ඩම් බිරියානි•
Viii. ගොඩ්සිලා වස්තුව• [ i කොටස ]
අම්මා ටික දවසක ඉදන් පොඩි බෑග් එකක් අරං එහේ යනවා, මෙහේ යනවා. යන්නෙත් හොරා වගේ. “මං මේ කළුතරට යනවා.”, “මං එහෙනං පානදුරේට ගිහිං එන්නං.”, “චම්පලගෙ ගෙදර යන්නත් තියෙනවා.” ආදී දේවල් කියමින් පොඩි කළු බෑග් එක කිහිල්ලෙ තද කරං දවස් කීපයක්ම ගිය නිසා මං ඕක මියෑව් මියෑව්ටත් කිව්වා.
“දැන් කාන්තා පාතාලයක් කියලා එකක් තියෙනවලු. ඔයාලගෙ අම්මත් කාන්තා පාතාලෙට එක්කහු වෙලාද දන්නෑ. එයාලා මංකොල්ලකන වැඩ, මිනීමැරුම් වගේම ගංජා, කුඩු, අයිස් විකුණන වැඩත් කරනවලු. තව ඔය තැරැව්කාර වැඩත් කරනවලු.”
“අනේ මේ ඔයාට පිස්සුද මියෑව්? අපේ අම්මා කොහෙද ඕවා කරන්නෙ? එයාට ලේ බලන්නත් බෑ, කලන්තෙ හැදෙනවා. මංකොල්ලකන, මිනීමරන වැඩ කොහොම කරන්නද?”
“මං දන්නෑ ඉතිං. වෙන්න පුළුවන් දෙයක්නෙ මං කිව්වෙ.”
ඒත් එක්කම දාඩිය වක්කරගෙන ‘ෂූස් පූස්’ ගගා පිඹිමින් අම්මා ආවා ගෙදර.
“ඩම් බිරියානි, හදන්නකො අනේ හොඳවයින් ප්ලේන්ටියක්. පුදුම රස්නයක්නෙ තියෙන්නෙ. ඒත් ගෙදර ආවම ප්ලේන්ටියක් නොබීත් බෑ.”
මම කුස්සියට යන්න නැගිටින ගමන් වැඩිය ගණන් නොගන්නා ගාණෙන්, “මොනාද අම්මේ ඔය කිහිල්ලෙ ගහං යන කළු බෑග් එකේ තියෙන්නෙ? පිස්තෝලයක්වත්ද?”
“පිස්තෝල!! ඔය ළමයට දෙගුණෙද? අනික මට මොකටද පිස්තෝල?”
අම්මා අත්විසි කරමින් කාමරේ ඇතුළට ගිහින් ගෙදරට අඳින ගවුමක් වන වන බාත්රූම් එකට රිංගුවා.
අපේ අයියගෙ ජපන් බයිසිකලේ ‘කිරි-කිරි’ යකඩ සද්දෙත් එක්ක ඇවිත් මිදුලෙ නැවතුණා. බයිසිකලේ බාස්කට් එකේ පෝර උරේක දාල තිබ්බ මොකක්ද බර දෙයක් අමාරුවෙන් උස්සං ඇවිත් පේව්මන්ට් එකෙන් තිබ්බා.
“ඩම් බිරියානි මෙහෙ එන්නකො. මට තාරකා ඉබ්බෙක් හම්බ වුණා පාරෙ ඉදලා. මං ඌව ගෙදර අරං ආවා. අපි පොකුණක් හදලා මූව දාමු නේද?”
“මොකෙක්! තාරකා ඉබ්බෙක්?”
දැන් ඒ පාර තාරකා ඉබ්බෙකුත් අරං ඇවිත්. මෙයාට කිසි ගාණක් නෑ අම්මා කාන්තා පාතාලෙකට බැදිලද, නැද්ද කියලා. අනික අපිට මොකටද තාරකා ඉබ්බෝ?
ඉබ්බාව පෝර උරෙන් එළියෙන් අරං තිබ්බම ඌ නිකං කැරකිල්ල හැදිලා වගේ ඇස් කරකන්න ගත්තා.
“අපෝ…අපෝ…ඉබ්බට කලන්තෙ හැදෙන්න එනවා. වතුර ටිකක් ඉහින්න අනේ ඉක්මනට.”
කුරුල්ලන්ට නාන්න තියලා තියෙන පොඩි බේසම අයියා උගේ ඔළුවට හැලුවා. ඉන් පස්සෙ තාරකා ඉබ්බා එක විදිහක් වුණා. අපේ බෙහෙත් උඳුපියලිය ගොල්ලට වැදිලා ඔහේ නිකං නිදි වගේ උන්නා.
“අයියේ, අපේ අම්මා හරි සැකසහිත දෙයක් කරනවා. කළු බෑග් එකක් අරගෙන හොරා වගේ එහේ-මෙහේ යනවා. එයා කාන්තා පාතාලෙටවත් බැදිලද දන්නෑ අයියෝ.”
“කොහේ තියෙන කාන්තා පාතාලද? පිස්සුද?”
“එහෙම එකක් තියෙනවලු. ටිකක් වයස අයත් ඒකට බැදිලා ඉන්නවලු.”
“අනේ මේ පිස්සුද ඩම් බිරියානි. අපේ අම්මා ඕවට බයයි. එයා ඔය වෙන මොකක් හරි මගඩියක් කරනවා ඇති.”
“ඉතිං ඔයා අම්මගෙන් අහන්නකො. මං ඇහුවා එයාගෙ කළු බෑග් එකේ තියෙන්නෙ පිස්තෝලයක්ද කියලා. මට පිස්සුද කියලා අහලා නාන්න ගියා.”
“ඉතිං?”
“ඉතිං කියන්නෙ. ඔයා අහලා බලන්නකො.”
“අනේ මේ ඩම් බිරියානි, එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න. ගෑනු පාතාල!!! මොන විකාරද!”
“අර මොකෙක්ද පුතේ මිදුලෙ ඇවිදින්නෙ?” අම්මා දොරෙන් එබිලා බැලුවෙ බයෙන් වගේ.
“ආ…තාරකා ඉබ්බෙක්. පාරෙ ඉදලා මං බෑග් එකක දාං ආවා.”
“ඉතිං අපිට මොකටද තාරකා ඉබ්බෙක්?”
“තාරකා ඉබ්බො ගෙවල්වලට වාසනාව ගේනවා. අම්මා දන්නැද්ද ඒක?”
“අනේ පච කියන්නෙපා ළමයෝ. ඉබ්බෝ එහෙම වාසනාව ගේන්නෑ.”
“ඉබ්බෝ මොනාද අම්මේ යකෙකුත් අම්මට වාසනාව ගෙනාවෙ.”
“අන්න ඒක නම් හැබෑව. යකා මට වාසනාව ගෙනාවා. අනේ අපේ ඊසිප්රීසියා කොහේ ඉන්නවද, මොනවා කනවද දන්නෑ. මට නම් දුකේ බෑ වෙච්ච දේට.”
“ඌ අර දෙන්නෙක්ගෙම බෙලි ගලෝල ලේ බීලා තියෙන්නෙ. දිගටම ලේ බිබී ඉන්නව ඇති. අම්මගෙ මේ විකාර.”
“ඕවා මේ අර මියෑව් ළමයා අතිං දාලා කියපුවද කොහෙද පුතේ. මට නම් ඇබින්දක්වත් ඔය කතා විස්වාස නෑ. ඊසිප්‍රීසි ළමයා ඔහොම මිනිස්සු මරන්නෑ. ඒක මට විස්වාසයි.”
“අම්මගෙ ඔය විස්වාසෙ තමයි අපිට හෙනේට හිටියෙ. ගෙදර එවුංව විස්වාස නෑ, රටේම ඉන්න කොල්ලයි, බල්ලයි විස්වාසයි.”
එක පාරටම අයියට ඩෝං ගියා.
එයා ‘ඩෝං’ මූඩ් එකෙන්ම තාරකා ඉබ්බව හොයන්න උදුපියලිය ගොල්ල පැත්තට ගියා. ඊට පස්සේ ‘තාරකා…තාරකා…’ කිය කිය තාරකා ඉබ්බට අඩගහන්න ගත්තා. ඉබ්බොන්ට ඔහොම නම් කතා කළාට උං ඒවියැ. අනික බල්ලො, පූසොයැ. ඔක්කොටම එහා තාරකා ඉබ්බා තාම දන්නෙත් නැතුවැති ඌට ‘තාරකා’ කියලා නම තියල විත්තියක්. ඒත් එහෙ බලලා මෙහෙ බලද්දි තාරකා ආවනෙ අයියා ළඟට. මේක යස්ස වැඩක්නෙ. ඉබ්බා එහෙනං දන්නවා ඌට දාපු නම!!
දැං ඕකෙං මේකෙං වෙන්නෙ අම්මා කාන්තා පාතාල සාමාජිකාවක්ද, නැද්ද කියලා දැනගන්න ක්‍රමයක් නැති වෙනේකයි. අනිත් එක එයා නොදැනුවත්වම අත් බෝම්බ, අරවා මෙව්වා ගෙනැත් ඇඳං යට එහෙම අනාරක්ෂිතව දාලා තියෙනවද දන්නෙත් නෑනෙ.
ඔන්න එතකොට මගේ ෆෝන් එක නොනවත්වාම රිංග් වෙනවා ඇහුණා. නොදන්නා නම්බර් එකක් වුණත් ආන්සර් කරලා බලන්නෝනා කියලා හදිසි හැඟීමක් මට ආවා.
“හෙලෝ….හෙලෝ….මේ ඩම් බිරියානි නංගිද?” පුදුම කලබලේකින් එහා පැත්තෙන් කතා කරන කෙනා ඒ මුළු වාක්‍යම කිව්වේ.
“ඔව්. ඔයා කවුද?”
“මම ගොඩ්සිලා අයියා. අපි පානදුරේදි හම්බ වුණේ. අර මට පිරිටන් එක්ක ප්රෙඩ්නි එහෙම අරං දුන්නෙ…”
“එතකොට ඔහේ මළේ නැද්ද?”
“මං මොනවා මැරෙන්නද නංගි. මේ හොඳටම ඉන්නෙ. ඒකට නෙවෙයි මං කෝල් කළේ. මාව බේරගන්නයි කියන්න.”
“අනේ මේහ්!! විකාර එපා. තියනවා ඔය ෆෝන් එක.”
“අනේ වඳින්නම් නංගි. ෆෝන් එක කට් කරන්නෙපා. මාව දෙහිවල සූ එකේ හිරකරලා ඉන්නේ. දැන් මාස කීපයක්ම වෙනවා. නංගිගෙ නොම්මරේ හොයාගන්න බැරිවයි මෙච්චර කල් හිටියේ.”
“තමුන්ව හිර කරලා නම් මට කෝල් ගන්නෙ කොහොමද?”
“මට කෑම දාන මිනිහගේ ෆෝන් එක මං හොරකම් කරගත්තා. ඒකෙන් මේ කෝල් කරන්නෙ. තව ටිකෙන් ඌ ඇවිත් මට ගහලා ෆෝන් එක අරං යාවි.”
“ගහලා? තමුන් ගොඩ්සිලෙක් නේද? මිනිස්සු ඇවිත් ගහලා ෆෝන් අරං යනකං කට බලියං ඉන්නවද?”
මට දැන් හොඳටම කේන්තිත් එක්ක. ගොඩ්සිලෙක් මේ දාසයේ කෙල්ලෙක් වගේ නැලවෙන්න එනවා. අනික ඔය සූ එකේ කූඩු කඩං මූට එන්න බැරිද!!
“මේ අහන්න නංගි, මට පැයෙන් පැයට නින්ද යන්න බෙහෙත් විදිනවා. අත-පය කඩලා දාලා වගේ. ඔළුව උස්සගන්න බෑ බරයි. ඒ අස්සේ මගේ පීනසෙත් ඇවිස්සිලා. හැම විඩේම හච්චිං යනවා. මට මෙතන කරන්න පුළුවං දෙයක් නෑ. ඔයා ඇවිල්ලා මාව බේරගන්න. දැං මගේ ජීවිතේ රැදිලා තියෙන්නෙ ඔයාගෙ අතේ.”
“එතකොට ඔහේ මගේ නොම්මරේ හොයාගත්තෙ කොහොමද කියනවකො.”
“මං 1919ට කෝල් කළා. 2121ට කෝල් කළා. 123ට කෝල් කළා. 767ට කෝල් කළා. 0000ටත් කෝල් කළා. හැම පොලිසියටම කෝල් කළා. ඊළඟට කළුතර බෝධි භාරකාර මණ්ඩලේටත් කෝල් කළා. ඒ කවුරුත් ඩම් බිරියානියෙක්ව දන්නෑ කිව්වා. ඊට පස්සේ මේකෙ කන්ටෑක්ස් මුල ඉදන්ම එකින් එක බැලුවා. මේකෙ සේව් කරලා තිබ්බා ඩම් බිරියානි මූසලී කියලා කන්ටෑක්ට් එකක්. මේ ඒකට තමයි මම කෝල් කළේ.”
ඒ කතාවෙන් මගේ යස්සයා ඇවිස්සුණා. මගේ නම එහෙම සේව් කරන එකා මොකාද කියලා මට හිතාගන්නවත් බැරි වුණා. ඊටත් දෙහිවල සූ එකේ ගොඩ්සිලාට කෑම දාන මිනිහෙක් එක්ක මට තියෙන ඇයි හොඳයිය මොකක්ද! මට මේක ලිහාගන්න බැරි ප්‍රහේලිකාවක් වුණා.
“හරි. මං තමුන්ව බේරගන්න එන්න බලන්නම්. ඔය ෆෝන් එක අයිති මිනිහගේ නම මට හොයලා එවනවකො. මං එයාට වැඩේ බේරන්නම් එතකොට.”
“හරි නංගි. මං ඔයාට උගේ නම අහලා එවන්නම්. ඒ ගැන බය වෙන්න එපා. එහෙනං මං තියනවා. බායි!!”
ගොඩ්සිලා ෆෝන් එක කට් කළාමයි මට පොරොන්දුවේ බරපතළකම තේරුණේ. දෙහිවල සූ එකට ගිහිං ඒකෙ හිරකරලා ඉන්න ගොඩ්සිලෙක් බේරං එනවා කියන්නෙ ලේසිපාසු කෙළියක් නෙවෙයි. අනික අහුවුණොත් මාව හිරේ දාවි.
ඒත් දැන් මේක මගෑරලා බෑ. අනික අපේ අම්මා කාන්තා පාතාලෙ සාමාජිකාවක් නං එයාට පුළුවන් මට ආයුධ අරව, මේවා දීලා උදව් හෙම කරන්නත්. එයාට කන්ටෑක්ස් ඇතිනෙ හැම තැනම. ඔය දුම් බෝම්බ, සිහි නැතිවෙන්න අල්ලන ජාති ගැනත් එයා දන්නවා ඇතිනෙ. කොහොමත් අර කළු බෑග් එකේ නම් ඇත්තෙ පිස්තෝලයක් තමයි.
මම කල්පනාවෙ වැටිලා මිදුලට බැස්සා. මිදුල පුරා තාරකා ඉබ්බාට කන්න දාපු සලාද කොළයි, ලෙටූස් වගේ තව කොළ ජාතියකුයි. ඒ මදිවට ක්‍රීම් ක්‍රැකර් වගේකුත් කඩලා බිම දාලා. තාරකා ඉබ්බා ඒ මෙලෝ සංසාරයක් නොකා අම්මගේ මල් ගහක් හපනවා.
“අයියේ….දෙහිවල සූ එකේ ගොඩ්සිලාල ඉන්නවද?”
අයියා තාරකා ඉබ්බට ක්‍රීම් ක්‍රැකර් කුඩු කරන එක නවත්තලා මගේ දිහා බැලුවා. ඊට පස්සෙ හිනාවෙන්න ගත්තා. හිනාව මැද්දෙන්ම, “ගොඩ්සිල්ලු කොහෙද අනේ මේ ලෝකෙවත් ඉන්නෙ? උන් වඳ වෙලා ගිහින් කොච්චර කල්ද?”
“අනේ මේ වඳවෙලා නෑ. මට එකෙක්ව පානදුරේ ෆීනික්ස් එක ළඟ හිඟාකද්දි හම්බ වුණේ. ආ…එතන තව ටීරෙක්ස් කෙල්ලෙකුත් හිටියා.”
“අනේ ඩම් බිරියානි!! පිස්සු නැතිව ඉන්න. ඔය ටීවී සීරීස් අරවා, මේවා සමයං බලලා ඔයා හිතන ඒවා තමයි. ඇත්ත ලෝකෙ ගොඩ්සිල්ලු දැං නෑ. ඒවා ඔක්කොම CGI.”
මම කල්පනා කරමින් ආයෙ කාමරේට ආවා. හැබෑමයි, මං උන් දෙන්නව දැක්කෙ හීනෙන්නෙ. ඒත් මේ දැං මගේ ෆෝන් එකට ගොඩ්සිලා කෝල් කළානෙ. එතකොට ඒකත් හීනයක්ද? මම කොනිත්තගෙන බැලුවා. රිදෙනවා අයියෝ. හීනයක් නෙවෙයි.
ආයෙ ගොඩ්සිලා කෝල් කරපු නොම්මරේ චෙක් කරලා බැලුවා. ඒක එයාර්ටෙල් නොම්මරයක්. එක්කො මේ ගැන දැංම මොකුත් නොකර ඉන්නවා. ගොඩ්සිලා ඌට කෑම දාන මිනිහගෙ නම හොයලා කියන්න ආයෙ කෝල් කරාවිනෙ. ඒත් මියෑව් මියෑව්ට මේ ගැන කියලා තියන්න ඕනා. එයා තේරුම් ගනීවි මං කියන දේ. සමහර විට මට මියෑව් එක්කම ගිහිං ගොඩ්සිලාව සූ එකෙං පන්නං එන්නත් පුළුවං වේවි. එයා ඕවට දස්සයා.
එළියෙ මහා සද්ද ගොඩක ඇහෙන නිසා මං ආයෙ ජනේලෙන් එළිය බැලුවා. අයියා තාරකාට පොකුණක් හදන්න මිදුලෙ තඩි වලක් හාරනවා. තාරකා ඒ ළඟටම වෙලා ඉන්නවා. අනේ අම්මපා මේ ඉබ්බෙක් ගෙනැත් කරන්න හදන පිස්සුවක්!
ඔය අතරේ මියෑව් කෝල් කරනවා දැක්ක නිසා සතුටින් මම කෝල් එක ආන්සර් කළා.
“ඩම් බිරියානි, මොකද කරන්නෙ? මම දැන් පානදුරේට යනවා යාළුවෙක් හම්බ වෙන්න. ඒ ගමන් ඔහෙත් එන්නම්.”
“අනේ ඒක හොඳයි. මං මේ ඔයාට මෙහේ එන්න කියලා කෝල් එකක් ගන්නමයි හිටියේ. හොඳ වෙලාවට ඔයාම කතා කළේ.”
“ඒ මොකෝ හදිස්සියක්ද?”
“හදිස්සියක් නෙවෙයි කියන්නත් බෑ මියෑව්. ඔයාට මතකද අර මං දවසක් කිව්වෙ ගොඩ්සිලෙක්ව හීනෙන් දැක්කා කියලා. මතකද ඔයාට?”
“ආ….මට මතකයි. අර ඔයා වෙන්ටලින් සිරප් අරං දුන්නා කිව්වේ. තව පිරිටන් එහෙමත් අරං දුන්නේ.”
“අන්න හරි. දැන් ටිකකට කලින් ඒ ගොඩ්සිලා මට කෝල් එකක් දුන්නනෙ මියෑව්.”
“මොකක්!! ඔයාට පිස්සු හැදීගෙන එනවද ඩම් බිරියානි? හීනෙ හිටපු එකා කොහොමද ඔයාට කෝල් දෙන්නෙ? අනික ගොඩ්සිල්ලු දැන් ලෝකෙන් වඳවෙලා ගිහිල්ලනෙ.”
“ඔව් අනේ ඔව්. ඒ වුණාට මේ දැන් මට කෝල් කරලා කිව්වා ඌව දෙහිවල සූ එකේ හිර කරලා, ඇවිල්ලා බේරගන්නයි කියලා.”
“අනේ මන්දා ඩම් බිරියානි. මගේ ඔළුවත් විකාරයි දැන් මේක අහලා. එහෙම දෙයක් වෙන්නෙ කොහොමද? ඔයා ඔය ආයෙ හීනයක් දැකලද දන්නෑ අනේ.”
“මම නැගිටලා හිටියේ. අතත් කොනිත්තගෙන බැලුවා. කෝල් ලොග් එකෙත් තියෙනවා කතා කරපු නොම්මරේ. එයාර්ටෙල් නම්බර් එකක්.”
“ඉතිං ඌට සිංහල කතා කරන්නත් පුළුවන්ද? ෆෝන් එකක් කොහෙන්ද? ඔයාගෙ නොම්මරේ කොහෙන්ද? අනේ මේවා වෙන්න පුළුවන් වැඩද ඩම් බිරියානි? මට නම් අගක්-මුලක් ලිහාගන්න බෑ.”
“මටත් මොකුත් හිතාගන්න බෑ. ඌ යසට සිංහලෙන්ම කතා කළා. ඌට කෑම දාන්න එන මිනිහගෙ ෆෝන් එක හොරකම් කළාලු. නොම්මරේ උගේ ෆෝන් එකේම තිබ්බලු. ඔක්කොටම වඩා වැඩේ ඌ ඒක සේව් කරං ඉදලා තියෙන්න ‘ඩම් බිරියානු මූසලී’ කියලා. කවුද මියෑව් මට එහෙම කියන්නෙ? මං මොන වරදක් කරලද? ඒ මිනිහගෙ නම හොයාගෙන ආයෙ ගොඩ්සිලා මට කෝල් එකක් දෙන්නම් කිව්වා. මම මේ කෝල් එක එනකං ඉන්නෙ.”
“ඒ පාර මොන මඟුලක්ද? ඔයා කාට හරි වරදක් කළාද?”
“මං කාට වරදක් කරන්නද අනේ? අනික මේ දෙහිවල සූ එකේ ගොඩ්සිල්ලුන්ට කෑම දාන මිනිහෙක්ට මං මොනා කරන්නද?”
“ඒකත් හැබෑව. මං එන්නම් හවසට.”
මියෑව් ෆෝන් එක තිබ්බට පස්සේ මම ආයෙ මිදුලට ගියා පොකුණෙ තත්ත්වෙ බලන්න. වළ හාරලා ඉවරයි. දැන් ඒකට මැටි දාල ද කොහෙද තලලා. ඊට උඩින් කළු ඉටි රෙද්දක් දාලා වටේට ගල් තියලා හෝස් එකකින් අයියා වතුර පුරෝනවා. තාරකා සුපවයිසර් කෙනෙක් වගේ වටේ ඇවිදිනවා. අම්මා තාරකාට මල් පැළ ගැන කියලා දෙනවා. රෝස පැළ එහෙම කෑවොත් බලාගෙනයි කියලා අවවාදත් කළා.
මේ ගෙදර ඔක්කොටම එකපාර පිස්සු හැදිලද දන්නෑ කියලා ඒ පාර මට හිතෙන්න ගත්තා. මට දැන් බයයි ෆෝන් එක රිංග් වෙනවා ඇහුණත්. ගොඩ්සිලා ආයෙ කතා නොකරනවා නම් හොඳයි කියලා මට ඊට පස්සෙ හිතෙන්න ගත්තා. මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයිනෙ එතකොට. දැන් ගොඩ්සිලා කියපු විදිහට අර මිනිහා ඌට ගහලා ෆෝන් එක අරගෙනද දන්නෑ. පැයෙන් පැයට නින්ද යන බෙහෙත් දෙනවා කිව්වනෙ. දැන් බෙහෙත විදලද දන්නෑ. එහෙම වුණොත් ගොඩ්සිලාට සිහි නෑනෙ මට කෝල් කරන්න. ඊට එහා අර උගේ ළඟ ඇඹරි, ඇඹරි හිටපු ටීරෙක්ස් කෙල්ල කෝ දන්නෑ. මට ඒක අහන්න අමතක වුණානෙ. උගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලනෙ කිව්වෙ. සංසාරේ කෙල්ලව මරල ද දන්නෑ.
දැන් ආයෙම ගොඩ්සිලා කෝල් කළොත් විතරක් අම්මගෙන් ආයුධ ගැන අහනවා කියලා මම හිතාගත්තා. තව මම දන්න චණ්ඩි ගැනත් මතකය අලුත් කරගත්තා. මේ වගේ වැඩකට කාගෙන් උදව් ඕන වෙයිද කියන්න බෑනෙ ඉතිං.
ඔය අතරේ මෝටර් සයිකලේක සද්දෙකුත් ආවා. මේ වෙලාවෙ කවුරු එනවද කියලා හිතමින් එළියට යද්දි මියෑව් එනවා හෙල්මට් එකත් උඩ දදා.
“මං ෂෝට් ලීව් එකක් දාලා ආවා.” මියෑව් හරිම සැහැල්ලුවෙන් වගේ එහෙම කිව්වා. ඊට පස්සෙ පොකුණයි, තාරකායි, ඌට උපදෙස් දෙන අම්මයි, ළිඳෙන් පාසි අරවා, මේවා අරං දාන අයියයි දැකලා එකතැන නතර වුණා.
“මේ මොකද?”
“අපිට තාරකා ඉබ්බෙක් හම්බවුණානෙ. මං ඌට පොඩි පොකුණක් හැදුවා. මරු නේද බං? උඹටත් ඕනෙද ඉබ්බෙක්?”
“පොකුණ නම් මරු. මට ඉබ්බෝ එපා. අපේ බල්ලො දෙන්නා ඉබ්බව එක රැයින් ඉවර කරලා දාවි.”
අම්මා තාමත් තාරකාට තහනම් දේවල් ගැන පහදනවා. බලාගෙන ගියාම ඌට උගේ පොකුණෙයි, උඳුපියලිය ගොල්ලෙයි ඇරුණම ඉන්න වෙන තැනක් නෑ වගේ. ඇයි අනිත් හැම තැනම අම්මගේ මල් පැළ හිටෝලනෙ.
මියෑව්ව ගෙට එක්කගෙන යනවත් එක්කම මගේ ෆෝන් එක රිංග් වෙන්න ගත්තා.
මතු සම්බන්ධයි…