kanchana amilani
5 min readMay 29, 2024

ඩම් බිරියානි•

Viii. ගොඩ්සිලා වස්තුව• [ iii කොටස ]

“දැන් කවුරු කවුරුද යන්නෙ? අම්මත් යනවද?”
“මං නොගිහින් කොහොමද! මං නැතිව කවුද පිස්තෝලෙ පත්තු කරන්නෙ?”
“ඈ බං…මියෑව් මියෑව් එතකොට උඹත් එනවද?”
“නැතුව නැතුව. ඩම් බිරියානි යනවනං මාත් එනවා.”
එක පාරටම දීර්ඝ නිස්සද්දයක් පැවතුණා. අම්මා සැකෙන් වගේ මියෑව් මියෑව් දිහා බැලුවා. ඊට පස්සෙ කට ඇරියා.
“මං මේ අහන්නමයි හිටියේ මියෑව් ළමයො. ඔය ළමයා මොකෝ අපේ දෝනියැන්දෑ පස්සෙම වැටිලා ඉන්නෙ? මොකක් හරි ආදර සම්බන්ධයක්වත් තියෙනවැයි? ඔන්න මම කෙළින්ම ඇහුවා.”
“අනේ මේ පිස්සුද අම්මේ! එහෙම මොකුත් නෑ. අපි දෙන්නා හොඳ යාළුවෝ.”

“හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නලු. මං ප්‍රස්නෙ ඇහුවෙ මියෑව් මියෑව් ළමයගෙන්. ඩම් බිරියානිට මොකෝ ඒකට ඩෝං ගියේ?” ඒ පාර අම්මා සෙල්ලක්කාරෙන් අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලනවා. මියෑව් මියෑව්ගෙ කන් රතු වෙලා. ඒ මදිවට බිම බලාගෙන.
“අනේ අම්මේ මේ ඕවා පස්සෙ බේරගන්න. දැන් යං අරූව බේරගන්න. කෝ තාරකා? අන්න අරහෙ ගිහින් ඉබ්බව හොයං එන්නකො අම්මේ.”
“මං මොකටද උඹේ ඉබ්බව හොයන්න යන්නෙ? උඹට ඕන්නං ගිහිං ඉබ්බා හොයං වරෙං. මේ වැඩේ මගේ උවමනාවට කෙරෙන එකක් නොවෙයිනෙ.”
“හැම වැඩටම පංගුපේරු එපා අම්මේ.”
“ඒකම තමයි මමත් කියන්නෙ. උඹ ගිහිං උඹේ ඉබ්බව හොයං වරෙං.”
අයියා ‘පු‍ටු-පු‍ටු’ ගගා ඉබ්බව හොයන්න ගියා. මියෑව් මියෑවුත් ඒ පස්සෙන් වැ‍ටුණා. අම්මා සෙල්ලක්කාර ලීලාවෙන් හාන්සි පු‍ටුවෙ දපලා කකුල් වනනවා. ඒ අස්සෙ සිංදුවකුත් උරුවම්බානවා.

“මේං ඉබ්බා.”
අයියා තාරකාව මට ගෙනැල්ලා දුන්නේ නාට්‍යයක සීන් එකක් වගේ අමුතු විදිහකට. තාරකා ගල් ගෙඩියක් වගේ ඔහේ උන්නා. ඒත් මේකව මෙහෙම බඩේ බැඳගන්න බෑනෙ. දගලන්න ගනී සැරෙන් සැරේ.
“මූට නින්ද යන්න බෙහෙතක් පොවන්න වෙයි නේද?”
“ඔව්. පිරිටන් සිරප් පොවමු. ඊට කලින් ඇඳුම් ඇඳන් ලෑස්තිවෙන්න. ගෙදරට ඇඳන් ඉන්න ඇඳුම් කෑලි දෙහිවලට යන්න හරියන්නෑනෙ.”
අම්මා සු‍ටුස් ගාලා නැගිටලා කාමරේට දුවලා කොළ, කහයි, සුදුයි අමුතු ගවුමක් අරන් බාත් රූම් එකට රිංගුවා. ඒ යන ගමන්; “ඩම් බිරියානී….විජහට ඇඳුමක් දාගන්න. මං තප්පර පහෙන් එනවා.”
අයියගෙ අතට ඉබ්බව දීලා මං අඳින්න ඇඳුමක් හොයන්න ගියා. ටිකක් බාච්චු වගේ ටීෂර්ට් එකකුයි කොට්න් කලිසමකුයි අඳින්න අන්තිමට තීරණය කළා. කිව්වා වගේ අම්මා තප්පර පහෙන් ලෑස්ති වෙලා. ඒ අතරේ අයියයි, මියෑව් මියෑවුයි ඉබ්බට පිරිටන් සිරප් පොවනවා. අයියත් ඩෙනිමකුයි, ටීෂර්ට් එකකුයි ඇඳගෙන. මියෑව් මියෑව් කොහොමත් ඔ‍ෆිස් එමින් ගමන් ආපු එකේනෙ. එයා මූණ හෝදලා කොණ්ඩෙ පීරගෙන පාටයි. මං ලෑස්ති වෙලා එද්දි, ඉබ්බාව පු‍ටුවක් උඩ හැලහොල්මනක් නැති ගානෙන් බාවලා තිබ්බා.
“ඉබ්බව රෙද්දක ඔතලා බඩේ බඳිමු නේද?”
අයියා ප්‍රස්නෙ අහලා අයියම උත්තර දුන්නා. “නෑ. එක්කො දැන්ම මූව බඩේ බැඳලා හුස්ම ගන්න බැරිව සෙත්තපොච්චි වෙයි. අපි සූ එක ළඟට ගිහින් මූව බඩේ බඳිමු.”
“අනේ මේ අයියේ රෙදි උස්සං පාරෙදි ඉබ්බොන්ව බඩේ බැඳගන්න මට බෑ. මොන ලැජ්ජාවක්ද?”
“හරි එහෙනම් මං ඌව බඩේ බැඳගන්නම්කො.” එහෙම කියපු අයියා ඇඳන් හිටපු ඩෙනිමයි, ටීෂර්ට් එකයි මාරු කරලා ලොවි සරමකුයි, බාච්චු ටීෂර්ට් එකකුයි ඇඳන් ආවා.

සූ එක ඉස්සරහා සූ ගාලා සෙනග. අයියයි, මියෑව් මියෑවුයි කඩයක් අස්සට රිංගලා ඉබ්බව බඩේ බැඳන් ආවෙ පුදුම ඉක්මනට. හැබෑට ඕක මං කරන්න උන්නා නම් මේ සම්මජ්ජාතියට කරන්න වෙන්නෑ. අම්මා කිසි ගානක් නැතිව අර කළු පාට හෑන්ඩ් බෑග් එක වන-වන පෝලිමේ ඉන්නවා. මට එතකොටයි ඒක ඇතුළෙ තියෙන පිස්තෝලෙ ගැන මතක් වුණේ. එතකොට අපේ අයියට සමිතියෙ සභාපතියා දුන්නු පිස්තෝලෙ කොහෙද? මේ හදිස්සියෙ ඒවා අහන්නත් බැරි වුණා.
කිසි කරදරයක් නැතිව අපි දෙහිවල සූ එකට ඇතුළු වුණා. අයියා බඩ තඩි මිනිහෙක් වගේ ‘වාසනාව’ බඩේ බැඳන් කකුල් ඈතින් තිය-තිය ඇවිදිනවා.
“ඩම් බිරියානි!! කෝ කොහෙද ගොඩ්සිලාව හිර කරන් ඉන්න කූඩුව තියෙන්නෙ? කෝල් එකක් අරං ප්ලෑන් එක අහන්න. අපි ඇතුළු වෙලා ඉන්නෙ කියන්න.”
මං සියක්කාරයෝ ඉන්න හරියෙ තිබ්බ අරලිය ගහක් අස්සට ගිහිං ගොඩ්සිලාට කෝල් එකක් ගත්තා. එක පාරයි රිංග් වුණේ ආන්සර් කළා.
“හෙලෝ නංගි, ඔයාලා කොහෙද?”
“අපි ඇතුළේ. සියක්කාරයොන්ගෙ කූඩු හරියෙ. කොහෙටද එන්නෝනා? මොකක්ද ප්ලෑන් එක?”
“මින් මැඳුරට එන්න. මාව හිර කරලා තියෙන්නෙ මින් මැඳුර කෙළවරේ. ප්ලෑන් එක මේකයි නංගි. ඔයාලා මින් මැඳුර කෙළවරටම ආපු ගමන් එතන තියෙන තඩි කූඩුවට ඉබ්බව දාන්න. මං ඉන්නෙ එහා කූඩුවේ. ඒක පිටට පේන්නෑ. ඒත් මට අත දාලා ඉබ්බව ගන්න පුළුවන් තරමෙ සිදුරක් හදලා තියෙන්නේ. හරියටම වම් කෙළවරේ මුල්ලෙන් පේන සිදුර ළඟින් ඉබ්බව තියලා මට මිස් කෝල් එකක් දෙන්න. මං ක්ෂණිකෙන් අත දාලා ඉබ්බව ගන්නම්. හරිද?”
“හරි. හරි. එතකොට ඉබ්බව අරං මොකද කරන්නෙ? කොහොමද බේරිලා එළියට එන්නේ?”
“මගේ ළඟ පොඩි එවුන් ලොකු කරන මැජික් පෝෂන් එකක් තියෙනවා. ඒක ඉබ්බට පොවාගන්න විතරයි තියෙන්නෙ. ඌට කියලා කූඩුව කඩෝගෙන මං එළියට එන්නං.”
“බුදු සන්තෝ!! ඊට පස්සෙ?”
“ඊට පස්සෙ මං ඉබ්බා එක්ක ඩම් බිරියානි නංගිලෑ ගෙදර එන්නම්. ඔයාලා ඉබ්බව කූඩුවට දාපු සැනින් ගෙදර යන්න. තේරුණාද?”
“තේරුණා. තේරුණා.”
“එහෙනං බායි නංගී. අපි ඉක්මනින් එළියෙදි හම්බවෙමු.”

ගොඩ්සිලා ෆෝන් එක කට් කළාට පස්සෙ මගේ හිස බමන්න ගත්තා. මළ විජ්ජුම්බරයයි වෙන්න යන්නේ. ඒත් දැන් මේකෙන් ගැලවීමකුත් නෑ.
“කෝල් කළාද? මොකෝ ඌ කිව්වේ?”
අයියා සිහියක් පතක් නැතිව ප්‍රශ්න අහනවා. මං ගොඩ්සිලා කියපුවා ඔක්කොම අයියටයි, මියෑව් මියෑව්ටයි, අම්මටයි කිව්වා.
“යකෝ එතකොට අපි ගෙනාපු තුවක්කු පත්තු කරන්නෙ නැද්ද?”
අයියා බොහොම කම්පාවෙන් ඇහුවා. අම්මත් කළු බෑග් එකට අත දාගෙනම සෝකෙන් උන්නා.
“ඌ කියන විදිහට කරමු අයියේ. ඔය කියපු විදිහට අවධානමත් අඩුනෙ. ඉතිං කොච්චර හොඳද?”
මියෑව් මියෑව් බොහොම සාමකාමී විදිහට කිව්වා. ඒකෙත් ඇත්තක් නැතුව නෙවෙයි. වීරවර්ධන සමිතියෙං දුන්නු තුවක්කු පත්තු කරං මෙතන ජල්ලි අල්ලනවට වඩා ඒක ඇඟට ගුණනේ. අනික අපේ අම්මා මොනවා කරයිද කවුද දන්නෙ? අපි කාගෙ හරි පැත්තට හරෝලා ඕක පත්තු කළොත් කාට කියන්නද?

අයියා මින් මැඳුරට ගිහිං ගොඩ්සිලා කියපු කූඩුව ළඟින් ඉබ්බව තියලා මිස් කෝල් එකක් දුන්නා. සැනින් ආපිට ආවා. අපි එක මවකගෙ දරුවො වගේ සූ එකෙන් පිට වුණා. වැඩිය රස්තියාදු නොවී පික්මී එකක් දාං අපි ගෙදර එන්න ආවා.
ඒත් මට නම් හිතට මොකක්දෝ වගේ ආවට.
“අයියේ බ්‍රේකින් නිවුස් එහෙම දෙනවද කියලා ෆෝන් එකෙන් බලන්නකො.”
“අම්මටසිරි!! දෙනවා ඇති තමයි.” කියපු අයියා නිවුස් බලන්න ගත්තා.

“මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්!! දෙහිවල සත්වෝද්‍යානය ඇතුළත හදිසි තත්ත්වයක් වාර්තා වෙමින් පවතිනවා. අති විශාල සත්වයන් දෙදෙනෙක් කූඩු කඩමින්, සතුන්ව බිය කරමින් දුවන අන්දම රූපරාමුවලින් දැකගත හැකියි. එක් සතෙක් යෝධ තාරකා ඉබ්බෙක් වන අතර, අනෙකා ගොඩ්සිලා ලෙස හඳුන්වන සත්වයා බව තහවුරු කර තිබෙනවා. මේ වන විට මේ සතුන් දෙදෙනාම දෙහිවල ගුවන් පාලම ප්‍රදේශයට ළඟාව ඇති බව පැවසෙනවා. එසැනින් හදිසි තත්ත්ව විස්තර දැනගන්න අප සමඟම ‍රැඳී සිටින්න.”

“අම්මටසිරි!! අරුං අපේ ගෙදර එන්නයි දෙහිවලට ඇවිත් තියෙන්නේ. අපි හැංගෙමුද?”
“හැංගිලා මොකටද? අපි අපේ පාඩුවෙ ගෙදර යං. ගිහින් මාරි බිස්කට් කාලා තේ බොමු. අපි මේ මොකුත් දන්නෙ නෑනෙ. ගොඩ්සිලයි, තාරකයි අපේ ගෙදරට ආවොත් අපි යටි ගිරියෙං හූ තියලා බයවෙමු.”

“මෙන්න දෙහිවල සත්වෝද්‍යානයේ තත්ත්වය ගැන නවතම තොරතුරු!!
යෝධ සත්වයන් දෙදෙනා විසින් මිනිසුන් හත් දෙනෙකු මරා ද
මා තිබෙන අතර, ඔ‍ටුවකු, සියක්කාරයන් දෙදෙනකු සහ වලසකුට බරපතළ තුවාල සිදු කර ඇති බවට වාර්තා වනවා. මින් මැඳුරේ අඩකට පමණ බරපතළ අලාභහානි සිදුව ඇති අතර, උරග අංශයේ සිටි විෂ සහිත සර්පයන් හත් දෙනකුද අතුරුදන්ව තිබෙනවා. මෙතෙක් ගණන් බලා ඇති අලාභහානි එපමණයි. එම යෝධ සතුන් දෙදෙනවා දෙහිවල-ගාල්ල ප්‍රධාන මාර්ගය ඔස්සේ ගාල්ල දෙසට වේගයෙන් දිව යන බවත් අපේ ඩ්‍රෝන කැමරාවලට පෙනෙන්නට තිබෙනවා. මේ හේතුවෙන් ගාලු පාරේ වාහන ගමනාගමනය ද මුළුමනින්ම ඇනහිට තිබෙනවා.”

“අපොයි පුතේ!! මේ මොන විනාසයක්ද? දැං අපෙනුත් කට උත්තර ගන්න පොලිසියෙන් එයි. මට නම් බයේ බෑ. අපි දැන් කොයි හරියෙද? ඩ්‍රයිවර් ළමයෝ මේ කොයි හරියද?”
“අපි දැන් වස්කඩුව හරියෙ. තව විනාඩි දහයෙන් නාගස්හන්දියේ.” ඩ්‍රයිවර් ළමයා නිවිසැනසිල්ලෙ උත්තර දෙනවා.
“හොඳ වෙලාවට අපි කලින් ආවෙ. නැත්නම් ගෙදර එනවා වානා.”
අම්මා ගේ ඉස්සරහා වාහනේ නවත්තපු ගමන් දොරෙන් එළියට පැන්න ගානයි. ඊට පස්සෙ පාරට ගිහින් ගොඩ්සිලා එනවද කියලත් විපරම් කළා.
“මේහ්…ඩම් බිරියානි, ගමුකො ගොඩ්සිලාට කෝල් එකක්. අරන් කියමු කෙළින්ම අපේ දිහා එන්න එපාය, එයාලගෙ පස්සෙ ඩ්‍රෝන් එනවා ප්‍රවේසම් වෙන්න කියලා.”
“ඔහෙන් මුහුදට බහින්න කියන්න ඩම් බිරියානි. මුහුදෙන් එන්න කියන්න. ආබෲ පාරෙන් ගොඩ එන්න පුළුවන්නෙ.”
මියෑව් මියෑව් කල්පනාකාරීව මට උපදෙස් දුන්නා.
“යකෝ උඹනෙ දවසකට මිනිහා. ඒක නියම උපදෙස. මුහුදෙන් එන්න කියන්න, මුහුදෙන්.”
මං ටක් ගාලා ගොඩ්සිලාට කෝල් කළා. රිංග් වෙනවා විතරයි, ආන්සර් කරන්නෑ. එකාතකින් කොහේ ආන්සර් කරන්නද! හෝයියට දුවනවනෙ. අනික ෆෝන් එක කොහේ දාන් එන්නද! සාක්කු තියෙනවා කියලයි. ඕන එකක් වෙච්චාවෙ කියලා මම ආයෙ ඩයල් කළා. කට් වෙන්න ඔන්න, මෙන්න තියෙද්දි ඔන්න ආන්සර් කළා.
“ඩ අම්….බිරි ආනි….නංගී….ඊ…ඊ…අපි මේහ් දුවනවා. දුවනවා. හොහ් හොහ්…”
“ගොඩ්සිලා අයියා පොඩ්ඩක් නවතින්න. ගාළු පාර දිගේ එන්නෙපා. ඔයාලා පස්සෙන් ඩ්‍රෝන් එනවා. මුහුදට බහින්න. මුහුද දිගේ ඇවිත් ආබෲ පාරෙන් ගොඩ එන්න. තේරුණාද?”
“මුහුදෙන්….ආ….හරි. හරි…අපි මුහුදෙන් එන්නං. මේ ඉබ්බා හෙන හෙමින් දුවන්නෙ කොහොමත්. පීනං එන එක ලේසියි තමයි. තියන්නම්….බායි නංගී….”

මතු සම්බන්ධයි

කාංචනා අමිලානි | twitter | threads | fb | insta |

kanchana amilani

Founder of thinkland | poetess| journalist| Blogger| Writer|