kanchana amilani
6 min readMar 12, 2024

--

ඩම් බිරියානි•

Vii. ග්‍රීසිප්‍රීසි• { තුන්වැනි කොටස }

“අයියෝ පුතේ ග්‍රීසිප්‍රීසියා නේද ළිඳේ පැන්නෙ? අයියෝ අයියෝ!!”
“අම්මට කොහොමද ඒක ඇහුණෙ?”
මම අම්මගෙ පස්සෙන් දුවන්න ගත්තා. දැන් නම් ඔක්කොම විකාරයි. ඒ පාර අම්මට සද්දත් ඇහෙන්න අරං. ඒ මදිවට ගිනිගන්න නිසා ග්‍රීසිප්‍රීසියා ළිඳේ පැනලා. දැන් යක්කුන්වත් ළිංවලින් ගොඩගන්න වෙලා.
“කෑගහන්න එපා අම්මේ. වටේපිටේ මිනිස්සුංට ඇහෙයි.”
අම්මා එහේ දුවනවා, මෙහේ දුවනවා. කඹ හොයනවා. බාල්දියක් දාලා බලමුද අහනවා. ඉණිමඟ ළිඳට දාන්න හදනවා. බාල්දි ළිඳට දාලා ගොඩගන්න ග්‍රීසිප්‍රීසියා පූසෙක් නෙවෙයි කියලා යන්තම් අම්මව සන්සුන් කළා. අනික ඔය ගිනිගන්න ගතිය ඇරිලා ගියාම ඔය යකා ගොඩට එයිනෙ. ඒත් ඒක අම්මගෙ හිතට මදි.
අම්මයි, ග්‍රීසිප්‍රීසියයි පන්සල් ගිය ඇසිල්ලෙම වගේ අයියා කොහෙද දීපංකරේක ගියා. දැන් ඉතිං පොඩ්ඩක් ඉවසිල්ලෙන් ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ. අන්තිමට අම්මත් ඒක පිළිගත්තා. ඒත් සැරින් සැරේ හූල්ලන්න ගත්තා.
“අනේ ඊසිප්‍රීසියාට වතුර පෙවිලා මැරිලද දන්නෑ.”
“අම්මා තමයි මේ ඔක්කොටම මුල. හොඳට හිටිය යකාට අපල කොඩි දාන්න ගිහින්නෙ මේ ඔක්කොම වින්නැහි වුණේ. මං කිව්වනෙ යක්කුංව පන්සල්වලට ගෙනියන්න හොඳ නෑ කියලා. ඔය ග්‍රීසිප්‍රීසියා යකෙක් වුණාට ගොං ගහක්. කිසිම සමාජ දැනුමක් නෑ. තමංට පන්සල් යන්න වරම් නැති විත්තියවත් හරියකට දන්නෑ. මහ යකාගෙ නීති ටිකවත් හරියට දන්නෑ.”
අම්මා නෙවෙයි කිසි කතාවක් කළේ. දිගටම හූල්ලමින් පුටුවෙ ගිලිලා උන්නා විතරයි. ඔය අතරේ ජර්මන් පන්සලේ දායක සභාවෙන් කෝල් එකක් ආවා.
“නෑ. නෑ. මට කරදරයක් නෑ. මේ අපල කොඩියක් ගිනිගත්තා මල්ලියේ.”
කෝල් එකෙන් පස්සෙ අම්මා හිටියටත් වඩා බය වුණා.
“ඩම් බිරියානි! පන්සලේ කාටහරි යකාව පෙනුණාවත්ද පුතේ? මට නම් දැන් බයෙත් බෑ.”
“නෑ. නෑ. කාටවත් පේන්න විදිහක් නෑ. අම්මා බය නොවී ඉන්නකෝ.”
“බය නොවී කොහොමද ඩම් බිරියානි. ඔය පන්සලේ ඈයො කතා කළේ නම් හොඳකට නෙවෙයි. කාට හරි පෙනුණද කවුද දන්නෙ?”
“පෙනුණත් ඉතිං මොකෝ? ග්‍රීසිප්‍රීසියා හිටියෙ පන්සල් ගේට්‍ටුවෙන් එළියෙනෙ. අනික උගේ කිසි යස්ස පෙනුමක් නෑනෙ. සාමාන්‍ය මිනිහෙක් වගේනෙ.”
“ඒකත් හැබෑව. අපේ ඊසිප්‍රීසියා යකෙක් වගේ නෙවෙයි තමයිනෙ.”
එහෙම කියලා අම්මා ගෙයින් එළියට කර පොවලා බැලුවා.

අම්මගේ ඇස් උඩ යනවා පෙනුණා. මෙන්න බොලේ අම්මා ගහක් කපා හෙළුවා වගේ බිම ඇදගෙන වැ‍ටුණා. හොඳ වෙලාවට ග්‍රීසිප්‍රීසියා මිදුලට සුදු වැලි ගෙනැත් දාලා තිබ්බේ. අම්මාව නැගිට්ට ගන්න ගමන් මම නිකමට ළිඳ පැත්ත බැලුවා.
‘බුදු අම්මෝ!!” කියාගෙන මම ගෙට පැන්නා. ආයෙ අම්මව මතක් වුණා. මගේ, ‘බුදු අම්මෝ’ සද්දෙට අම්මට සිහිය ඇවිල්ලද කොහෙද!! ඒත් එක්කම ආයෙ ‘ජබොස්’ සද්දයක් ළි‍ඳෙන් ඇහුණා.
අම්මා බැරි මරගාතෙ නැගිටලා ‘ඉතිපිසෝ…භගවා අරහං’ කියන්න පටන් ගත්තා. මට බය වැඩිකමට මෙලෝ ගාථාවක් මතක් වෙන්නෑ. මතක් වෙන්න මම ගාථා කියන එකක්යැ එකාතකින්.
“ඩම් බිරියානි බය වෙන්නෙපා. එන්න මගෙත් එක්ක.”
අම්මා ළිඳ පැත්ත පෙන්නුවා. මම ‘බුදු අම්මෝ’ ෆීලින්ග් එකෙන්ම අම්මා එක්ක ළිඳ පැත්තට ගියා. ළිඳට පැන්න යකා මෙන්න දැන් ළිං ගැට්ට උඩ වාඩිවෙලා. ඒ පාර ෂෝටත් ගලවලා අමුඩයක් ගහගෙන.
“ඊසිප්‍රීසි පුතේ….මොකෝ වුණේ? අපිව බය කරන්නෙපා පුතේ. අපි ඔයාට වරදක් කළේ නෑනෙ.”
ඒ පාර අම්මා යකාට බටර් ගානවා. යකා අත් දෙකේ තිබ්බ මොනවද ළිඳට වීසි කරලා පැන්නා ළිං ගැට්ටෙන් බිමට. මගේ බුදු අම්මේ උගේ හැටි!! අති භයංකාරයි දෙයියනේ.
කට දෙපැත්තෙන් දිගේ දිගට උල් දත් දෙකක් එළියට ඇවිත්. ඇස් දෙක ගොරක ගෙඩි දෙකක් වගේ රතු පාට වෙලා. මූණෙ තිබ්බ කැපුම් පාර ලේ රතට දිලිහෙනවා. අත්වලත් නියපොතු දික්වෙලා අගින් පොඩ්ඩක් නැවිලා. මං කෝකටත් කියලා අම්මගෙ පිටිපස්සට මුවා වුණා.
“අම්මට යකා පේනවද?” ඒ අස්සේ මං අම්මගෙ කනට කරලා ඇහුවා.
“මොකෝ නැතුවා, මට හොඳට පේනවා.”
ඒ විඩේ යකා මහ සද්දෙන් හිනාවෙන්න ගත්තා. මට දැන් බයට එහා හැඟීමක් එන්නේ. මූ අපි දෙන්නගෙම බො‍ටුව කඩලා ලේ බොයිද කියලත් හිතුණා.
“අම්මලා, දුවලා බය වෙලා වගේ නේහ්? ගෙනාපල්ලා මට බොන්න දෙයක්. ලේ රස දෙයක්.”
“ඊසිප්‍රීසි ළමයෝ…මේ අහන්න, අපේ ගෙදර එහෙම ලේ රස බීම නෑ. නාරං ගෙඩියක් හදලා දෙන්නද අයිස් දාලා?”
“ඊසිප්‍රීසි…කවුද යකෝ ඊසිප්‍රීසි…අර පර බල්ලා සමන් සුමනයා දාපු අම්මගෙ රෙද්දෙ නම් තමයි ඕවා. මගේ නම සීවක. සමන් සුමනා බල්ලා මට කරපු අපරාදෙට මම ඕකගෙන් පළිගන්නවා. මගේ බල බින්ඳා, මාව නිකංම නිකං වැඩකාරයෙක් කළා. මේවා සහගහන වැඩ.”
“මට තේරෙනවා පුතේ. අපි ඔයාට කිසි කරදරයක් කළේ නෑනෙ.”
“කරදරයක් කළේ නෑ!! උඹලා මට කියලා වැඩ ගත්තෙ අනුකම්පාවක් ඇතිවද? එළි වෙච්ච වෙලේ ඉදන් මං තොපිට වාලෙක් වගේ වැඩ කළා. අර සමන් සුමනයා මට කෑම කන්න නොදී ග්‍රීස් බොන්න පුරුදු කළා. තොපි ඔක්කොටම වැහි නැති හෙණ වදින්නෝනා නේද මෙව්වට? හා…බොරුද? කතා කරපං කෙල්ලෙ.”
ඒ පාර යකා මගේ පැත්තට හැරුණා. මගේ කටේ කෙළත් හිඳුණා. ඇත්තනේ මායි, මියෑව් මියෑවුයි මූව බන්දෝගත්තේ හොඳ හිතින් නෙවෙයිනෙ.
“මට සමාවෙන්න සීවක. අපි මේ ගැන දිග දුරක් හිතුවෙ නෑ.”
“ඔව්. ඔව්. උඹලා බබාලා. මොකුත් දන්නෑ. හිතුවෙ නෑ.

දැන් මට බඩගිනියි. මාස ගාණකින් හරිහමං කෑමක් කාලා නෑ. හොයං වරෙල්ලා කුකුල් නාම්බෙක්වත්.”
“අනේ අපේ ගෙදර කුකුල්ලු නෑ සීවක. කීල්ස් එකෙන් චිකන් කිලෝ එකක් ගෙනැත් දෙන්නද?”
“චික්!!!! ඔය සීතල කුකුල්ලු කාලා මට වැඩක් නෑ. අහකට වෙයල්ලා මංම ගිහින් කුකුළෙක් හොයං එන්න.”

යකා අපිව පෙරලං පාර පැත්තට ගියා. අපිට මූව නවත්තගන්න සිහියක් තිබ්බෙ නෑ. අපි දෙන්නා ගල්වෙලා බලං උන්නා. පාර පැත්තෙං එක සීරුවට හූ කියන, මර හඬ තියන සද්ද ඇහෙන්න ගත්තා. අපි දෙන්නා ගල් කණු දෙකක් වාගෙ ඔහේ උන්නා. විනාඩි දෙකෙං සීවකයා ආවා අත් දෙකට නාඹර කුකුල්ලු දෙන්නෙක් වඩාගෙන. ගියා ළිඳේ ගැට්ට උඩට, වාඩි වුණා. එකෙක්ගෙ බෙල්ල කැරකෙව්වා. ‘ටකස්’ ගෑවා. බෙල්ල කදෙන් බාගෙට එල්ලි, එල්ලි තියෙද්දි ලේ බොන්න පටං ගත්තා. මං දැක්කා අම්මා ළිඳ අද්දර තිබ්බ කොටයක් උඩට හිමිහිට පාත්වෙනවා. මං හිටි පියවර උන්නා. කුකුල් මළකුණ විසිකළා ළිඳ පල්ලට. ගත්තා අනිත් කුකුළත් අතට, කැඩුවා බෙල්ලා, බිව්වා ලේ ටික. ඌවත් ‘චොක්’ ගාලා විසි කළා. ඊට පස්සෙ හැරුණා අපේ පැත්තට.
“උඹලට ඕන්නං ඕකුං දෙන්නව උයං කාපල්ලා. යස නාඹර කුකුල්ලු. මස් එහෙම රස ඇති.”
“නෑ, නෑ. අපිට එපා සීවක. දැන් මොකක්ද අපි කරන්න ඕනා? ඔයාට මෙහෙම මෙහේ ඉන්න බෑනෙ.”
“එන්න කියපං අර මෝටර් බයිසිකල් පරයට. ඊට පස්සෙ මාව එක්ක යන්න කියපං ‘අලියා ගල’ ළඟට. මට තියෙනවා වාඩුව බේරගන්න සමන් සුමනා බල්ලා එක්ක. බහිරව පාංකඩයටත් චූ යනකං දෙන්න තියෙනවා සබ්බුව. ඕකගේ ඇට කුඩු කරලා මම පස්ස බලන්නෙ. කෝ….කතා කරපං උඹේ බයිසිකල්කාරයට.”
“හා…මං කෝල් කරන්නං. එතකං පොඩ්ඩක් ගේ ඇතුළට ඇවිත් හිටියනං හොඳයි නේද සීවක? කට්ටඩියෙක්ට හෙම ආරංචි වුණොත් ඉවරයි නේද?”
“උඹලා හිතන්නෙ මං කට්ටඩි හැත්තට බය එකෙක් කියලද? එන්න කියපං ඕන පුතයෙක්ට. මේ පාර බෝතලේ දාලා මූදෙ දාන්නෙ කට්ටඩියව.”
මට තේරුණා එනපොට හොඳ නැති විත්තිය. මූ එක්කො ඇත්තටම යක්කුන්ගෙ ලෝකෙ වැඩකාරයෙක්. නැත්තං ලොකුම කයිවාරුකාරයෙක්. ඒ මොකෙක් වුණත් මූ යකෙක්නෙ.

“හෙලෝ….මියෑව්…ලොකු හදිස්සියක්. ඔයාට දැන් එන්න පුළුවන්ද නිවාඩුවක් දාලා. ඔව්. ඔව්. දැන්ම පිටත් වෙන්න. ග්‍රීසිප්‍රීසි ඇත්තම යකෙක් වෙලා. මේ දැන් කුකුල්ලු දෙන්නෙක්ගෙ බෙල්ල කඩලා ලේ බිව්වා. අයියත් ගෙදර නෑ. ඔව් අනේ. දැන් මූව මුළු ගමටම පේනවද කොහේද. බය නොවී ඉන්නෙ කොහොමද! යකෙක් එක්ක බයෙන් විතරයි ඉන්න පුළුවන්. ඔයාට මේවා පැහැදිලි කර කර ඉන්න වෙලාවක් නෑ. ඉක්මනට ඇවිත් මූව ‘අලියා ගල’ ළඟට ගිහිං දාන්න. සමන් සුමනයාව මරණවා කියලායි මූ කියන්නේ. හරි…හරි…ඉක්මනට එන්න.”
“සීවක, හරි පණිවිඩේ කිව්වා. එයා දැන් ඒවි. එතකං අනේ කලබල නොකර ඉන්නකො. දැං කුකුල්ලුන්ගෙ අයිතිකාරයා මෙහේ ආවොත් මං මොනවද කියන්නෙ?”
“මොනවා කියන්නද! සීවක යකා කුකුල්ලු දෙන්නව කෑවයි කියපං. ඊළඟට කන්නෙ ඒ ගෙදර එවුංව කියපං.”
මූ එක්ක කතා කරලා වැඩක් නෑ කියලා මට තේරුණා. කෝකටත් අයියටත් කෝල් කරලා සිද්ධිය කියනෙක හොඳයි වගේ. අපි ගෑනු දෙන්නෙක් යකෙක් එක්ක මොනවා කරන්නද! ෆෝන් එක රිංග් වෙද්දිම මෙන්න අයියා ආන්සර් කළා.
“හෙලෝ…මං මේ නාගස්හන්දියෙන් බැස්සා විතරයි. මොකෝ කේස් එක? මොකක්!! ඇත්ත යකෙක් වෙලා. ඉතිං ඌ කලිනුත් ඇත්ත යකෙක්නෙ. දත් දෙකක් එළියට ඇවිත්! නෑහ්!! යකෝ මාර වැඩේනෙ. ඉන්න….ඉන්න….මං දුවගෙනම එන්නං. ඔයාලා බය වෙන්නෙපා. මොකක්? මියෑව් එක්ක කරන්නගොඩ යන්නෝනා කියනවා. හත්තිලව්වයි. ඉන්න…ඉන්න…මං එන්නං.”
විනාඩි දහයෙන් අයියා ආවා හති හලාගෙන. හරියට නිකං ගම හරහා දුවලා වගේ. අයියා එද්දිත් යකා ළිඳේ ගැට්ටෙ වාඩිවෙලා කල්පනාවක.
“අම්මටසිරි!! ඇත්ත නේන්නං. යකෙක්.”
“ආ….වරෙං වරෙං……මෙහෙට වරෙං. උඹ එනකං තමයි මම බලං හිටියේ.”
අයියා තැතිගත්ත මූණෙන් යකා ළඟට කිට්‍ටු වුණා. හැබැයි කලින් යක්කු දැකලා තියෙනවා වගේ වයිබ් එකකුත් එයාගෙන් පේන්න තිබ්බා. මට ඒක තේරුම් ගන්න බැරි තරම් වුණා.
“මගේ නම සීවක. උඹේ නම මොකක්ද?”
“මිගාර”
“හරි. මේකයි වෙන්නෝනා. උඹේ ළඟ තියෙන උල්කාපාත කෑල්ල මට දීපං. මං උඹට ඒකෙ බරට මැණික් දෙන්නං.”
“උඹ කොහොමද දන්නෙ මං ළඟ උල්කාපාත කෑල්ලක් තියෙන බවක්?”
“අපි යක්කු බොලං. යක්කු නොදන්න දෙයක් තියෙනවැයි.”
“හා දෙන්නං. මට උඹේ මැණික් එපා. උඹ අපිට කරදරයක් නොකර හිටපං, ඒ ඇති.”
“එහෙම නිකං දේවල් හුවමාරු කරගෙන අපිට පුරුදු නෑ. උඹ මං දෙන මැණික් ටික ගන්නම ඕනා. උඹේ ළඟ තියෙන උල්කාපාත කෑල්ල මට දෙන්නත් ඕනා.”
‘හරි බං හා. දෙන්නම්. දැන් මියෑව් ආවම උඹ පලයං ආපු දිහාටම. අපෙන් කරදරයක් වුණා නම් සමාවෙයං.”

මතු සම්බන්ධයි…

කාංචනා අමිලානි | twitter | threads | fb | insta |

ග්‍රීසිප්‍රීසි — පළමු කොටස | ග්‍රීසිප්‍රීසි — දෙවැනි කොටස

--

--

kanchana amilani

Founder of thinkland | poetess| journalist| Blogger| Writer|