kanchana amilani
7 min readMay 26, 2024

ඩම් බිරියානි•

Viii. ගොඩ්සිලා වස්තුව• [ ii කොටස ]

“හෙලෝ…..හෙලෝ… නංගී මම ගොඩ්සිලා අයියා.”
ඒ පාර වෙන ෆෝන් නම්බර් එකකින් කතා කරනවා. මං ඔක්කෝටම ඇහෙන්නත් එක්ක ලවුඩ්ස්පීකර් දැම්මා. කොටින්ම තාරකාත් ආවා ගොඩ්සිලාගෙ සද්දෙ ඇහිලා.
“මේ මොකද වෙන නම්බර් එකක්? කෝ කලින් කතා කරපු ෆෝන් එක?”
“නංගි කියපු විදිහට අරූ මට ගහලා ෆෝන් එක ගන්නකං නොඉද මම ඌට පයින් පාරක් ගහලා මරලා දැම්මා. ඌට පයින් ගහපු පාරෙ සැරට ෆෝන් එක වීසි වෙලා කුඩු වුණා. මං ඉතිං කූඩුව ළඟින් යන වෙන එකෙක්ගෙ බෙල්ලෙං අල්ලං හොල්ලලා ෆෝන් එක උදුරගත්තා. උං එවෙලෙම මට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දුන්නා. දැන් මට ගාණක්වත් නෑ ඒවා නං.”
“එතකොට මගෙ ෆෝන් නම්බර් එක මේ ෆෝන් එකෙත් තිබ්බද?”
“නෑ. නෑ. නංගිනෙ මගේ ගැලවුම්කාරි. ඉතිං මං නංගිගෙ නම්බර් එක කටපාඩම් කරගත්තා.”
ඒත් එක්කම අපේ අයියා මැද්දට පැන්නා.
“උඹ ඇත්තම ගොඩ්සිලෙක්ද බලන්න ගනිං වීඩියෝ කෝල් එකක්.”
“ඒ කවුද නංගි?”
ගොඩ්සිලා කටහඬ පහත් කරලා ඇහුවෙ හරිම මනමාල විදිහට.
“ඒ අපේ අයියා. ඔයා ඇත්ත ගොඩ්සිලෙක් කියලා කවුරුත් විස්වාස කරන්නෑ. ඒකයි එහෙම කියන්නෙ.”
“අයියෝ සුළු වැඩක්නෙ. ඉන්න ඩිංගක්.”
තප්පර ගාණෙන් ගොඩ්සිලා වට්සැප් වීඩියෝ කෝල් එකක් ගත්තා. අම්මා ගොඩ්සිලාව දැක්ක ගමන් පස්සෙන් පස්සට ගියා. තාරකා උපරිම වේගෙන් එක තැන දුවන්න ගත්තා. අයියට ‘අම්මටසිරි’ කියලා කියවිලා අතේ තිබ්බ මුල්ලුව බිම වැ‍ටුණා. මියෑව් හිටි පියවර කට ඇරන් මගේ දිහා බලං උන්නා.
“ඒකනෙ මං කිව්වෙ.”
මට ඉතිං අවංකෙන්ම සතු‍ටුයි. ගෙදර අය වගේම මාව දන්න හැමෝම හිතන්නෙ මගේ ඔළුව නරක් වෙලා කියලා. ආයෙ එහෙම වෙනම නරක් වෙන්න දෙයක් නෑ. මේ සාමාන්‍ය විදිහ කියලා දැන්වත් මේ අය විස්වාස කරාවිනෙ. ගොඩ්සිලා ඉතිං කිසි ගනිච්චියක් නැතිව විසාල යකඩ කූඩුවක හිරවෙලා උන්නා. ඒකෙ එහෙට මෙහෙට හැරෙන්න පවා අමාරුයි. ගොඩ්සිලාගෙ ලුමිනස් කොළ පාට ආයෙ ඇවිල්ලා. හැබැයි නහයෙන් හොට්ටක් වැක්කෙරෙනවා. බෙඩ්ෂීට් එකක් තියං සැරින් සැරේ ගොඩ්සිලා අයියා හො‍ටු පිහිනවා.
“ගොඩ්සිලා අයියේ, අර කලින් කෑම දාපු මිනිහගේ නම අහගත්තෙ නැද්ද ඉතිං?”
“මං උගෙන් ඇහුවා. ඌ කීවෙම නෑනෙ නංගි. ඒකෙ තරහටත් එක්ක තමයි මං ඌට පයිං ගැහුවෙ. නංගි කලබල,වෙන්න දෙයක් නෑ, මං ඌට දඬුවම කලිංම දුන්නා.”
අයියා බිම වැ‍ටුණු මුල්ලුව ආයෙ ඇහිදගෙන ගොඩ්සිලා පැත්තට හැරුණා.
“කවුද ගොඩ්සිලෝ උඹව හිරකරං ඉන්නෙ? ඔය කූඩුව කඩං එන්න බැරිද? කෙළින්ම දෙහිවලට ඇවිත් එතැනින් කළුතර පැත්තට එන්නයි තියෙන්නෙ.”
“අනේ මේ අයියෙ, ඔයාට තේරෙන්නැද්ද? මට සිහි නැතිවෙන්න පැයෙන් පැයට බෙහෙත් විදිනවා. විනාඩි පහක්, දහයක් වගේ තමයි හොඳ සිහියෙන් ඉන්න තියෙන්නෙ. ඒ වෙලෙයි මං මේ කෝල් එක ගත්තෙ. ඔයාලා ඇවිත් මාව බේරගන්න.”
ඒ පාර ගොඩ්සිලා නෝක්කාඩුවෙන් වගේ උත්තර දෙන්න පටන් ගත්තේ. එකාතකින් හරි කෙළියක්නෙ. අපි ගොඩ්සිලාගෙ නෑදෑයොද? යාළුවොද? ඔ‍ෆිස් එකේ ඈයොද? එකට ට්‍රේන් එකේ ගිය ඈයොද මෙහෙම බැඳීමක්-වගකීමක් කරට ගන්න.
“මේ ගොඩ්සිලා අයියේ, දෙහිවල සූ එකට පැනලා ගොඩ්සිලෙක් පන්නං යන එක සෙල්ලං වැඩක් කියලා හිතන්නෙපා. අහුවුණොත් අපිව ජීවිතාන්තෙ දක්වාම හිරේ දාවි. රජයේ දේපළ විනාශ කිරීම, දුර්ලභ-වඳ වූ සතුන් හොරකම් කිරීම වගේ කෑලි දාලා අපිව එවෙලෙම අත්අඩංගුවට ගනී.”
“මගේ ඔළුව බරයි නංගී. බෙහෙත වැඩකරනවද කොහෙද. මං තියන්නම් එහෙනං.”

ගොඩ්සිලා ෆෝන් එක තිබ්බා. අපේ ගෙදරම මීක් සද්දයක් නෑ. මුලින්ම අම්මා කතා කරන්න ඉදිරිපත් වුණා.
“ඒ මොකෙක්ද පුතේ? හරි බයානක සතෙක්නෙ. උඹලා කොහොමද එහෙම එකෙක්ව අඳුනන්නෙ?”
“මං අඳුනන්නෑ. ඔය අම්මගෙ දුවනෙ අඳුනන්නෙ.”
‘ඩම් බිරියානි, අපි දැන් මොකද කරන්නෙ? ගොඩ්සිලාව බේරගන්න දෙහිවල සූ එකට යනවද?”
“අනේ මන්දා මියෑව් මියෑව්. මට දැං බයත් වගේ.”
මම ළඟ තිබ්බ පු‍ටුවක වාඩිවෙලා පොතකින් පවන් ගහගත්තා. පුදුම ගිරීස්මයක්නෙ. මං හිතන්නෙ මං බය වෙලා.
“ඩම් බිරියානි, මේ අහන්න! ඕකට මැදිහත් වෙන්න යන්නෙපා. පේනවා නේද උගේ සයිස් එක.”
අම්මා බොහොම සංයමයෙන් මට කරුණු පහදන්න පටන් ගත්තා. අයියත් ඒක අනුමත කරන ලීලාවෙන් ඔළුව වනන්න වුණා. මියෑව් පවා එකඟතාවෙන් ඔළුව හෙලෙව්වා. මං ගොඩ්සිලාට වචනයක් දුන්නනෙ ඌව බේරගන්න එනවා කියලා. වචනෙ කඩකරන්නෙ කොහොමද? ඒත් අපේ ගෙදර කවුරුත් මේකට සම්බන්ධ වෙන්න කැමති නෑ වගේ. කොටින්ම මියෑව් පවා මේ වැඩේට මනාපයක් නෑ කියලා මට තේරුණා.

ඒත් අරහෙ සූ එකේ කුඩුවක ගොඩ්සිලෙක්ට මැරෙන්න දෙන්න පුළුවනෑ!! මොන ජංජාලෙ කරලා හරි මං ඌව බේරගන්නවා කියලා හොඳින් හිතට ගත්තා. දැන් මගේ තීරණේට ගෙදර අය නම්මගන්නයි ඕනෑ. මුලිංම මම තක්බීර් වෙලා හිටගෙනම කූල් වතුර බොන මියෑව් මියෑව් දිහාට හැරුණා.
“මේ අහන්න මියෑව් මියැව්, අපි කොහොමින් හරි ගොඩ්සිලාව බේරගන්නෝනා. ඔයා නාවොත් මං තනියෙං හරි යනවා.”
මියෑව් මියෑව්, අපේ අම්මා, අයියා ඇස් නළලට අරං මගේ දිහා බලං උන්නා. වෙනදට ඕනා ගොං තකතීරු වැඩකට එකපයින් කැමති වෙන මියෑව් මියෑව් මෙච්චර බය වුණේ කොහොමද මන්දා!! ගොඩ්සිලා බයානක තමයි. ඒත් ඌ දැන් කරදරේක වැටිලනෙ ඉන්නෙ.
මියෑව් මියෑව් වෙනුවට මැද්දට පැන්නේ අපේ අම්මා.
“ඩම් බිරියානි මේ අහපං ළමයා, ඔය බයානක සතා එක්ක සෙල්ලං තියාගන්න එපා. ඔය ළමයගෙ අනුකම්පාව මෝඩ එකක්. අනික අපිට රජයට විරුද්ධව යන්න බෑ. අපි දෙහිවල සූ එකට පැන්නා කියන්නෙ නීතිවිරෝධී වැඩක්. ඔය වැඩේ නවත්තලා දානවා හොඳයි. මං ආයෙ නරක ගෑනියි කියන්නෙපා පුතේ!!”
“ඒ වුණාට අම්මේ…”
“වහපං කට. ඔය බයානක යස්සයා මළාවෙ. යන්නෑ ඌව බේරන්න. අනික මේ මියෑව් මියෑව් ළමයට ගෙදර යන්න ඇරපං. කාගෙ හරි දරුවෙක්නෙ. බලෙන් ඔව්වට ජෝඩු කරන් යනේක වැ‍රැදියි.”
අයියා නැවතිල්ලේ කතාව පටං ගත්තා.
“ඩම් බිරියානි, ඕකා ඇත්ත එකෙක් වෙන්න බෑ. ගොඩ්සිල්ලු දැන් ලොවෙත් නෑ. ඕකා කවුරුහරි බොරුවට හදපු එකෙක්. ඔයාව මොකක් හරි රියලිටි ෂෝ එකකින් රවට්ටන්න කරන වැඩක් ඔය. අපි ඕකට අහුවෙන්න නරකයි. තේරුණාද?”
“එහෙනං අර වීඩියෝ කෝල් එකක් ගත්තෙ? දැන් ඔයාලා ඔක්කොම දැක්කනෙ අනේ ඒක.”
“ඒවා දෘෂ්ටි මායා වෙන්න පුළුවන්. අපි කල්පනාවෙන් වැඩ කරන්නෝනා. ඕවා ඩීප් ෆේක් ද දන්නෑනෙ.”
මං සෝ තැවුලෙන් ඔළුව බිමට බර කරන් ඉන්න අතරේ මෙන්න ආයෙ කෝල් එකක් එනවා කලින් නම්බර් එකෙන්ම. දෙපාර රිංග් වෙද්දි මම ආන්සර් කළා.

“ඩම් බිරියානි නංගි, මේ මම ගොඩ්සිලා අයියා. මං එවෙලෙ බොරුවට බය වෙලා තියෙන්නෙ. තාම බෙහෙත වැඩ නෑ. පීනසට කොහෙද ඔළුව බරයි. ඔයාලා දැන් කොයි හරියෙද? එන ගමන්ද? දෙහිවලට ළං කරලද?”
“නෑ. නෑ. අපි තාම ගෙදර. මට අපේ ගෙදරින් ඔයාව බේරගන්න යන්න එපාලු. ගෙදර කවුරුත් එන්නත් බෑ කියනවා. අනේ සොරි ගොඩ්සිලා අයියා. මං අසරණයි.”
“ඉන්නකො, ඉන්නකො.” කියලා වොයිස් කෝල් එක කට් කරපු ගොඩ්සිලා වීඩියෝ කෝල් එකක් ගත්තා.
“ගෙදර ඔක්කොටම කතා කරන්නකො නංගි.” කියලා ගොඩ්සිලා බිමින් වාඩිවුණා. අම්මයි, අයියයි, මියෑව් මියෑවුයි එක රංචුවට ඇවිත් මගේ පිටිපස්සෙන් එබුණා. වාසනා ආවෙ නෑ.
“දැන් මේකයි අම්මේ වැඩේ!! මම සමාන්තර ලෝකෙකින් ආව එකෙක්. මැෂින් එකක පොඩි අවුලක් වෙළයි මට මෙහෙට එන්න වුණේ. අපිට එන්න නියමිත තව අවුරුදු විස්සකින්. ඒ ඇවිල්ලා පෘථිවියට වැඩේ දෙන්නයි තියෙන්නේ. අයියේ ඇහෙනවද මම කියන එක? දැන් ඔහේලා මාව බේරලා ඇරියොත් මට ඔය අවුරුදු විස්සෙන් මෙහේ එන වැඩේට වංගුවක් ගහන්න පුළුවන්. මට ඔය අගහරු හරි සිකුරු හරි පැත්තට වැඩේ නවාගන්න පුළුවන්. අනික මං ඔහෙලට හොඳට සලකනවා. මතකනෙ ක්ලාක් කෙන්ට්ව? සුපර් මෑන් අනේ. සුපර් මෑන්. එයාව බේරගත්තෙත් මිනිස්සුනේ. ඒ වගේ ඔහේලා දැන් මාව බේරගන්න. මියෑව් මියෑව් මං කියන එක තමුන්ටත් තේරෙනවා නේද? මං ඔහේලව රජවරු, සි‍ටුවරු කරනවා. කිව්වොත් කිව්වා තමයි මේ ගොඩ්සිලා අයියා. රන්, රිදී, මුතු, මැණික් ඕන එකක් මට ඔහෙලට ගෙනැත් දෙන්න පුළුවං. මාව ඇවිත් බේරගන්නවකො ඕයි!! කිව්වම අහලා එනවකො.”

ඒ පාර අපේ ගෙදර අයගෙ මූණු වෙනස්වෙලා දිස්නෙ ගහන්න පටන් ගත්තා. අම්මත් කණ්ණාඩි ගලවමින්, ආයෙ දාමින් නොසන්සුන්කමින් එහේ-මෙහේ ඇවිද්දා. අයියා කකුල් දෙක පු‍ටුව උඩට අරං වාඩිවෙලා රවුල අතගගා කල්පනාවට වැ‍ටුණා. මියෑව් මියෑව් තව කූල් වතුර බෝතලයක් බිව්වා.
“අයියේ මොකෝ කියන්නේ? යංද? ගිහින් අර මළ යස්සයව බේරගමුද?”
මියෑව් මියෑව් හෙල්මට් එක බඹරයක් වගේ පොළොවෙ කරකවමින් අයියගෙන් ඇහුවා. අම්මා ක්ෂණිකව කාමරේට ගිහින් කළු හෑන්ඩ් බෑග් එක අරන් ආවා.
“මයේ ළඟ පිස්තෝලයක් තියෙනවා. ඒකත් අරං යං.”
“අම්මටසිරි!! අම්මට කොහෙන්ද පිස්තෝල?” අයියගෙ කට ඇරුණා. ඇස් එළියට පැන්නා.
“මට අපේ සමිතියෙන් දුන්නා. අර අපේ වීරවර්ධන සමිතිය අනේ. ඒකෙන් දුන්නේ.”
“වීරවර්ධන සමිතියෙන් පිස්තෝලයක් දුන්නා? කොයි පරයද අම්මට ඕක දුන්නේ? ඕක පත්තු වෙනවද? උණ්ඩ දාලද?”
“ඔව්වොව්. ලෝඩ් කරලා තියෙන්නෙ. ඩෝං ගාලා පත්තු වෙනවා.”
අම්මා කිසි ගනිච්චියක් නැතිව කියලා දැම්මා.
“ඕකනෙ මං ඔයාට කලින්ම කිව්වේ අයියේ. කෝ ඇහුවෙ නෑනෙ.”
“අම්මා කාන්තා පාතාලෙට බැඳුණද?”
“මොන සමයංද? මං දන්න කාන්තා පාතාලයක් නෑ අනේ. ඔය අපේ වීරවර්ධන සමිතියෙං දුන්නු පිස්තෝලෙ.”
“ඉතිං අම්මට මොකටද පිස්තෝල? අනික වීරවර්ධන සමිතියෙ ඉන්නෙ නාකි ඩයල්නෙ. උංට කොහෙන්ද පිස්තෝල? යකෝ මේක හරි කෙළියක්නෙ. හිටපංකො මම සභාපතියගෙන් අහං එන්න මේ ගැන.”
අයියා ෂර්ට් එකකුත් නැතිව එළියට පැනලා බයිසිකලේ පැදගෙන ගියා. අම්මා කිසි ගානක් නැතිව කකුල් වන වන හාන්සි පු‍ටුවෙ ඇළවෙලා උන්නා. මට මේ මොකවත් තේරුම් ගන්න බෑ. අනික දැං ගොඩ්සිලා බේරන්න යන වැඩෙත් පරක්කු වෙනවා.

අයියා ගිය පයින්ම ආවා. හිනා කටයි මූණෙ.
“මේං සභාපතියා මටත් දුන්නා පිස්තෝලයක්. වීරවර්ධන සමිතියේ පරණම සාමාජිකයොන්ටලු මෙව්වා දෙන්නේ. මං ඌව බය කළා අපේ අම්මට පිස්තෝල දුන්න නිසා මං පොලිසියෙ එන්ට්‍රියක් දානවා කියලා. සභාපතියා බය වෙලා මටත් පිස්තෝලයක් දුන්නා.”
“සභාපතියට කොහෙන්ද ඔච්චර පිස්තෝල?” මියෑව් මියෑව් වැදගත්ම ප්‍රශ්නෙ ඇහුවා.
“උංට ඩොනේෂන් එකක් හම්බෙලා.”
“පිස්තෝල ඩොනේෂන්? යකෝ!! කවදා අහපු කතාද?”
“හරි බං. දැං අපිට පිස්තෝල දෙකක් තියෙනවනේ. ඕවා බලමු ගොඩ්සිලාව බේරං ආවට පස්සෙ.”
මං මේවා ඔක්කොම දිහා කට ඇරං බලං උන්නා විතරයි. අම්මපා අපේ ගෙදර මිනිස්සු ඔක්කෝටම පිස්සු තමයි. ඔන්න ආයෙ අර කලින් නම්බර් එකෙන්ම වීඩියෝ කෝල් එකක් එනවා.
“හෙලෝ හෙලෝ….ඩම් බිරියානි නංගි. කෝ ඔයාලා ළඟ හිටපු ඉබ්බා?”
“ඉබ්බාව මේ අද ගෙනාවෙ. උගේ පොකුණෙ ඇති. ඉබ්බව මොකටද?”
“මේකයි ප්ලෑන් එක. ඉබ්බාව සූ එක ඇතුළට ගේන්න පුළුවන්ද? ඔහෙලා ඉබ්බව මගේ කූඩුවට එව්වා නම් ඇති.”
“ඇයි බං ඉබ්බෙක්ව එහෙම ලේසියෙන් එවන්නෙ කොහොමද? ඌ එහෙම ට්‍රේන් කරපු එකෙකුත් නෙවෙයි. මං මේ පාරෙ ඉදලා අරං ආවෙ.”
“අයියේ මේ අහන්නකො, ඔයාට තියෙන්නෙ ඉබ්බව මගේ කූඩුවට අරං එන්න හරි තනියෙම එවන්න හරි. එවන්නෙ හරි අරං එන්නෙ හරි කොහොමද කියලා ඔයාලා හිතන්න. එහෙනම් මං තිබ්බා. බායි!!”
“ඒ මොකක්ද පුතේ අර මළ යස්සයා ඉබ්බව එවන්නයි කියන්නෙ? මරං කන්නද දන්නෑ. යවන්නෙ එහෙම නෑ ඉබ්බව ඕකගෙ බඩ පුරවන්න.”
“අනේ අම්මේ විකාර කියවන්නෙපා. ඌට ඉබ්බෙක් කාලා ඇතිද? ඉබ්බව එවන්න කියන්නෙ මරාගෙන කන්න නෙවෙයි.”
“එහෙනං මොකටද? හොඳයි කියපං පුතේ, ඉබ්බව මොකටද?”
“මරං කන්න නෙවෙයි අනේ, වෙන මොකක් හරි වැඩකට.”
“ඇත්තට අයියේ ඉබ්බව මොකටද?”
“ඌ කියන විදිහට කරමු ඩම් බිරියානි. අපිව රජවරු, සි‍ටුවරු කරනවා කිව්වනේ. මතකනෙ ක්ලාක් කෙන්ට්ගෙ කතාවත්? දැන් අපි ඉබ්බව සූ එක ඇතුළට ගෙනියන විදිහ හිතමු.”
“අපි කියමු මූ දුර්ලභ ඉබ්බෙක් කියලා. සූ එකට බාර දෙන්න ගෙනාවා කියලා.”
“ඒක හරියන්නෑ. මූව දකින ඕන කෙනෙක් දන්නවා ඒක බොරුවක් කියලා. පේන්නැද්ද මුගේ ගැමි පෙනුම. කිසිම දුර්ලභ ගතියක් නෑ.”
“එහෙනම් මං ඉබ්බව බඩේ බැදන් යන්නම්.”
“අම්මටසිරි ඩම් බිරියානි!! අන්න ඒකනෙ ගින්දර ප්ලෑන් එක.”
අයියා සතුට වැඩිකමට පිස්තෝලෙ උඩ දදා නැ‍ටුමක් නටන්න ගත්තා.

මතු සම්බන්ධයි.

කාංචනා අමිලානි | twitter | threads | fb | insta |

kanchana amilani

Founder of thinkland | poetess| journalist| Blogger| Writer|