kanchana amilani
9 min readMar 4, 2024

ඩම් බිරියානි•

Vii. ග්‍රීසිප්‍රීසි• { පළමු කොටස }

“මට නම් දැන් එපා වෙලා ඉන්නෙ මියෑව්. බැරිම වුණොත් මම සීත රටක ගොවිපොළක බැටළුවො බලාගන්න යනවා.”
මියෑව්ගෙ කට ඇරුණා. උඩ පැන්නා. කකා හිටපු පොප්සිකල් එක පොළොවෙ ගැහුවා.
“සීත රටවල්වල ගිහින් කොහොමද ඔයා? ඔයාට වීස් එකනෙ. අනික එතකොට මං කාත් එක්කද ෆේක් බහිරවයා හම්බවෙන්න යන්නෙ?”
මම මියෑව්ව නොතකන තාලෙන් පොප්සිකල් එකේ අන්තිම ටිකත් කාලා ඉවර කළා. තප්පරේක විවේකයක් ගත්තා.
“ඔයා ඕන කෙනෙක් එක්ක යන්න අනේ.”
“එහෙම කරන්නෙපා ඩම් බිරියානි. මේ ෆේක් බහිරවයගෙ වැඩේ හරිගියොත් ආයෙ ඇහි පිල්ලමක් තරමට මහන්සිවෙන්න ඕන නෑ.”
ඒ පාර මම තරමක් සන්සුන් වුණා.
“එතකොට ඔයා කියන්නෙ බහිරවයාගෙ ඔය කියන යාළුවට යක්කු බැදගෙන වැඩගන්න පුළුවන්ය කියලද?”
“ඔව් අනේ ඔව්. ඕන එකක් කරන්න පුළුවන්.”
“එතකොට ඇයි ඌ අපිට එහෙම යාළුවෙක්ව අඳුන්නලා දෙන්නෙ? ඌට ඒකෙන් ඇති වාසිය මොකක්ද?”
“මේකනෙ ඩම් බිරියානි කේස් එක. එදා ඌව නොමරා අතෑරියෙ මගේ කරුණාව නිසාය කියලා මම කිව්වා. අනික එදා උගේ අතට 5000 දුන්නෙත් මමනෙ. අපි කියපු විදිහටම ඌ ඒකෙන් අරක්කු බීලා. ඒ කරපු උදව්වට කලගුණ සලකන්නලු මේක කරන්නෙ.”
“ඔයාට ඉතිං විස්වාසයිද ඔය ෆේක් මළහොල්මනව? අපිව උගුලක දාන්නද දන්නෑ අනේ ඔය හදන්නෙ.”
“මොන උගුල්ද අයියෝ!! හැම එකම සැක කරන්නෙපා ඩම් බිරියානි. මේක මිනිහා අවංක චේතනාවෙන් කරන්නෙ. මට ඌව ෂුවර්.”

එදා මියෑව් වෙනදට වඩා ජැන්ඩියට ඇඳලා ඇවිල්ලා උන්නේ. බේජ් කලර් කලිසමයි, අත්කොට, චයිනීස් කොලර් කපු කමිසයයි. ඒකට සුදු පුෂෝන් දෙකකුත් දාලා දුඹුරු ලෙදර් බෙල්ට් එක තියෙන ඔරලෝසුවත් බැඳලා. මට නිකං සැකත් හිතුණා මියෑව් මියෑව් ගැන. මෙච්චර ජැන්ඩියට ඇඳං යකෙක්ගෙ යාළුවෙක් හම්බෙන්න යන්න හිතාවිද?
“හා එහෙනම් යං.”
කියලා ඒ පාර මම ගමනට කැමැත්ත දුන්නා. ආයෙ මියෑව්ට විතරක් මොකද මමත් ජැන්ඩියට අඳිනවා කියලා හිතලා කොට්න් කලිසමකුයි, සනීප කොට්න් බ්ලවුස් එකකුයි ඇඳගත්තා. සනීප පටි සෙරෙප්පු දෙකකුත් දාගෙන රතු බෙල්ට් එක තියෙන ඔරලෝසුව අතේ බැඳගත්තා. මියෑව් මගේ දිහා අමුතුවෙන් වගේ බලනවත් ඒ එක්කම දැක්කා.
කළුතර ඉදන් මෝටර් බයිසිකලෙන් කරන්නාගොඩට යන්න ඉතිං විනාඩි 45–50ක්වත් යනවා. අතරමඟදි තිබහ හැදෙයි කියලා මම නාරං බෝතලේකුත් හදාගත්තා. මේ ගමන ගැන අම්මට වැඩිපුර නොකියා යමු කියල කලින්ම අපි දෙන්නා කතාවෙලා උන්නේ. අයියටත් අපි දෙන්නම ලොකු විස්තරයක් කියන්න ගියේ නෑ. ඕක එයාට කිව්වා නම් එක්කො අපේ වැඩේ කඩාකප්පල් කරන ජාතියෙ කතාවක් කියනවා. නැත්නම් එයාටත් එන්න ඕන වෙනවා. එයා ආවම ඉතිං එයාගෙ ආණ්ඩු මට්ටුව යටතේ ඉන්න එපැයි. අපිට නිදහසක් නෑ. හරියට අපිව කිරෙන් බාල වෙලා වගෙයි ඉතිං සැලකිල්ල.

ඒ නිසා අපි දෙන්නා විතරක් හොරෙන් වගේ ගමන පටන් ගත්තා. යාල හන්දියට අපි විනාඩි 35න් ගියා. ගියා නෙවෙයි මියෑව් ඉගිල්ලුණා. එතනින් මතුගම පාරෙ විනාඩි 10ක් වගේ ගියාට පස්සෙ ටෙම්පො හන්දිය. එතැනින් තියෙන ගුරු පාරෙන් හැරිලා තමයි ඔය ‘අලිය ගල’ හරියට යන්න ඕනා. ෆේක් බහිරවයා තාම ඉන්නෙ අර ගල් ගුහාවෙ ඇතුළෙමයි. තව නිධන් මරුවො ඒවිය කියලා මිනිහා ඉතිං බලං ඉන්නවා.
මියෑව් ටෙම්පො හන්දියෙ හරියෙදිම කෝල් එකක් දුන්නා පොරට. මිනිහා ‘අලියා ගල’ ළඟ ඉන්නෙ කිව්වා. මේං අපි ‘අලියා ගල’ ළඟට යනකොට ෆේක් බහිරවයට වඩා අගල් තුනක් වගේ උස හීන්දෑරි හාදයෙක් බිම ඇනතියාගෙන බහිරවයා එක්ක කතාව. මේ කෙට්ටු ඩයල් එක කොහේ යක්කු බැඳං වැඩ ගන්නද කියලා එකෙන්ම මට හිතුණා. මියෑව්ටත් ඒකම හිතිලා.
“ඩම් බිරියානි අර බලන්නකො. අරූට පාරෙ යන්නවත් පණ නැති පාටයිනෙ. ඌ කොහේ යක්කු බැඳන් වැඩ ගන්නද අම්මපා.”
“ඒකනෙ මියෑව්. මටත් මේ හිතාගන්න බැරුව ඉන්නෙ.”
අපි බයික් එක නවත්තනවත් එක්කම ෆේක් බහිරවයා පැන්නා බයිසිකලේ ඉස්සරහට.
“අඩේ….අඩේ එන්ෆීල්ඩ් එකක්. කොහොන්ද මල්ලි මේක ගත්තෙ. ගින්දර භාණ්ඩයක්නෙ.”
“මේක මේ එෆ්බී මාකට් ප්ලේස් එකේ විකුණන්න දාලා තිබ්බෙ බහිරව අයියෙ. මං පොඩ්ඩක් මොඩිෆයි කළා.”
ඊට පස්සෙ බහිරවයා මෙලෝ සිහියක් නැතිව බයිසිකලේ අතගාන්න පටන් ගත්තා. කොටින්ම මිනිහා බයිසිකලේ ලෙවකෑව ගාණයි.
“බහිරව අයියෙ, තාම ඔයාගෙ යාළුවව අඳුන්නලා දුන්නෙ නෑනෙ.”
“ආ…මේ ඉන්නෙ සමන් සුමන.”
එයා හිනාවුණා ළාවට වගේ. ඊට පස්සෙ හරි උදාරම් විදිහට කොණ්ඩෙ හරිගැස්සුවා.
“මල්ලිලා කොහෙද?”
“අපි කළුතර ඉදන් ආවෙ සමන් අයියෙ. එදා අහම්බෙන්නෙ බහිරව අයියව හම්බ වුණෙත්. එයා කිව්වෙ අයියා ගැන. අපිට ඉතිං පුදුමත් හිතුණා. යක්කු බැඳගෙන වැඩගන්නවා කියන්නෙ ලේසි වැඩක්යැ. මට නම් තාම හිතාගන්න බෑ.”
“ඒවා ඉතිං මේ ආවට ගියාට කරන්න පුළුවන් වැඩ නෙවෙයි මල්ලි. අනික තන්හාසෙන් ඉන්න අයටත් මේවා කරන්න බෑ. ලෝකෙට යම් යහපතක් කරන්න ඕනා කියලා හැඟීමක් එහෙම තියෙන්නෝනා.”
“අපි දෙන්නටම එහෙම හැඟීමක් තියෙනවා අයියෙ.”
“දැන් මල්ලිටයි-නංගිටයි ඕනෑ යකෙක් බැඳගෙන වැඩ ගන්නද?”
ඒ ප්‍රස්නෙට නම් අපි දෙන්නා පොඩ්ඩක් ඇඹරිලා ගියා. යකෙක් බැඳගත්තට පස්සෙ ඌව ඔෆිස් යවන්න, වලිවලට යවන්න, මිරිස් කුඩු කරන්න මෝලට යවන්න, කොස් කඩන්න ගහට නග්ගන්න, ටොයිලට් හෝදගන්න, රෙදි හෝදන්න, හොරකමේ යවන්න, රත්තරං මවන්න…ආදී වැඩ කරගන්න පුළුවංද කියලා අහන්නයි අපි දෙන්නට ඕන වුණේ. ඒත් අර ලෝකෙට යහපතක් කරන්නෝනා සීන් එක ඇහුවට පස්සෙ කටක් ඇරලා මෙව්වා අහන්න පුළුවනෑ!!
මියෑව් කොණ්ඩෙ හදන ගමන් මගේ දිහා බැලුවා. මම ඔරලෝසුවෙ පටිය කරකන ගමං මියෑව් දිහා බැලුවා.
“ඔව් අයියෙ.”
අපි දෙන්නා එක හඬින් කිව්වා. ඒත් හිතේ දාහක් මජර කල්පනා හංහගෙන.
සමන් අයියා ටිකක් තියුණු බැල්මකින් අපි දෙන්නා දිහාම වතාවක් බැලුවා. බලලා නිකට කසන ගමන් හෙමින් මෙහෙම කිව්වා.
“හැබැයි පුතෝ යක්කුන්ට බොරු කරලා එළොවත් නැතිවෙනවා, මෙළොවත් නැතිවෙනවා. තේරුණැයි?”
අපි අහිංසක මූණු මවාගෙන බහිරව අයියා දිහාට හැරුණා.
“මේ අයියා දන්නවා අපි ගැන. අපි එහෙම බොරු කරන අය නෙවෙයි. නේද අයියේ?”
බහිරව අයියා මියෑව්ගෙ බයිසිකලේ ගිලින්න වගේ ඒ දිහා බලං ඉන්නවා. සිහිවිකල්ලෙන් වගේ ‘ඔව්. ඔව්’ කිව්වා.
“හොඳයි. මං එහෙනම් යකාව මුණගස්සන්නම්. යකා දිහා කෙලින් බලන්නෙපා. හරිය? කටහඬේ නිච්චියට ඔළුව පොඩ්ඩක් හරවලා පිටුපාලා වගේ බලන්න. මුලිං යකා වැඩේට කැමති වෙන්නත් එපැයි. ඔහෙලා දෙන්නටත් යකාගෙ යම්කිසි මනාපයක් තියෙන්ට එපෑයැ. අපි එන විදිහට බලමු. යකා ඔහෙලට කැමති වුණොත් වාසනාව තමා. ඊට පස්සෙ මං ඌව සුටුස් ගාලා බන්ඳවන්නම්.”
“හරි අයියෙ. යකා කීයට වගේ ඒවිද?”
“ඇයි මල්ලිලට හදිස්සිද? බයද? මොකෝ කේස් එක?”
“නෑ. නෑ. හදිස්සි නෑ, පොඩ්ඩක් බය නම් තියෙනවා.”
“මේ වැඩ කරන්න බයවෙලා බෑ මල්ලියා. පපුව ඉස්සරහට දාලා ඉන්ඩෝනා යකා එද්දි.”
මියෑව් පපුව ඉස්සරහට දැමිල්ල කෙසේ වෙතත් මගේ අතින් අල්ල ගත්තා. කණ්ණාඩි කුට්ටම ගලවලා ආයෙ දාගත්තා. කොහේ ගියත් ගෙනියන එයාගෙ ලස්සන වතුර බෝතලෙන් වතුර ඩිංගක් බිව්වා.
“මියෑව් මොකෝ? ඔයා බයද?”
මියෑව් මගේ අත කෙනිත්තුවා. ආයෙ වතුර පොඩ්ඩක් බිව්වා. ‘හරි. එයා බයේ තමයි.’ එයා විතරක් මොකෝ මමත් බයයි තමයි. කොටින්ම බහිරව අයියත් බය පාටයි.
“දැන් එහෙනම් වැඩේ හරිනෙ. මං ගිහින් එන්නම් සමන් අයියේ.” කියලා මිනිහා ලිස්සලා යන්න හැදුවෙ.
“උඹ කොහේ යන්නද? බහිරවයෙක් නැතිව යකෙක් ගෙන්නන්නෙ කොහොමද! මෙන්න මේ පිස්සු නැතිව උඹ හිටපං.”
ඒ පාර බහිරවයත් හිටි පියවර උන්නා. සමන් අයියා හදිස්සි ගමනින් වංගුවකින් හැරිලා කොහේද ගියා. ඒ හරියෙන් අමුතු දුමක් වගේ එකකුත් මතු වුණා. ඒ මදිවට අමුතු කැත කුයිලෙකුත් දැනුණා. හරියට බොම්බිලි කරෝල පුච්චලා වගේ ගඳක්. දැන් අපි තුන් දෙනා මූණට මූණ බලන් අලියා ගල ළඟ ඉන්නවා.
“බහිරව අයියා අර අයියගෙ යාළු යකා දැකලා තියෙනවද?”
“මං දැකලා නෑ මල්ලි.”
“එතකොට එදා මට මේ විස්තරේ කියද්දි පණ පිහිටවලා කිව්වෙ? තමුසෙ මාර ඩයල් එකක්නෙ.”
“කියද්දි එහෙම තමයි මල්ලි. අනික මං ෆේක් බහිරවයෙක් කියලා අමතක වුණාද? මල්ලිලා ඉතිං ආසයි කියපු නිසා තමයි මං වැඩේ ෆික්ස් කළේ. අනික ඔහොම ඇඹරෙන්න තියාගන්නෙපා. යකෙක් බැඳගෙන වැඩගන්න නම් ධෛර්යවත්ව ඉන්න එපැයි. ඔහොම ඥාව් වුණොත් යකා කෙළලා අරීවි තමුසෙලා දෙන්නටම එක පාර.”
“එහෙම කියන්නෙපා අයියේ. ඔයා අපිට හයියක් වෙන්න එපැයි. ඔහොම මූසල කතා කියන්නෙපා.”
“හරි බං. බය නොවී හිටපං. අරූ යකාව ගෙනේවි.”

ඔය කතා අස්සෙ අර බොම්බිලි කරෝල කුයිලෙ වැඩිවෙන්න ගත්තා. අලියා ගල පැත්තට ප්‍රතිවිරුද්ධ දිසාවෙ පාර නිකං නලියනවා වගේ පේන්න ගත්තා. මං කෝකටත් ඇස් දෙක පිහදාලා බැලුවා. මියෑව් කණ්ණාඩි ගලවලා බැලුවා. යකෝ පාර නලියනවා තමයි!!
නලියන පාර දිගේ මහත-දෙහත එකෙක් එනවා. උගේ පිටිපස්සෙන් සමන් අයියා එනවා. අරූ, මහත දෙහත එකා එන්නෙ පාර පුරාම. හරියට නිකං බැලන්ස් නෑ වගේ. අනික මාර වේගෙන් එන්නෙත්. මිනිහගෙ මූණ හෙණම රෞද්‍ර පාටයි. කැපුම් පාරකුත් දකුණු කම්මුලට උඩින් තියෙනවා. සමන් අයියා මේකාගෙ වේගෙට මැච් වෙන්න කියලා හිතලා විඩින් විඩේ දුවමින් එන්නෙ.
මහත දෙහත එකා අපේ ඉස්සරහට ඇවිත් නතර වුණා. කැහැපට ගහපු සරමක් විතරයි මිනිහගෙ සර්වාංගෙටම තිබ්බෙ. ඉණේ හීන්දෑරි වක් පිහියක් ගහගෙන.
සමන් අයියා හති හලමින් දුවං ආවෙ ඒ අතරේ. ඇවිත් දණහිස් දෙකට අත් දෙක තියං නැවීගෙනම හති අරින්න පටන් ගත්තා.
යකා දිහා කෙලින් බලන්නෙපා, හැරිලා බලන්න අරවා-මේවා මේ අස්සෙ අපිට අමතක වෙලා ගියා. කොටින්ම අපිට යකාට මූණ දෙන්න ලෑස්තිවෙන්න වෙලාවක් තිබ්බෙත් නෑ. සමන් අයියා කියපුවා ගැනත් උන්දැට ඒ හැටි නිච්චියක් තියෙන පාටක් තිබුන්නෑ.
“ඕං අර මං කියාපු දෙන්නා. තමුං මේ අයට කැමතිද කියලා බලනවා හොඳයි.”
එහෙම කියලා අපේ පැත්තට අතක් දික් කළා.
“මල්ලි, මේ ඉන්නෙ ග්‍රීසිප්‍රීසි යකා. මූට දවසට ග්‍රීස් ග්‍රෑම් 100ක් දෙන්නෝනා බොන්න. එච්චරයි.”
ග්‍රීසිප්‍රීසි යකා ඔළුව හොල්ලලා ඒක අනුමත කළා. මට නම් විකාරයි දැං. කොහේ ඉන්න ග්‍රීසිප්‍රීසි යක්කුද අම්මපා!! අනික ග්‍රීස් බොන්නෙ අහවල් එහෙකටද? අනික ග්‍රීස් බොන ජාතියක් යෑ!
“ඈ….සමන් අයියේ, ග්‍රීස් බොනවා? ඒ මොකෝ මෙයා ග්‍රීස් බොන්නෙ?”
ඒ පාර ග්‍රීසිප්‍රීසි යකා කලබල වුණා. ආවා මියෑව් ළඟට අඩි දෙකෙන්. බෙල්ලෙන් අල්ලලා උඩට ඉස්සුවෙ නැතෑ මියෑව්ව. මියෑව් හූ තියන්න ගත්තා.
“අනේ ග්‍රීසිප්‍රීසි යකෝ, මියෑව්ට කරදරයක් කරන්න එපා. එයාගෙ කිසිම කටකමසිරියාවක් නෑ. මෝඩකමට ඔය දොඩවන්නෙ. අතාරින්නකො එයාව. ප්ලීස්!! ඔයා මගේ හොඳ ග්‍රීසිප්‍රීසි යකානෙ.” කියලා මම කිව්වා.
මෙන්න යකෝ මිනිහා මියෑව්ව බිමට අතෑරියා. ආවා මගේ ළඟට.
“නංගි මොකෝ මේ මෝඩ වාහෙත් එක්ක එහේ-මෙහේ ඇවිදින්නෙ? යං මං එක්ක. මං හොඳට සලකන්නම්.” කිව්වා.
මගේ කටේ කෙළ හිඳුණා. යකෙකුට ‘බෑ’ කියන්නත් බයයි. එහෙමයි කියලා ‘හා’ කියන්නත් බෑ. සමන් අයියා එවේලෙ ඉස්සරහට ආවා.
“පලයං අහකට. අනවශ්‍ය කතා බෑ කියලා මම උඹට කලින්ම කිව්වා නේද? කඩනවා බෙල්ල බෝංචි වගේ. වල් පරයා!!”
යකා දමනය වුණා. නෝක්කඩු වොයිස් එකෙන් ඒ පාර කතාව. මළ සමයං අප්පා.
“හා. මං කැමතියි මුං දෙන්නට. එහෙනම් මාව බැඳපං මුංට. මං වැඩ කරලා දෙන්නම්. හැබැයි මට හැමදාම බොන්න ග්‍රීස් දෙන්න කියපං. හාද?”
“හරි බං හරි. උඹට ග්‍රීස් දෙයි. හැබැයි මනමාල කතා කියලානං මට අහුවෙන්නෙපා. දෙන්නෙ කන පොඩිවෙන්න.”
“හ්ම්…හා…හා…ඉතිං. දැන් කොහොමද මං මුං දෙන්නා එක්ක යන්නෙ? මාවත් බයිසිකලේ දාං යනවද?”
“ඇයි උඹ වෙනදත් බයිසිකල්වලද ගියේ? බයිසිකලේ පස්සෙන් දුවං පලයං. උඹට කරන්න වැඩ නෑ කියා කියානෙ පහුගිය දවස්වල කංකෙඳිරි ගෑවෙ. දැන් ඔය තියෙන්න වැඩ.”
“හැබැයි සොහොන් ළඟින් යද්දි මට ඕන්නං මං හූ කියනවා. හරිද?”
“අනේ මේ විකාර නැතිව ඉදිං. සොහොන් ළඟදි හූ කියද්දි කට්ටඩියෙක්ට අහුවුණොත් උඹව බෝතලේ දාලා හිර කරයි. පස්සෙ ගඟට විසිකරයි. කැමතිද ඒකට?”
ග්‍රීසිප්‍රීසි යකා ආයෙත් නහයෙන් අඬන වොයිස් එකට ආවා.
“මං කැමති නෑ බෝතලේ හිරවෙන්න.”
මේ මොන සමයං යකෙක්ද කියලා අහන්නත් හිතලා මියෑව්ගෙ බෙල්ලෙන් අල්ලලා උස්සපු එක මතක් වෙලා මම ප්‍රශ්නෙ ගිලගත්තා. මියෑව් තාම තක්බීර් වුණ ගමන්.
“සමන් අයියේ, අපි කොහොමද මෙයාගෙන් වැඩ ගන්නෙ? දැං මෙයාව හැමෝටම පේනවත් එක්කද?”
“මෙයාව පේන්නෙ ඔය දෙන්නට විතරයි. කෙරෙන්න ඕනා වැඩක් පෙන්නලා මෙන්න මේං මේක කරලා දීපං කියන්න විතරයි ඕනා. මූ ඕන එකක් කරාවි. හරි ලේසියි.
හැබැයි මොකක් හරි නොසන්ඩාල වැඩක් කළොත් මෙන්න මේ වේවැලෙන් හතරක් ගහන්න කකුල්වලට. ඊට පස්සෙ පොඩි වීදුරු කුප්පියක් පෙන්නලා කියන්න මේකෙ හිරකරනවා කියලා. එයින් මෙයා මට්ටුයි.”
ග්‍රීසිප්‍රීසි යකා නලියනවා ඒ පාර. සමන් අයියා වැලි අහුරක් සාක්කුවෙන් අරං මැතිරුවා. ඊට පස්සෙ යකාගෙ වටේ වේවැලෙන් රවුමක් ඇන්ඳා. ඊටත් පස්සෙ ඒ රවුම කැපුවා. යකාව රවුමෙන් එළියට අරං අපේ ළඟින් තිබ්බා. තියලා ආයෙ රවුමක් ඇන්ඳා. ‘දැන් හරි’ කිව්වා. යකාගෙ පැත්තට හැරිලා ‘දැං පලයං’ කිව්වා.
මියෑව් පොරොන්දු වුණ විදිහට සමන් අයියට එක්ලක්ෂ පනස්දාහක් දුන්නා. තව මැණික් ගල් දෙකකුත් දුන්නා. සමන් අයියා මුළු මූණෙන්ම හිනාවෙලා ‘තැන්ක්‍ යූ මල්ලිලා’ කිව්වා.

අපි දෙන්නා මෝටර් සයිකලේට නැඟලා ෆේක් බහිරවයටයි, සමන් අයියටයි බායි කිව්වා. ග්‍රීසිප්‍රීසි යකාට කිව්වා බයිසිකලේ පස්සෙං දුවං එන්නය කියලා. ඒකා කිසි ගේමක් නැති තාලෙන් ඔළුව වනලා ‘හා’ කිව්වා. ඔන්න අපි අලියා ගල ළඟින් ටෙම්පො ස්ටේට් එකකට දාලා හොරණ පැත්තට එනවා. යාල හන්දියට ආවා විනාඩි දහයෙන්. මං නිකමට පිටිපස්ස හැරිලා බැලුවා. ග්‍රීසිප්‍රීසි යකා කිසි ගින්නක් නැතිව බයිසිකලේ පස්සෙං දුවං එනවා. දුවනවා කිව්වට මිනිහා නිකං අහසේ පාවෙනවත් වගේ. මට ඒක විස්තර කරන්න තේරෙන්නෑ ඇත්තට. හීනියට බයකුත් යටි පතුල් දිගේ බඩ හරියට ආවා. මම මියෑව්ගෙ පිටට හේත්තු වුණා තව ටිකක්.
“මියෑව් මේහ්!! අර යකා අහසෙ පාවෙනවා වගේනෙ අනේ. මට බයත් එක්ක දැන්නම්. අපි කෝකටත් විස්තරේ අයියට කෝල් කරලා කියමුද?”
“දැන් බෑ ඩම් බිරියානි ඕව කියන්න. අපි ගෙදර ගිහිංම කියමු. අනික මේ මෝටර් සයිකලේ සද්දෙට කිසි දෙයක් ඇහෙන්නෙ නෑ.”
“මේ ග්‍රීසිප්‍රීසි යස්සයා අපිව මරයිද මියෑව්? මට නම් බයේ බෑ මූට. දැන් අම්මා දැනගත්තම මොකක් වෙයිද? අපි දෙන්නට විතරයි නං මූව පේන්නෙ ගෙදර වැඩ කරද්දි එයාලා බය වෙයිනෙ.”
“ඒකනෙ ඩම් බිරියානි. මමත් මේ කල්පනා කර කර ආවෙ ඒකමයි. මූව අනිත් අයට නොපෙනෙනවා නම් මුගෙන් වැඩ ගන්නෙ කොහොමද? මූට නවතින්න දෙන්නෙ කොහේද? මූ අහල පහළ ගෙවල්වලට ගිහිං ගෑනු නාන ඒවා, ඇඳුම් මාරු කරනේවා එහෙම බලයිද?”
“ඔයා දුර දිග නොබලා කරන වැඩවල විපාක පේනව නේද මියෑව්? මට නම් දැන් පිස්සු වගේ.”
අපි දෙන්න මෝටර් සයිකලේ ‘ඩර-බර’ සද්දෙ පරද්දන්න මහ හයියෙන් කතා කරමින් ආවේ. ගල්පාත හරියට එද්දි කටේ කෙළ හිදිලා වගේ තේරුණා. අපි බයිසිකලේ නවත්තලා නාරං බෝතලේ බෙදාගෙන බිව්වා. යකාටත් උගුරක් ඕනද අහන්නත් හිතිලා, ආයෙ ඕන්නෑ කියලා නිකං හිටියා.

අපි දෙන්නා ගෙදර එද්දි අයියා ඉස්තෝප්පුවේ වේවැල් පුටුවෙ දිගඇදිලා ඉන්නවා. මියෑව් බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගහලා, හෙල්මට් අරං එනකං මම ටිකක් වෙලා උන්නා. අපේ පිටිපස්සෙං දුවං ආපු යකා ගේ ඉස්සරහා කපලා දාලා තිබ්බ දෙල් කොටේ උඩ වාඩි වුණා. යකා මගේ දිහා බලද්දි මම ටක් ගාලා අහක බලාගත්තා. මියෑව් බයික් එකෙන් බහින ගමං ග්‍රීසිප්‍රීසි යකාට මොකක්ද හෙමින් සැරේ කුටු-කුටු ගාලා කිව්වා. යකා ඔළුව හෙල්ලුවා.
“කොහෙද බං ගියේ? අන්න අම්මා හොයනවා තමුසෙව?” අයියා මියෑව්ට කිව්වා ගෙට ගොඩවෙනවත් එක්කම.
“අපි මේ ළඟට ගිහිං එන්න ගියා අයියෙ. වැදගත් දෙයක් අයියට කියන්නත් තියෙනවා.” කියලා මියෑව් තාවර වෙන අතරේ මම ගෙට පැනගත්තා. අයියා වැඩි උනන්දුවක් නැතිව ‘මොකක්ද?’ කියලා අහනවා මට කාමරේටත් ඇහුණා.
“අයියේ අර එදා නිධානෙ ගන්න ගිය වෙලේ හිටපු ෆේක් බහිරවයා මට යකෙක් බැඳලා වැඩගන්න ඩයල් එකක් සෙට් කළා. මිනිහගෙ නම සමන් සුමන. හෙන කෙට්ටු, පොඩි ඩයල් එකක්. එක්ලක්ෂ පනස්දාහයි, මැණික් දෙකයි ඉල්ලුවේ. එවෙලෙම අපිට යකෙක් බැඳලා දුන්නා අයියේ. අපි ඌව අරං ආවා. අර අතන දෙල් කොටේ ඉදන් ඉන්නවා. ඒත් ඌව පේන්නෙ ඩම් බිරියානිටයි, මටයි විතරයි. මූ ඕන වැඩක් කියන පරක්කුවෙන් කරනවා. දවසට ග්‍රීස් ග්‍රෑම් 100ක් මූට බොන්න දෙන්න ඕනා. එච්චරයි ඩීල් එක.”
“මොකක්? උඹලා යකෙක් අරං ආවා? ඌ අපිට පේන්නෑ. මේහ් මියෑව් උඹේ කන පොඩිවෙන්න දෙන්නෙ මේ පාර. පච කෙලිනවා ඉවරයක් නෑ. ඇහැට පේන යක්කු කොහෙද බං ඉන්නෙ? අනික උඹලා දෙන්නා කොහොමද යකෙක් අරං එන්නෙ?”
“බොරු නෙවෙයි අයියේ. යකෙක් ගෙනාවා.”
මියෑව් පින්සෙන්ඩු වෙනවා ඒ පාර. මමත් එළියට ඇවිත් මියෑව්ගෙ කතාව සනාථ කළා.
“අම්මේහ්…මෙහෙ එන්ඩෝ. මුං දෙන්නා යකෙක් ගෙනැල්ලෝ. ඔන්න ඔයාගෙ දුවයි, දුවගෙ නල්ලමලේ යාළුවයි යකෙක් ගෙනැල්ලෝ. අම්මේහ්….මෙහේ එන්නෝ.”
ඒ පාර අයියා පිස්සෙක් වගේ කෑගහනවා. දෙල් කොටේ උඩ වාඩිවෙලා හිටපු යකත් දැන් කලබල වෙලා. මියෑව් යකා ළඟට ගිහිං ආයෙ මුනු-මුනුවෙන් කතාව.
“අයියේ…..කෑගහන්න එපා අනේ. මියෑව් කියන්නෙ ඇත්ත. අපි යකෙක් අරං ආවා. ඌ අර දෙල් කොටේ උඩ වාඩිවෙලා ඉන්නේ. ඕන වැඩක් ඌට කරන්න පුළුවන්.”
“ඒ පාර තමුසෙත් පටන් ගත්තද? කොහේ ඉන්න යක්කුද ඩම් බිරියානි? තමුසෙලා දෙන්නා ගුලි කෑවද? අයිස් ගැහුවද? මදන මෝදක කැවුණද? බාබුල් කෑවද? ඇත්ත කියනවා.”
ඒ පාර අම්මත් කඩිමුඩියෙ එළියට පැන්නා. අතේ මන්නයකුත් ඒ මදිවට.
“මගේ කෙල්ලට කළු කුමාරයා වැහිලා එලවගත්තෙ තොවිලයක් හිට කරලා. දැන් ඇවිත් ඉන්න යකා මොකාද? වරෙං බලන්න මෙහාට?”
මෙන්න යකඩෝ ග්‍රීසිප්‍රීසියා නැගිට්ටා දෙල් කොටෙන්, ආවා අඹ ගහ ළඟට.
“මේං මං තමයි යකා” කිව්වා අමුතු මුක්කං තාලෙකින්.

කාංචනා අමිලානි | twitter | threads | fb | insta |

kanchana amilani

Founder of thinkland | poetess| journalist| Blogger| Writer|