩකාර බල්ලා මගේ බල බින්දා. උඹ බයක් නැත්තං ඈතට වෙලා බලං හිටපං. මං සමන් සුමනයගේ බො‍ටුව කඩලා අද ලේ බොනවා.”

ඔන්න සමන් සුමනයයි, ෆේක් බහිරවයයි වැඩ්ඩො වගේ පපුව ඉස්සරහට දාං අලියා ගල පැත්තට එනවා. සමන් සුමනයගෙ අතේ දුම් අල්ලන තට්‍ටුවකුත් තිබ්බා. ඒකෙං වකාරෙට කට්ටකුමංජල්, සාම්බ්‍රානි, නාමල් රේණු, සැවැන්දරා කුඩු, කුරුඳු කුඩු සුවඳ එනවා. ෆේක් බහිරවයා ගොක් කොළවලින් හදපු මන්දක් වගේ එකක් වන-වන එනවා. මුංට වගේ වගක් නැති පාටයි. ‍තෝර් මිටිය අරං එනවා වගේ උජාරුවෙන් බහිරවයා ගොක් කොළ මන්ද අරං ආවේ. සමන් සුමනයා දුං කබල එක අතකිං අරං අනිත් අතිං සාම්බ්‍රානි ඉහ-ඉහ ආවෙ නසියර් කඩු දෙක අත් දෙකට අරං එන ලීලාවෙන්. අද නං මුං දෙන්න ඥාව් වෙන්න කනවා කියලා මට තේරුණා. මං රබර් ගහකට මුවා වුණා. බයික් එක ස්ටාට් එකේම තියෙන්න ඇරියා.
සමන් සුමනයා එන ඉස්සරහට සීවකයා එක පාරටම විදුලි වේගෙන් දුවන්න පටන් ගත්තා. සීවකයා අහසට පැන්නා රිටි පනින ක්‍රීඩකයෙක් වගේ. සමන් සුමනයගෙ ඔළුව උඩින් අනිත් පැත්ත හැරෙන ගමන් අහසෙදිම උගේ බෙල්ල කැරකෙව්වා. ‘චරස්’.

කැඩුණු බෙල්ල අල්ලලා සීවකයා ‘ගොජ ගොජ’ ගාලා වැක්කෙරෙන ලේ බොන්න ගත්තා.
මේක දැක්ක බහිරවයා මන්දත් දාලා දුවන්න පටන් ගත්තා. ඌට දුවන්න ඇරලා සීවකයා අන්තිම ලේ බිංදුව වෙනකංම බිව්වා. බීලා ‘ගුඩුස්’ ඇරියා. ඊට පස්සෙ බහිරවයා පස්සෙ දුවන්න පටන් ගත්තා. එතන එකම දුවිලි ගොඩයි. ටික වෙලාවක් යනකං මට මේ ලෝක දෙයක් පැහැදිලිව පෙනුන්නෑ. ටිකකින් ඈතින් දිග අඩි තිය-තිය සීවක යකා එනවා පෙනුණා. ඌ එක අතකින් සමන් සුමනයගෙ ඔළුවයි, අනිත් අතින් ලේ බේරෙන ෆේක් බහිරවයගෙ ඔළුවයි අරගෙන ආවා. ඇවිත් කුසලානයක් පෙන්නනවා වගේ මට පෙන්නුවා.
ඒක දැක්ක මට චූ යන්න ආවා. සීවකයා එක තැන දුවන්න පටන් ගත්තා අන්න එතකොටමයි. එතැන පොළොව යටට හෑරි, හෑරි කවාකාර පුනීලයක් වගේ දෙයක් මතුවෙන්න ගත්තා. ඒක නිකං දිය සුළියකුත් වගෙයි. ඒකෙම කැරකි, කැරකි හුළඟක් වගේ, වතුරක් වගේ සීවකයා බෙලි දෙකත් එක්ක එකපාට්ටම නොපෙනි ගියා.

මට සිහිය නැති වුණාද කොහෙද!! ඊට පස්සෙ වැස්සා. ආං එතකොට වෙන්නෝනා මට සිහිය ආවෙ. බයිසිකලේ එතකොටත් ස්ටාට් එකේ. මං කොහොම බයිසිකලේට නැග්ගද දන්නෑ ඩම් බිරියානි. එක හුස්මට තෙමීගෙනම යාල හන්දියට ආවා. තේකක් බොන්න කඩේට ගොඩවෙනවත් එක්කමයි ඔයා මේ කෝල් කළේ

කාංචනා අමිලානි | twitter | threads | fb | insta |

ග්‍රීසිප්‍රීසි — පළමු කොටස | ග්‍රීසිප්‍රීසි — දෙවැනි කොටස | ග්‍රීසිප්‍රීසි — තුන්වැනි කොටස

kanchana amilani

Founder of thinkland | poetess| journalist| Blogger| Writer|