පණිවිඩ•

kanchana amilani
4 min readAug 25, 2021

“මට මුළු රෑම නින්ද ගියේ නෑ”
පණිවිඩය ආවෙ පාන්දර. පෙරහරක අලියෙක් කුලප්පු වෙලා හැමෝවම චප්ප කරගෙන යනවා කියන ආරංචියක් ලැබුණා වගේ මාව කලබලයට පත් වුණා. ඒක මහ අනවශ්‍ය, මෝඩ කලබලයක්.

ඒත් ඒක ඇතුළේ පුසුඹ හමන රෝස මල් පෙති හැලි, හැලී තිබුණා. මම හරිම මෝඩ විදිහට රෝස මල් පෙති අහුල, අහුල ඉටි කවරෙකට දාගන්න පටන් ගත්තා. විඩින් විඩේ ඒවායෙ පුසුඹ බලන්නත් වෙලාව ගත්තා. ගෙදර හැමෝම මගේ කාමරේට එබෙන්නත්, විස්මයෙන් මගේ දිහාව බලන්නත් පටන් ගත්තා. දොර වහලා දාන්න පුළුවන්කම තිබ්බත් මම එහෙම කළේ නෑ. ප්‍රදර්ශනකාමයද? නෑ; එහෙම එකක් නෙවෙයි. මට කම්මැලි හිතුණා.
එතකොට ඒ පණිවිඩේ ඇතුළු තවත් පණිවිඩ කිහිපයක්ම ඇවිත් තිබුණා. ඒවා වෙනස් මාදිලිවලින් ළඟා වෙලා තිබ්බෙ. වොයිස් මැසේජ්වල තිබ්බෙ පොඩි අනුරාගයක්. ඒ සමහර විට කෙලින්ම කටහඬ සම්බන්ධ නිසා වෙන්න ඇති. ඒත් අකුරුවලට ඊට වඩා පෙරලියක් කරන්න පුළුවන් කියලා මම හැමතිස්සෙම හිතුවා. එක අතකින් ඒක පට්ටපල් බොරුවක්. අකුරු කියන්නෙ අකුරු විතරයි. ඒවාවලින් වර නඟන අදහස්වලට පාටක්, හැඩයක්, බරක් දෙන්නෙ ඒවා පාවිච්චියට ගන්න කෙනා විසින්. ඒ නිසා මං ඒ ඓතිහාසික මුලාව ගැන දෙපාරක් හිතලා වොයිස් මැසේජස් ගැන අවධානය යොමු කළා. ආයෙත් තව ටිකක් හිතුවම, කටහඬ අහන් හිටියම හිතුණා ‘නෑ, ඒවාවලත් ඔය කියන තරම් ඇත්තක් නෑ’ කියලා. පොඩි මවාගත්ත ආදරයක් ඒ වොයිස් මැසේජ් ඇතුළෙන් ගලාගෙන ආවෙ. එතකොට ඇත්ත එක කොහොමද හොයාගන්නෙ? මම රෝස මල් පෙත්තක් කටේ දාගෙන හපන ගමන් කල්පනා කළා.

ඇත්ත කියලා මොකුත් නෑ. හැමදේම සාපේක්ෂයි. කලින් දැනගෙන හිටිය එක, පස්සෙ දැනගත්ත එකත් එක්ක සංසන්දනය කරනවා විතරයි. රෝස පෙත්තක තිබිලා කූඹියෙක්ව හැපෙන්න ගියේ ඔය අතර. මාව ගැස්සිලා ගියා.

“ඔයා හිතන්නෙ අපි ඔක්කොම මේකෙන් මැරෙයි කියලද?”

ඒක මහ පුදුම ප්‍රශ්නයක් නොවුණත් මේ වෙලාව එහෙම ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න ඕනෑ හරිම ප්‍රවේසමෙන්. එයාට කොවිඩ් හැදිලද කියලා මම දන්නෙත් නෑනෙ. අහන්න නම් පුළුවන්; ඒත් මේ වෙලාවෙ ඕන නෑ කියලා හිතුවා. මං කොහොමත් දේවල් අහලා දැනගන්න ආස කෙනෙක් නෙවෙයි; කිව්වොත් අහන කෙනෙක්. ඒකෙ වාසි වගේම අවාසිත් තියෙනවා. ඒත් මම හැමදාම හිතුවෙ විශේෂම දෙයක් ඇරෙන්න අනිත් කිසි දෙයක් අහලා දැනගන්න ඕනෑ නෑ කියලා. ඉතිං මං ඇහුවෙ නෑ. ඒ වෙනුවට ප්‍රශ්නෙට උත්තර දුන්නා.

“නෑ, එහෙම හැමෝවම මැරෙන එකක් නෑ. ටික දෙනෙක් ඉතිරි වෙයි.”

ඊට පස්සෙ ආයෙ ප්‍රශ්න කිසි එකක් ආවෙ නෑ. ඒ වෙනුවට ඇති වුණේ දීර්ඝ නිශ්ශබ්දතාවක්. මම ගියා රෝස මල් පෙති ටික දාපු ප්ලාස්ටික් කවරෙ මේස ලාච්චුවෙ දාන්න.
මේවා එකින් එක වෙන් කරලා මතක තියාගන්නෙ කොහොමද කියලා ප්‍රශ්නයක් දවසක එන්න පුළුවන් තමයි. ඒත් ඒ මතක තියාගන්න පුළුවන් තරම් ගාණක් නිසා එහෙම ලොකු පටලැවිල්ලක් නොවෙන බව මට විස්වාසයි.

“මට සිංදුවක් හොයලා දෙනවද? මේ දැන්ම. හරිම හදිස්සියි.”
“ඔයාට පුළුවන්ද?”

පණිවිඩ දෙකක් එකම කේතයක් වගේ ඇවිත් තිබ්බා. සිංදු හෙවීම කාටත් කරන්න පුළුවන්. මම ඒක හෙවීමෙන් වෙන්නෙ මොකක්ද? ඒ හොයපු සිංදුවත් එක්ක හීන් නූලකින් බැඳෙන එක. ඒවා හිතාමතා කරන දේවල්ද? ඉබේ වෙන දේවල්ද? අවස්ථානුකූලව ඔය දෙවර්ගයම වෙනවා. එකිනෙකාව අදිසි නූලකින් බැඳීම එක්ක පොඩි පහසුවක් වගේම අපහසුවක් එනවා. මම වැඩිය කැමති ඒත් එක්ක එන අපහසුවට. අපහසුවට මුලින් මූණ දුන්නම පහසුව ලොකු හිනා මූණක් එක්ක අපිව හොයන් එනවා.
පැයක් ගියේ නෑ. ඇමතුම් ගාණක් ආවා. වයර් පැටලි, පැටලි කටහඬ උස් පහත් වෙමින් සෘතු ගණනාවක් පහු කරන් යන්න පුළුවන් තරමෙ පරිසරයක් ඇති වුණා.
සමහර සෘතුවල හිම වැටෙනවා. එයා මෆ්ලර් එකක් බෙල්ලෙ ඔතන් ගනකම රතු ජැකට් එකක් දාගෙනයි කතා කළේ. ඒක දැක්කෙ වීඩියෝ ඕන් කළාම. අවට පරිසරය හිමෙන් වැහිලා. ගස්වල කොළ, සුදු පාටින් තිත් තියාගෙන හිටියෙ ඩැල්මේෂන් බල්ලො වගේ. ඒක නොගැලපෙන උපමාවක් වෙන්නත් පුළුවන්. ඒ වුණාට මම කැමතියි එහෙම නොගැලපෙන උපමාවකින් දමලා ගහලා කාගෙ හරි මූණක විමතියක් දකින්න. එයා උණු උණුවෙ කෝපි කෝප්පයක් බොමින් ඇස්වලින් හිනාවෙමින් උන්නා. වතාවක්, දෙකක් නැගිටලා ගිහින් වෙනත් වැඩ කරමින් ආයෙ ආවා. මම එතකොට පසුබිමෙන් පේන්න තිබ්බ ඩැල්මේෂන් බලු ගස් දිහා බලාගෙන විකාරයක් හිතින් මවාගන්න උත්සාහ කළා. ගස් ඔක්කොම සුදු තිත් එක්ක බල්ලො වගේ පැන පැන සෙල්ලම් කරනවා. එකිනෙකාට බුරමින් එලෝගෙන යනවා. ටික වෙලාවක් මෙහෙම දුවනකොට සුදු තිත් වගේ තියෙන හිම ඔක්කෝම වැටිලා ආයෙත් ගස් විදිහට රූපාන්තරණය වෙනවා. ඒක විනාඩි කීපයක ක්ලිප් එකක් වගේ මම ඔළුව ඇතුළේ ප්ලේ කරලා බැලුවා. හැබෑම විකාරයි. එකම පිස්සුවක්!!

‘ඩැල්මේෂන් ගස් බල්ලො’ කියලා ඒකට නම දාන්නත් පුළුවන් කියලා ඊළඟට හිතුවා. මෙහෙම බලන් ඉන්න එක හරි කම්මැලියි කියලා ඊළඟට මට හිතුණා. ඊට පස්සෙ මම කේතලේ ලිපේ තියන්න ගියා. පුටුවෙ නෝට් එකක් අලවලා තිබ්බා.

“මම තේ බොන්න යනවා! ඔයාලගෙ ඩැල්මේෂන් ගස් බල්ලො ටික ඔන්න හැම තැනම දුවනවා. සුදු හිම රවුම් ඔක්කොම හැලුණා.”

මම තේ එකක් හදාගෙන එනකොට එයා මෆ්ලර් එක ඔළුවෙ ඔතාගෙන නිදි. පව් ඇහැරවන එක!! මම කම්පියුටර් එක මෘදුව වැහුවා. ඇහැරුණොත් එහෙම!!
වෙලාව වෙනස්නෙ. මට දැන්ම නිදාගන්න කොහෙත්ම බෑ. ඒක නිකං නීති විරෝධියි වගේ. ඒ නිසා මම පරණ චැට් එකක් කියවන්න ගත්තා. පරණ කිව්වට ඒක එච්චරම පරණත් නෑ. මනුස්ස හිත හරිම විප්‍රකාරයි එක වෙලාවකට. පරණ චැට් කියවනවා වගේ වැඩ වෙන්නෙ එතකොට. අලුත් චැට් එකක් පටන් ගන්න පුළුවන්කම තියෙද්දි පරණ චැට් එකක් ඕපන් කරගෙන කියැවීමෙන් ඇඟවෙන්නෙ අපි කැමති අතීතෙට කියන එකද? අලුත් කියන්නෙ මීට කලින් නොවිච්ච දෙයක් කියලා කියන්නත් බෑ එක වෙලාවකට. හැමදේම කලින් වෙච්ච දේවල් කියලා දවසට කී පාරක් හිතිලා තියෙනවද? මට නම් දවසට දෙපාරක්වත් එහෙම හිතෙනවා.

“ඔයාගෙ ඉතිං ඔළුව හොඳ නෑනෙ!!”

කෙනෙක් නිතර එහෙම කිව්වා. එක අතකින් ඔළුව හොඳ වෙලා මොකටද? ඔළුව හොඳ නැති වුණාම තමයි ලේසිම. ඕන බහුබූතයක් කියන්න, කරන්න පුළුවන්, ලේසියෙන්ම. මං ඒකට යටි හිතින් ආසයි. මං වගේම වෙන අයත් ඇති එහෙම ආස කරන. කෝ ඉතිං වෙන ඈයො ඒක කියන්නෙ නෑනෙ!! බය ඇති සමහර විට. එතකොට බය කාටද? බය ඉතිං තමන්ටම තමයි. බය කියන දේ මූලිකවම ගොඩනැඟෙන්නෙ තමන්ගෙ ඇතුළෙන්මයි. ඒක ප්‍රසාරණය වෙවී අනිත් අයගෙ ඔළුවට පැනලා විසාල වෙනවා. හැමතිස්සෙම වෙන්නෙ ඒක.

“අද රෑටවත් නින්ද ගියොත් හොඳයි!!” ආයෙමත් පටන් ගැන්මෙදි ආපු මැසේජ් එකේ දිගුවක් ලැබුණා.

“අද නින්ද යයි. දැන් ඔක්කොම හරිනෙ.”

කාංචනා අමිලානි• අගෝස්තු 25•

--

--

kanchana amilani

Founder of thinkland | poetess| journalist| Blogger| Writer|