kanchana amilani
7 min readMar 11, 2024

ඩම් බිරියානි•

Vii. ග්‍රීසිප්‍රීසි• { දෙවැනි කොටස }

අම්මා මන්නෙත් අරං ඉවෙන් වගේ අඹ ගහ ළඟට ගියා. මේං ග්‍රීසිප්‍රීසි යකාවත් පහුකරං ගිහිං නතර වුණා ප්‍රාණජීව පැළේ හරියෙං. ආං එතකොටයි මට තේරුණේ අම්මටත් යකාව පේන්නෑ කියලා.
“කෝ පුතේ යකෙක්?”
අම්මා හෙන අප්සට් මූඩ් එකෙන් අයියගෙන් ඇහුවා.
“ඒකම තමයි මමත් කියන්නෙ අම්මේ. මුං දෙන්නා කියනවා යකෙක් එක්ක ආවා කියලා. ඒත් අපිට එහෙම යකෙක්ව පේන්නෑ. මුං දෙන්නා කියන්නෙ උංට විතරයි කියලා යකා පේන්නෙ!”
“ඒක වෙන්න පුළුවන් වැඩක්යැ ළමයො? ඔන්න මං දේව ගනේ නිසා යක්කු පේන්නෑ කියන්න පුළුවන්. ඒත් ඔයා රාස්ස ගනේනෙ. ඔයාට පේන්න එපැයි. මේකෙ මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා.”
අම්මා ලොකු අවිස්වාසෙකින් මගේ දිහා බැලුවා. මං ඉතිං මියෑව් දිහා බැලුවා.
“හා…එහෙනම් අපි යකාට කියලා වැඩක් කරවලා පෙන්නන්නම්කො. එතකොට හරිනෙ.”
“ග්‍රීසිප්‍රීසි මෙන්න මේ දෙල් කොටේ උස්සලා ගිහිං වත්ත පහළට දාලා එනවා.”
මියෑව් එහෙම කියලා ආඩම්බරෙන් මගේ දිහා බැලුවා. ග්‍රීසිප්‍රීසියා ගත්තා දෙල් කොටේ අතට, කුරුලු පිහාට්ටක් වගේ උස්සං ගිහිං වත්ත පහළට දාලා ගිනි කසේට ආවා. අපේ අම්මගෙ කට ඇරුණා, අයියා එහෙම්මම පුටුවෙ දිගා වුණා. දෙල් කොටේ ගිහිං දාපු නිසා දැං ග්‍රීසිප්‍රීසියාට වාඩිවෙන්න තැනකුත් නෑ. ඌ පේව්මන්ට් එකේ වාඩි වුණා.
“හා…දැං විස්වාසද?”
“අම්මටසිරි මියෑව්!! උඹලා ගෙනා යකාද බං ඒ කොටේ උස්සං ගියේ? මේක ඇත්තක් නම් උඹලා දෙන්නා ඌට එහා යක්කුනේ බං.”
“ඈ…පුතේ මාර වැඩක්නෙ මේක. මට නම් ඇස් අදහගන්නත් බෑ.”
“ඒකනෙ අම්මෙ අපි කිව්වෙ.”
මම හරිම සතුටින් ඉස්සරහට පැනලා කිව්වා. මියෑව්ගෙත් කට කනේ. ඇයි ඉතිං අපි කළොත් කරන්නෙ මරිමෝල් වැඩ ය, අරක මේක නිතර කියලා අපහාස කරනවනෙ. යකෙක් බැඳලා වැඩගන්න හත්මුතු පරම්පරාවෙ එක්කෙනෙක්ටවත් පුළුවන් වුණායැ.
“ඩම් බිරියානි පුතේ!! දැන් මං ඊසිප්‍රීසිට මේං මේ පොල් ගහෙන් පොල් කඩලා දෙන්නය කිව්වොත් පොල් කඩලා දේවිද?”
“ඊසිප්‍රීසි නෙවෙයි අම්මේ ග්‍රීසිප්‍රීසි. ඔව්. වැඩේ කියන්න විතරයි තියෙන්නෙ. අම්මලට එයාව නොපෙණුනාට එයාට අම්මලාව පේනවා.”
“යසයි පුතේ ඒක. එතකොට අපිට නොපෙනි මේ උන්දැට ඕන තැනක ඉන්න පුළුවන්නෙ. මං අහන්නෙ කක්කුස්සියෙ පවා. බාත්රූම් එකේ පවා. අම්මෝ මගේ ඇගේ හිරිගඩුත් පිපුණා. බෑ. බෑ. මෙයාට මෙහේ ඉන්න දෙන්න බෑ. කෝ කොහෙද ඉන්නෙ උඹලෑ යකා? එන්න කියපං මගේ ඉස්සරහට.”
ග්‍රීසිප්‍රීසියා ආවා ඇසිල්ලෙන් අම්මා ඉස්සරහට.
“ඔය ඇවිල්ලා ඉන්නෙ අම්මේ.”
“මේ අහපං ඊසිප්‍රීසි ළමයෝ. අපිට නොපෙනි තැං තැංවල හැංගිලා ඉදලා අහුවුණොත් යකෙක් කියලා බලන්නෑ, අඩු කඩනවා. ඇහුණද? මට අපේ පරම්පරාවෙන් එන මන්තර පොතක් තියෙනවා. අපේ තාත්‍තා මට කාලමක් පිඹින හැටිත් උගන්නලා තියෙන්නෙ. ඊට එහා මං දන්නවා ඕන යකෙක්ව බෝතලේ දාලා ගේ පිටිපස්සෙ මුහුදට දාන හැටිත්. තේරුණාද තමුන්ට? අනවශ්‍ය කිසි වැඩක් මෙහේ බෑ. මේකට එකඟ ද, නැද්ද කියලා මේ දැන්ම කියනවා හොඳයි.”
යකා ඔළුව වනලා ‘එකඟයි’ කිව්වා. ඊට පස්සෙ අම්මා දිහා බය බිරාන්තෙන් වගේ බලාගෙනත් හිටියා.
“එකඟයිලු අම්මෙ.”
“හා. එහෙනම් කමක් නෑ. නොපෙනෙන යක්කු පෙනෙන්න ගාන අඳුන හදන හැටිත් මං දන්නවා. ඕවා නොකර උන්නට මට ඕවා ටොයිස් වැඩ. ඉන්නකො මං ඊසිප්‍රීසියාට කරන්න වැඩ ලිස්ට් එකක් ලියං එන්න.”
අම්මා මන්නෙත් වන-වන ගේ ඇතුළට ගියා. දැං වැඩ ලිස්ට් එකක් ලියං ඇවිත් මොන ජවුසමක් නටාවිද දන්නෑ. ඒකෙන් මේකෙන් වෙන්නෙ අපේ වැඩක් මූට කියලා කරගන්න බැරිවෙන එක තමයි. දැං අයියත් පටං ගනී මුගෙන් වැඩ ගන්න. මම ඒවා හිතමින් මියෑව් දිහා බැලුවා. මියෑව්ගෙ මූණත් මැලවිලා. ඒ කියන්නෙ එයාටත් වැඩේ තේරිලා.

යකා සිමෙන්තියෙ වාඩිවෙලා වක් පිහිය කරකෝනවා. හොඳ වෙලාවට අම්මටයි, අයියටයි මූව නොපෙනෙන්නෙ. පෙනුණා නම් යකා වක් පිහියෙන් අනින්න හදනවයි කියලා පොලිසියට කෝල් කරාවි.
අම්මා මගේ නෝට් බුක් එකකින් කඩපු කොළේක ලිස්ට් එකක් ලියං ආවා. ඇවිත් උගුර පාදලා යකාට කතා කළා.
“මෙහෙ එන්න ඊසිප්‍රීසි. මෙන්න ඔයාට කරන්න තියෙන වැඩ ලිස්ට් එක. ඔයාට බොන්න දෙයක් හදලා දෙන්නද? නාරං එකක්?”
ග්‍රීසිප්‍රීසියා අඩි දෙකට අම්මා ළඟට පැනලා ලිස්ට් එක ගත්තා. අම්මා පොඩ්ඩක් සලිත වුණා හැබැයි අවකාශෙන් යමක් ඇවිත් අම්මගෙ අතේ තිබ්බ කොළේ ගත්තම. හැබැයි ඒක පෙන්නුවෙ නෑ. ග්‍රීසිප්‍රීසියා මගේ පැත්ත හැරිලා ‘මට නාරං එපා. ග්‍රීස් ගෙනැත් දෙන්න.’ කිව්වා. එතකොටයි අපිට ග්‍රීස් ග්‍රෑම් 100 මතක් වුණේ. මියෑව් පයින්ම නාගස්හන්දියෙ හාඩ්වෙයාර් එකට ගිහින් ග්‍රීස් ග්‍රෑම් 100 පැකට් 10ක් ගෙනාවා. ගෙනැත් අම්මට දුන්නා ‘මෙයින් පැකට් එක ගානෙ හැමදාම යකාට දෙන්න’ කියලා.
“මේ මොනාද පුතේ?”
“ග්‍රීස්….ග්‍රීස්”
“ඉතිං මෙයා ලිස්සන ගහේ නඟිනවද? ග්‍රීස් මොකටද?”
“එයා ග්‍රීස් බොනවා ඇන්ටි. හැමදාම ග්‍රීස් ග්‍රෑම් 100ක් දෙන්නම් කියලා අපි පොරොන්දු වුණා.”
“අනේ සංසාරේ….ඕවා නම් පෙර කළ පව්. නැත්නම් යකෙක් වුණත් ග්‍රීස් බොයියැ!! මට නම් දුකේ බෑ. අනේ ඔන්න පිස්සු නැතිව නාරං පොඩ්ඩක් බොන්න කියන්න මියෑව් පුතේ.”
ඒ පාර යකා ඔළුව වනලා ‘හා’ කිව්වා. ඒ මොන සන්නියක්ද කියලා මං කල්පනා කළා. ග්‍රීස් බොන එකා නාරං බීලා ඇලර්ජි එකක්වත් එයිද දන්නෑ. කලින් ගොඩ්සිලාට වෙච්ච නස්පැත්තිය මතකනෙ. ඒත් දැන් මේ යකා ‘හා’ කියපු එකේ නොදීත් බෑ. එක්කො ඔන්න ඔහේ බීපුවායෙ.
“ග්‍රීසිප්‍රීසියා ‘හා’ කියනවා අම්මේ.”
“ඒකනෙ ළමයෝ මං කිව්වෙ. ඔය ග්‍රීස් බොන්නෙ අපලෙට. මං ජර්මන් පන්සලේ ඊසිප්‍රීසියාට අපල කොඩිකුත් දාන්නංකො.” කියලා ගෙට ගියා නාරං පානය හදන්න.

ග්‍රීසිප්‍රීසියා මොකක්දෝ සතුටකින් වගේ හිටියේ. සමහර විට නාරං බොන්න ආසාවෙන් වෙන්න ඇති. මූට ඉතිං සමන් සුමනයා නාරං හදලා දෙන්නෙ නැතුව ඇතිනෙ. මියෑව් ගිහින් ග්‍රීසිප්‍රීසියා ළඟින් වාඩි වුණා. වාඩිවෙලා හෙමින් කතාව පටන් ගත්තා.
“ග්‍රීසිප්‍රීසියෝ…මේ අහපං. ඇන්ටිගෙ ලිස්ට් එකේ වැඩ ටික නොවරදවා කරලා දීපං. ඔය අතරේ ඩම් බිරියානි වැඩක් කිව්වොත් කරලා දීපං. අයියටත් වැඩක් කරගන්න ඕන වුණොත් එයා ඩම් බිරියානි හරහා කියාව්. නැත්නම් කොළේක ලියලා දේවි.
අපිට තව රහසිගත වැඩ ටිකක් කරගන්න තියෙනවා. ඒවා පස්සෙ හෙමිහිට කියන්නම්.”
“ඒ මොනවැයි රහසිගත වැඩ? මට ඔය මිනීමරන්න හෙම කියන්නෙපා මහත්තයා. බර වැඩ වෙනයි, පව් වැඩ වෙනයි.”
“හරි බං හරි. එහෙම කාවවත් මරන්න කියන්නෑ.”
මියෑව් සද්දෙ අඩු කරලා ‍යකාට කිව්වා. ඒත් යකා ෂුවර් නැති තාලෙන් මියෑව් දිහා බැලුවා. ඒ අතරේ අම්මා යහමින් අයිස් දාලා නාරං වීදුරුවක් හදන් ආවා. ඇවිත් පේව්මන්ට් එක උඩ නතර වුණා. ඊට පස්සෙ මියෑව් දිහා බැලුවා. බැල්ම තේරුං අරං මියෑව් අම්මා ළඟට ගිහිං නාරං වීදුරුව අරගත්තා. යකාට දුන්නා. ග්‍රීසිප්‍රීසි පොඩි දෙගිඩියාවකින් වගේ ඉදලා වීදුරුව අතට ගත්තා. ඒක දිහා ආයෙත් ටික වෙලාවක් බලං උන්නා. මං හිතන්නෙ ග්‍රීසිප්‍රීසියා මීට කලින් කවදාවත් නාරං බීල නෑ. මූ ග්‍රීස් විතරයිද කොහෙද මේ ජීවිත කාලෙටම බීලා තියෙන්නෙ. පොර උගුරක් බිව්වා. ඇස් පියාගෙන තොලකට ලෙවකෑවා.
“ෂහ්!!!මේකෙ රහ!! මෙව්වා මොනවයින්ද හදලා තියෙන්නෙ. යස බීමක්නෙ මහත්තයෝ.”
“අම්මෙ ග්‍රීසිප්‍රීසි කියනවා නාරං එක හරි රසයි කියලා. මොනවයින්ද හදලා තියෙන්නෙ කියලත් අහනවා.”
“ඒකනෙ ඊසිප්‍රීසි ළමයෝ මම කලිනුත් කිව්වේ. ඔය ග්‍රීස් බොන්න පුරුදු වෙලා තියෙන්නෙ පූරුවෙ කළ කරුමෙකට කියලා. ඔය ළමයා දිගටම මෙහේ ඉන්නකො. මං හදලා දෙන්නම් යස කෑම. මට ඔය දුන්න ලිස්ට් එකේ වැඩ ටික කරලා දුන්නම හොඳටම ඇති.”
ග්‍රීසිප්‍රීසියට අම්මා කියන ඒවා ඇහෙනවද මන්දා. මිනිහා හැම වාක්‍යයක් ඉවර වෙද්දිම ඔළුව වැනුවා.”
“ග්‍රීසිප්‍රීසි ඔයාට අම්මා කියන ඒවා ඇහෙනවද?”
“ඔව්. මට ඇහෙනවා. නාරං එක බීපු වෙලේ ඉදන් අම්මා කියන ඒවා ඇහෙන්න ගත්තා.”
“ඒ කොහොමද දෙයියනේ එහෙම වෙන්නෙ?”
මියෑව් පුදුම වුණා. අයියත් පුදුම වුණා. අම්මට නම් ඒ ගැන වැඩි නිච්චියක් තිබ්බෙ නෑ. ග්‍රීසිප්‍රීසියා වුණත් ඒක ලොකුවට ගණන් ගත්ත පාටක් තිබ්බෙ නෑ.
“දැන් ග්‍රීසිප්‍රීසියාට නිදාගන්න දෙන්නෙ කොහේද?”
අයියා වැදගත් ප්‍රශ්නයක් මතු කළා. මියෑව් ඒකෙ එහෙම්මම යකාගෙන් ඇහුවා. යකා දෙවරක් නොහිතා උත්තර දුන්නා.
“මං අර වත්ත පහළ බෙටි කොස් ගහේ නිදාගන්නම්. ඒක උස නැති නිසා මං කැමතියි. හොඳ දෙබලකුත් තියෙනවා.”
මං ඉතිං යකා දුන්න උත්තරේ අම්මටයි, අයියටයි කිව්වා. ඒ දෙන්නා සෑහීමකට පත් වුණ ගානෙන් ඔළුව වැනුවා. ඒත් පොඩි කුතුහලයකුත් තිබ්බ පාටයි.

අම්මා උදේම නැගිටලා දොරවල් අරිද්දි යකා මිදුල අතුගාලා, මිදුලට වතුර දාලා, මල් පැළවලට වතුර දාලා, වත්ත පහළින් කුණු වළක් කපලා, ගස්වල පොල් කඩලා, පොල් ලෙලි ගහලා, එළියෙ පෙගෙන්න දාලා තිබ්බ රෙදි ඔක්කොම හෝදලා, වැලේ වනලා, වැටවල් ට්‍රිම් කරලා, තණකොළ කපලා, මල් පැළවලට කොම්පෝස්ට් පොහොර දාලා, එළියෙ තිබ්බ බයිසිකලේ හෝදලා, කාණු කපලා, පාත්තියක් කොටලා, මයියොක්කා දඩු වගයක් හිටෝලා, බුලත් වැලට පන්දලමක් හදලා, කුරුල්ලන්ට කෑම දාන්න අලුත් ලෑල්ලක් හයි කරලා, අඹ ගස්වල ගෙඩි කඩලා බේසමකට පුරවලා, ගොම එකතු කරන් ඇවිත් පොල් ගහක් යට ගොඩ ගහලා, වැල්ලෙ ගිහිං සිනිඳු වැලි ගෝනි දහයක් විතර ගෙනැත් ගේ වටේ දාලා…..ආදී වැඩ සහසක් කරලා.
අම්මා කෑගහන සද්දෙට අයියයි, මායි උඩ ගිහින් ඇහැරුණා.
“ඩම් බිරියානි නැගිටින්න. පුතේ ඔයත් නැගිටින්න. මේ බලන්න මහ පුදුම දේවල් ගොඩක් වෙලා. ඉක්මනට එළියට එන්න. කිව්වම අහලා නැගිටලා එන්න ළමයිනේ…”
“මම ජනේලෙ ඇරලා ඔළුව ග්‍රිල් එක මැද්දට තද කරන් එළිය බැලුවා. අඩ නින්දෙ නිසා මහ අරුමයක් මට පෙනුන්නෑ.”
“මොකද අම්මේ කෑගහන්නෙ? මොකක්ද වෙලා තියෙන්නෙ? ඊයෙ රෑ හොරු ඇවිත්ද?”
“මොන සමයං හොරුද ඩම් බිරියානි. මේ බලන්න ඊසිප්‍රීසි ළමයා කරලා තියෙන වැඩ කන්දරාව. අනේ මගේ වාසනාව මේක. දැන් මට විවේක ගත්තැකි ටිකක්. දවසෙම වහලෙක් වගේ වැඩ කරන්න ඕන නෑ. ඊසිප්‍රීසි පුතේ මෙහේ එන්න. උදේට කන්න කිරිබතක් හදන්නද? ‘හා’ නම් මිදුලෙ ඉරක් අඳින්න, ‘එපා’ නම් ඉරි දෙකක් අඳින්න.”
මෙන්න කියන පරක්කුවට ග්‍රීසිප්‍රීසියා මිදුලෙ එක ඉරක් ඇන්ඳා. මූ මීට කලින් කිරිබත් කාලා තියෙනවද මන්දා. පෙරේතකමද මන්දා. අනේ මගේ මොකෝ එක අතකින්. ඕන ගොම ගොඩක් කෑවාවෙ, කියලා මම ආයෙ ඇඳට වැටිලා නිදාගත්තා.

මම නැගිටිනකොට ග්‍රීසිප්‍රීසි එළියෙ සිමෙන්ති පඩියක වාඩිවෙලා හෝයියට කිරිබත් කනවා. අම්මා සීනිසම්බෝලත් හදලා. කිරිබත් කාලා බොන්න ප්ලේන් ටී එකකුත් හදලා දීලා. අම්මා මූත් එක්ක කතා කළේ කොහොමද කියනෙක හිතාගන්න බැරිව මං ගියා දත් මදින්න. එකාතකින් ‘අනේ මගේ මොකෝ!! ඕන ඉලව්වක් කරගන්නැතැයි.’ මම දත් මැදන් එනකොට ග්‍රීසිප්‍රීසියා සුදු සරමකුයි, සුදු බැනියමකුයි ඇඳගෙන. රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන. කොණ්ඩෙයි, රැවුලයිත් ගානට කපලා. බලන්න එපැයි මිනිහගෙ උජාරුව.
“මේ කොහේ යන්නද?”
“අම්මා මාව ජර්මන් පන්සලට එක්ක යනවා කිව්වා. මගේ අපලවලට කොඩියක් දානවා කිව්වා.”
“යක්කු පන්සල් යනවැයි?”
“අනේ මන්දා. මං කලින් ගිහිල්ලා නෑ තමයි.”
“ඔහේගෙ අම්මා යකා, තාත්තා යකා එහෙම පන්සල් ගියාද?”
“නෑ. එයාල පන්සල් පැත්තෙ ගියේ නෑ. එයාලට පන්සල්වලට යන්න වරම් නෑ කියලනෙ කිව්වෙ.”
“වරම් නෑ කියන්නෙ?”
“ලොකු යකා සීමාවක් දීලා තියෙන්නෙ. එතනින් එහාට යන්න තහනම් කියලයි කිව්වෙ.”
“දැං එහෙනං තමුං මේ පන්සල් ගානෙ කොඩි දාන්න යන්න ලෑස්තිවෙන්නෙ මොකෝ? තමුන්ගෙ තහනම අයින් කරලද?”
“ඒකත් ඇත්ත. මට ඕක ගැන සිහිවුණේ නෑනෙ. අම්මා ඔක්කොම බලාගන්නං කිව්වනෙ. ඒකයි මං යන්න ලෑස්ති වුණේ.”
“අම්මේහ්….අම්මේහ්…” අම්මා ආවා තඩි මල්ලකුත් එල්ලං. ග්‍රීසිප්‍රීසියට මහපු කොඩියත් එක අතක.
“අම්මේ…මම කියන එක අහන්න. ග්‍රීසිප්‍රීසිව පන්සල් එක්කං ගිහිං කරදරේ දාන්නෙපා. එයාව පන්සලේ ගේට්ටුවෙන් එළියෙන් තියන්න. ඕනා නම් කොඩිය එල්ලනවා පාරෙ ඉදන් බලං ඉන්න පුළුවන්නෙ. යක්කු එක්ක සෙල්ලං කරන්න ලෑස්ති වෙන්නෙපා.”
කවදාවත් නැතිව අම්මා මම කියපු එක පිළිගත්තා.
“එහෙනං ඊසිප්‍රීසි ළමයෝ ඔයා ගේට්ටුව ළඟ නතර වෙන්න. තාප්පෙන් එබිලා කොඩිය එල්ලනවා බලන්න පුළුවං. දුක් වෙන්නෙපා හොඳේ?”
ග්‍රීසිප්‍රීසියා ඔළුව වන, වන අම්මගෙ පස්සෙන් ගියා. මටත් හැබැයි පොඩ්ඩක් දුක හිතුණා. ඒත් ඉතිං මේකා යකෙක්නෙ. අපිට මුගේ යස්ස බව අහෝසි කරන්න බෑනෙ. ඒත් දැන් වැඩේ අවුල් වේගෙන එන්නෙ. අපි යකා බැඳගත්තෙ අපේ වැඩ කරගන්න. ඒත් තාම එක වැඩක් කරෝගන්න බැරි වුණා. මූ උදේ හිට රෑ වෙනකං අම්මගෙ විකාර වැඩ විතරයිනෙ කරන්නෙ.
විනාඩි 20ක් විතර ගියාට පස්සෙ මුළු ආබෲ මාවතම සලිත කරං ග්‍රීසිප්‍රීසියා කුණාටුවක් වගේ දුවං ආවා.
“අම්මෝ මගේ ඇග දනවෝ……මට බැරියෝ…..අපොයි දෙයියනේ…ගිනි ගන්නෝ. ගිනි ගන්නෝ. අනේ මාව බේරගනියෝ…”
යකා, පාර දිගේ මේස් බැනියමයි, සරමයි ගලවං ඒවා විසි කරමින් දුවං ආවේ. කොට කලිසමක් විතරයි දැන් ග්‍රීසිප්‍රීසියාගේ ඇගේ. ඊට පිටිපස්සෙන් අපේ අම්මා බැරිමරගාතෙ දුවං එනවා.
“ඩම් බිරියානි, පුතේ….මෙහේ එන්ඩෝ.”
“මොකෝ අම්මේ කෑගහන්නෙ?”
“කොඩිය එල්ලුවා විතරයි පුතේ සුරුස් ගාලා මුළු කොඩියම ගිනි ඇවිලිලා, අළු වෙලා ගියානෙ. ඒත් එක්කම ඊසිප්‍රීසි ළමයා ‘ගිනි ගන්නෝ’ කියලා කෑ ගහනවා මට ඇහුණා. කෝ ඊසිප්‍රීසියා?”
මට උත්තරයක් දෙන්න වෙලාවක් වුන්නෑ. අපේ ළිඳෙන් ‘ජබොක්’ සද්දයක් ඇහුණා.

මතු සම්බන්ධයි.

කාංචනා අමිලානි | twitter | threads | fb | insta |

ග්‍රීසිප්‍රීසි — පළමු කොටස

kanchana amilani

Founder of thinkland | poetess| journalist| Blogger| Writer|