හැපිනස් භූතයා

kanchana amilani
5 min readJul 28, 2021

ඒක හැමෝම වගේ කියන්න පටන් ගත්තා. හැමෝම කියන්නෙ හැමෝම. තැපැල් පියුංගෙ ඉදන් රැජිනගෙ රාජකාරි ලියුං ලියන නිලධාරියා වෙනකන්ම හැමෝම කියන එකට අයිතියි. නලාකාරයෝ, නැට්‍ටුවෝ, පයිප්ප බාස්ලා පවා ඒ ලැයිස්තුවෙ ඉන්නවා. ගිනි නිවන හමුදා භටයෝ, කිමිදුම්කරුවෝ වගේම පාන් බක්කරේලත් ඔය ලැයිස්තුවේ ඉන්නවා. උං ඔක්කෝම එකා වගේ කියනවා නම් ඒක එහෙම වෙන්න ඇති කියලා මමත් හිතුවා.

අපි දවසක් නිකං ජොලියට වගේ එකෙක්ගෙ ඔළුවක් ගලවලා බැලුවා. අපි කිව්වෙ මමයි, තව දෙන්නෙකුයි. ඒත් අපි එකෙක්වත් දොස්තරලාවත්, නර්ස්ලාවත්, ඇටෙන්ඩන්ලාවත් නෙවෙයි. අඩුම තරමෙ අපිට ඊට කලියෙන් වාහනයක් ගලවලා තරමටවත් පුරුද්දක් තිබ්බෙ නෑ. එහෙම පලපුරුද්දක් මේ වැඩේට ඕන වෙයි කියලා අපි හිතුවෙත් නෑ. අපි නිකංම මිනිහෙක්ව එක්කරං ගිහින් ඌව පුටුවක ඉන්දුවා. ඊජීබී ජුංඩකුත් වීදුරුවකට වක් කරලා දුන්නා. මිනිහා අපෙන් මොකුත් ඇහුවෙ නෑ. ඌ ඒක බොන්න ගත්තා. ඊට පස්සෙ මෙහෙම කිව්වා.

“මේහ්…ටීවී එක දාලා දෙනවකො.”
අපි ඉතිං කිව්ව සැනින් ඌට ටීවී එක දාලා දුන්නා.
“අයියේ මේහ්!! සද්දෙ පොඩ්ඩක් වැඩි කරනවකො ඕයි.”
අපි සද්දෙත් වැඩි කරලා ඌටම රිමෝට් එක දුන්නා. ඌ පුරු පුරු ගගා ටීවී බලන්න පටන් ගත්තා. පුරු පුරු ගගා. ඔව් ඕයි ඔව්!! තමුසෙලට පුදුම සැකයක්නෙ තියෙන්නෙ. ඒ මිනිහා පුරු පුරු ගගා ටීවී බැලුවා. ඌ බැලුවෙ 12 නිවුස්. ඊජීබී වීදුරුවත් පොඩ්ඩ පොඩ්ඩ බිව්වා. නෑ, ඌට තව ඊජීබී දාලා දුන්නෙ නෑ. ඌට ඔක්කොම දුන්නම අපි බොන්නෙ මොනාද යකෝ??
කතාව මමයි කියන්නෙ. තමුසෙලා මැද්දෙන් පැනලා විකාර අහන්නෙපා. මේක කියං යන ලතාව පැටලුණොත් ඕං අරූට මොකද වුණේ කියලා තමුන්ලටම තමයි දැනගන්න බැරි වෙන්නෙ.
අපි ගියා ඉතිරි ඊජීබී ටික අරූට නොපෙනෙන්න බොන්න. ගෙදර කවුපි තෙල් දාලා තිබ්බා. අපි හීනි පොල් කෑලි එක්ක කවුපි පිගන්වලට දාගෙන කෑවා. එදා බත් උයලා නෑ. ඇයි දන්නෑ. ඒත් බත් උයලා නෑ.
“දැං මොකෝ කරන්නෙ? අරූට කියලද ඔළුව ගලවන්නෙ?”
“ඔව්. ඔව්. ඌට නොකියා බෑනෙ. කියලා ගලවමු. ඌ බෑ කියන එකක් නෑ.”
“හ්ම්!!”
අපි කටවල් පිහදගෙන එහෙම සාලෙට ගියා. පුටුවෙ වාඩි කරලා ආපු එකා මී හරකෙක් වගේ අඬනවා.
ඔව්!!ඔව්!! මී හරක් අඬනවා. නෑ, අපි දැකලා නෑ අඬන මී හරක්. ඒ වුණාට එහෙම එවුන් කොහේ හරි ඇති. මම දැන් වතාවකුත් කිව්වනෙ. කතාවක ඔක්කොම ඇත්ත වෙන්න ඕන නෑ. බොරු වුණත් ඕන එකෙක්ට කියන්න පුළුවන්. තමුසෙලා හරියට හැසිරෙන්නෙ සම්මජ්ජාතියට බොරු අහලා නෑ වගේනෙ.
ඉතිං අරූ අඬනවා. මී හරකෙක් හරි තලගොයෙක් හරි, මීමින්නෙක් හරි මොකෙක් හරි වගේ.
“මොකෝ තමුන් අඬන්නෙ?”
ඌ අඬනවා. හොටු හූර හූර අඬනවා.
“මොකද යකෝ අඬන්නෙ?”
“මම මොකට ඇඬුවම තොපිට මොකද?”
ඌ රවාගෙනම දොඩෝ දොඩෝ ආයෙ අඬනවා.
“අරූ අඬනවා බං. අඬලා ඉවර වෙනකන් ඉමු.”
අපි ආයෙ කුස්සියට ගියා රටකජු ටිකක් කබලෙ බැදලා ලුණු, මිරිස් කුඩු දාලා කමු කියලා හිතලා. රට කජුත් බැඳං ආයෙ සාලෙට එනකොට අරූගෙ මූණෙ කඳුළු පැල්ලම් විතරයි. ඇස් රතු වෙලා. කකුල් දෙකත් පුටුව උඩට අරං.
“ඔහේ මොකෝ ඇඬුවෙ?”
“ඔහේලා අමනුස්සයොද? අර ටීවී එකේ හිටපු ඔක්කොම ඇඬුවා. බදාගෙන ඇඬුවා. අනුන්ගෙ කඳුළක් දැක්කම ඇහෙන් කඳුළක් නොවැටෙනවා නම් මගේ මනුස්සකමෙන් වැඩක් තියෙනවද?”
“තව බීම නැද්ද අයියේ?”
“නෑ. බීම නෑ.”
මිනිහා ආයෙත් සෑඩ්.
“අපි තමුන්ගෙ ඔළුව ගලවලා බලන්න යන්නෙ. අකමැති නම් කියනවා.”
මිනිහා බීම දාලා දුන්න වීදුරුව දිහා හිස් බැල්මෙන් බලං උන්නා. ඊට පස්සෙ රිමෝට් එක අපි ඉන්න දිහාට දික් කළා. පුටුවෙ හරිබරි ගැහිලා වාඩි වුණා. රණ ශූරයෙක් වගේ පපුව ඉස්සරහට දාලා “හා” කිව්වා.
අපි උගේ ඔළුව ගලවලා බැලුවා. ලොකු අමාරුවක් වුණේ නෑ. උගේ ඔළුව මීට කලිනුත් කීප දෙනෙක් ගලවපු පාටක් පේන්න තිබ්බෙ. ඇණ එහෙම හොඳටම තද කරලා නෑ. ඔයිල් දාලත් නෑ.

ඔළුව ගලවලා සාලෙ එලපු රෙද්දක් උඩින් තියාගත්තා. ඉතිං විස්වාස කරපංකො මේක!!
උගේ ඔළුව ඇතුළේ වෙන කිසි දෙයක් තිබ්බෙ නෑ. සාඩින් ටින් එකක් ඇතුළේ හිර වෙච්ච භූතයෙක් වගේ එකෙක් එළියට පැන්නා.
“කවුද බල්ලෝ මාව එළියට ගත්තේ? මාව ආයෙ ඇතුළට දාපං.”
භූතයා වගේ එකා ටික ටික ලොකු වෙවී කෑගහන්න ගත්තා. ඌ නිකං බබල්ගම් එකක් වගේ. ඇදි ඇදී ලොකු වුණා. අපි නිකං භය බිරාන්ත වෙලා උන්නෙ. මේ මොන හත්තිලව්වක් වුණාද කියලා තේරුම් ගන්න බැරිව අනිත් උං දෙන්නා ගෙදර ගිහිං එන්නද කියලත් ඇහුවා. මං කිව්වා දැන් යන්න එපා. මූ භූතයෙක් වගේ එකෙක්. උගේ වැඩෙයි, මිනිහගෙ වැඩෙයි ඉවර කරමු කියලා. අරුං දෙන්නා දැන් සුදනො වෙලා මේක මගේ වැරැද්දය, අරව මේවා කියවන්න ගත්තා. එක එකාව මේ වගේ වැඩවලට පටලවා ගත්තම තියෙන කරුමෙ ඕක තමයි. පටන් ගන්නකොට සිංහ සෙයියාවෙන් ඉන්න උං පොඩ්ඩ වැරදෙන කොට ඥාව් ගගා පස්සෙන් පස්සට යනවා.
“උඹලට බැරි නම් පලයල්ලා. කොන්ද පණ නැති හැතිකරේ” කියලා උං දෙන්නට බණින්න ගත්තම ටිකක් එක විදිහක් වුණා. අතර මැද්දට සැර කුණුහර්ප දෙක තුනකුත් කිව්වම ඉබේම වැඩේ සෙට්ල් වුණා.
“ගනින් අර මළකඩ කාපු ගිරය. දෙහි ගෙඩියකුත් ගෙනෙං.”
“මොකක් කරන්නද හදන්නෙ?”
“අර පරයගෙ බෙල්ල කපන්න. බෙල්ල කපලා උගේ බෙල්ල දෙහි බෑයෙ ඔබන්න. භූතයොන්ට ඇඹුල් ඇලජික්. උඹලා දන්නෙ නැද්ද ඒක?”
නෑ. උං දන්නෑ ඒක. හැබැයි භූතයා දන්නවා. මෙන්ම ඒ පාර ඌ ඇඹරෙන්න ගත්තා.
“අනේ එපා අයියේ දෙහි ගේන්න. මළකඩ කාපුවායෙන් බෙල්ල කැපුවම ශාන්තිකර්මයක් කරලවත් ගොඩදාගන්න බෑ. ඊට හොඳයි මාව බෝතලේකට දානවා. අනේ එපා අයියේ!!”
භූත පරයා ඒ පාර පින්සෙන්ඩු වෙනවා. උගේ සැර ඔක්කොම බැහැලා. මං කටපාඩම් මන්තරයක් ජප කරන්න ගත්තා. ඒක සීයගෙ පොතක තිබ්බ එකක්. අලි එලවන මන්තරයක් මයෙ හිතේ. අම්මටසිරි!! භූතයා ඒකට බය වුණා කියහල්ලකො ඉතිං. දැන් මට සැකයි මූ ෆේක් භූතයෙක්ද කියලා. ඇයි හත්වලාමෙ අලි එලවන මන්තරවලින් ආණ්ඩු මට්ටු කරන්නෙ අලි මිසක් භූතයොයෑ!!
“ඇත්ත කියපං…උඹ ෆේක් භූතයෙක් නේද?”
“අනේ නෑ අයියේ!! බුදු අයියේ මම ෆේක් එකෙක් නෙවෙයි. මේ බලන්න රෙජිස්ටර් මාර්ක් එකත් බෙල්ලෙ තියෙනවා.”
හැබෑව!! ඉංග්‍රීසි ආර් අකුරක් රවුමක් එක්ක තියෙනවා.
“උඹ අරූගෙ ඔළුව ඇතුළේ ඉදං මොකෝ කළේ? ඔක්කොමත් හරි උඹ මොකටද උගෙ ඔළුව ඇතුළට රිංගුවෙ?”
“මට එහෙම රිංගන්නය කියලා ඉහළින් අණක් ආවා මහත්තයෝ”
“උඹේ නම මොකක්ද?”
“භූතයන්ට මොන නම්ද?”
“තෝ බබාහුකුං පෙන්නන්න ලෑස්ති වෙන්නෙපා. බොරු නොකියා නම කියාපිය”
මං ඕනවට වඩා සැර වුණා. අතේ තිබ්බ ඉස්කුරුප්පු නියනත් පොළොවෙ ගැහුවා.
“මගේ නම හැපිනස්. මම හැපිනස් භූතයා.”
“අම්මටසිරි!! කවුරු දාපු නමක්ද යකෝ ඒක?”
“අපි ක්ලෝන් කරපු භූතයෝ අයියෙ. පොළේ වළං විකුණන්නා හේ එක ගොඩේ දාලා අපිව විකුණන්නෙ. ඔක්කොම එක විදිහයි. මාව දාලා තිබ්බ බොක්ස් එකේ ගහලා තිබ්බේ HPNS 9 කියලා. ඉතිං මං තනියෙං හැපිනස් කියලා දාගත්තා.”
දැන් භූතයා මාර සෑඩ්. චුයිංගම් මූණ ඇකිලිලා. කලින් තිබ්බ ප්‍රෞඩ ගතිය කැලේ. හරිම අසරණ පාටයි.
“හරි. එතකොට කොහොමද තමුසෙලා මිනිස්සුංගෙ ඔළුවලට රිංගන්නෙ?”
අපිව සල්ලි දීලා ගත්ත මහත්තයා තව මහත්තයෙකුට අපිව වික්කා. ඒ මහත්තයා බොක්ස්වලින් අපිව ගලවලා ඇක්ටිවේට් කරලා සෙනග ගොඩක් තියෙන තැනකට විසි කළා.”
“ඊට පස්සෙ?”
“අපි අහුවෙච්ච, අහුවෙච්ච එකාගෙ ඔළුවට රිංගගත්තා.”
“මං අහන්නෙ කොහොමද මිනිස්සුන්ගෙ ඔළුවලට රිංගුවෙ කියලා.”
“කනෙන් රිංගුවෙ”
“කනෙන්?”
“ඔව්. අපි මිනිස්සුන්ගෙ කනෙන් තමයි රිංගන්නෙ”
“ඊට පස්සෙ උංව සතුටින් තියන එක තමයි අපි කරන්න ඕනා.”
“ඒ මොකක්ද බං? උඹලා කොහොමද මිනිස්සුංව සතුටින් තියන්නෙ?”
“අපි මුලිංම උංගෙ ඔළුවල තියෙන ප්‍රශ්න ටික කාලා දානවා. ඊට පස්සෙ දාර්ශනික අදහස් ටික උරලා බොනවා. දේශපාලන අදහස් වගේ ඒවා එක බිංදුවක් ඉතිරි නොවෙන්න පිගානකට දාගෙනම කනවා. තර්ක බුද්ධිය අනංමනං එහෙම යන්තං වගේ ඉතිරි කරනවා. ඒ කියන්නෙ අර වළංවල ගැට්ටෙ යන්තම් තෙල් පැල්ලම් ඉතිරි වෙන්නෙ. අන්න ඒ ගානට. හැබැයි ඉමෝෂනල් වෙන කෑල්ලට අතවත් තියන්නෑ. ඒක තමයි වටින්නෙම.
ඔය ටික කළාට පස්සෙ අපි උංට ටීවී බලන්න කියලා කියනවා. නිවුස් තමයි ආතල්ම. ටෙලි නාට්‍ය දැන් ඒ කාලෙ වගේ නැගලා යන්නෑ. අනික දැං නිවුස් ටෙලියක් ගානට සංවර්ධනය වෙලානෙ. ඉතිං මුං දිගින් දිගටම නිවුස් බල, බල අඬනවා. වෙන මොකුත් වෙන්නෑ.”
“හ්ම්!!”

අපි අරූගෙ ඔළුව ආයෙ හයි කළා. හැපිනස් භූතයවත් ඇතුළට දැම්මා. ඌ මිනිහගෙ කනෙන් රිංගලා එළියට ඇවිත් අපිට තම්බ්ස් අප් එකක් දැම්මා•

කාංචනා අමිලානි• ජූනි 12•විස්සයි විසි එක•

--

--

kanchana amilani

Founder of thinkland | poetess| journalist| Blogger| Writer|