kanchana amilani
7 min readMay 31, 2024

--

ඩම් බිරියානි•

Viii. ගොඩ්සිලා වස්තුව• [ අවසන් කොටස ]

අපි සාලෙ වාඩිවෙලා චීස් කොත්තු කකා උන්නේ. මුහුද පැත්තෙන් යටි ගිරියෙන් කෑගහන, හූ කියන, පොළොව පෙරලෙන සද්දයක් ඇහෙන්න ගත්තා. අයියා මිදුලට පැනලා බලනකොට අම්මයි, මායි, මියෑව් මියෑවුයිත් කෑම පිඟන් පිටින්ම මිදුලට බැස්සා. ‘ලිලී රෙස්‍ටුරන්ට්’ එකේ ‍රැම්සන් අන්කල් සරම කරට අරන් අපේ දෙවටෙන් දුවනවා දැක්කෙ අන්න එතකොටයි. ඊට පිටිපස්සෙන් තවත් මහා සෙනඟක් දුවං එනවා. සමහරු බිම වැටි, වැටි දුවනවා. හැමෝගෙම වගේ ඔළුවෙ ඉඳන් මුහුදු වැලි. එකෙක්වත් මොනවා කියනවද පැහැදිලි නෑ. ‘බබ් බබ්’ ගානවා විතරයි ඇහෙන්නේ. ඔන්න එතකොටම ගඩා‍පියත් ෂෝට පිටින් දුවගෙන එනවා. “දුවපං යකෝ දුවපං. තොපි මොනා බලං ඉන්නවද? ලෝක විනාසෙ වෙනවා. සුනාමි එනවා. යක්කු එනවා. රාස්සයෝ එනවා. තඩි ඉබ්බෙකුත් එනවා. දුවපං බල්ලෝ දුවපං”
“සුනාමියක්!! සුනාමියක්!! දුවමු පුතේ දුවමු. අපිත් දුවමු.” කියන ගමන් අපේ අම්මා දුවන්න පටන් ගත්තා. ඒත් එක්කම ටැන්ජරින් හෝටලේ ළඟ තේ කොළ කඩේ ඇන්ටි දෙවටේ සෙනග නිසා අපේ වත්ත උඩින් දුවගෙන යමින් ගමන් මගේ අතින් ඇදගෙන දුවන්න පටන් ගත්තා. ඒ පස්සෙන් අපේ අයියයි, මියෑව් මියෑවුයි දුවන්න පටන්ගත්තා. ඇත්ත තමයි මූදු ‍රැල්ලක් එනවා පේනවා. ඒ අස්සේ පොළොව දෙදරනවා වගේ සද්දෙත් දිගටම ඇහෙනවා. අපිව දාලා දුවපු අම්මා ටික දුරක් දුවලා මෙන්න මඟක නැවතිලා.
“ඩම් බිරියානි මට නම් තව දුවන්න බැරියෝ…අයියෝ අම්මෝ…මගේ කකුල් වැඩ කරන්නැ‍තෝ.”
අම්මා මගෙයි, මියෑව් මියෑව්ගෙයි අත් අල්ලාගත්තා විතරයි විසාල වතුර ‍රැල්ලක් ඇවිල්ලා අපිව ගිල්ලෙව්වා. අපේ අම්මට ඇරෙන්න වෙන එකෙක්ටවත් පීනන්න බැරි එකේ ගිලුණා, මළා කියනෙකයි මගේ අන්තිම සිතුවිල්ල වුණේ.
මාව කවුද සැහැල්ලුවෙන් වඩාගන්නවා වගේ එකක් ඊළඟට තේරුණා. ඊට පස්සෙ අපේ අයියා කෑගහනවා ඇහුණා. ලුණු වතුර පෙවිලා හුස්ම ගන්න බැරිව හිටපු මාව අනිත් පැත්ත හරෝලා බිල්ඩිමක් උඩ තියලා බව ඊළඟට මට තේරුණා. ඒත් එක්කම වටපිටාවෙ මිනිස්සු ගිරිය යටින් හූ තියනවත් ඈතින් වගේ ඇහෙන්න ගත්තා. මම අමාරුවෙන් ඇස් අරිනකොට ගොඩ්සිලා මගේ මූණට එබීගෙන ඉන්නවා දැක්කා. යකඩෝ ගොඩ්සිලා මෙච්චර ලොකු වුණේ කොහොමද? අන්තිම පාරට දකිනකොට එයා මීට වඩා පොඩියිනෙ. ලුණු වතුර බීලද?
“ගොඩ්සිලා අයියා ඔයාට ලුණු වතුර පෙවුණද?”
ගොඩ්සිලා හිනාවෙනවා විතරයි. කතාවක් නෑ.
ඊළඟට අපේ අයියා තඩි ඉබ්බෙක්ගෙ පිටේ නැගලා අම්මවයි, මියෑව් මියෑව්වයිත් ඊට පිටිපස්සෙන් වාඩිකරන් එනවා දැක්කා. වටේ-පිටේ ඉන්න මිනිස්සුන්ගේ මරණීය කෑ ගැහිල්ලකුත් ඒ අස්සෙන් ඇහෙන්න පටන් ගත්තා.
“ගොඩ්සිලා අයියා, මිනිස්සුන්ට කරදර කරන්නෙපා. කාවවත් මරන්නෙපා. ප්ලීස්!!”
“පිස්සුද නංගී, මං කාවවත් මරන්නෑ. නොදැනුවත්ව පෑගිලා තුවාල වුණා වෙන්න පුළුවන්.”
“ඔයා ඔච්චර විසාල වුණේ කොහොමද?”
“මාර සීන් එක නංගි වුණේ. ඉබ්බට ලොකු වෙන පෝෂන් එක පොවද්දි ඌ දැගලුවනෙ. මටත් ඒකෙන් පොඩ්ඩක් පෙවුණා. පොඩි කරන පෝෂන් එක බෝතලේ පිටින්ම මං ගිල්ලා. දැං ඒක ගන්න වස්තියක්වත් කරන්න වෙයි.”
ඒක ඇහුණට පස්සෙ මට ආයෙ කලන්තයන් වගේ ආවා.
“ගොඩ්සිලා අයියා, ඔයා හෙල්ලෙන්නවත් එපා. ඔයාට පෑගිලා මිනිස්සු සීයක්වත් දැන් මැරිලා ඇති. තව මරන්න එපා. අයියෝ…මමනෙ මේ අපරාදෙ කළේ. අයියෝ…අනේ අම්මේ…..අයියෝ….”

………………………….

“මොකද ළමයෝ මේ කෑගහන්නේ? මං කියලා තියෙනවනෙ ගොම්මනේ නිදාගන්න එපා කියලා. හීනෙන් බය වුණාද? මොකෝ වුණේ?”
“අයියෝ අම්මේ සුනාමියක් ආවා. අපි ඔක්කොම ගිලුණා. ගොඩ්සිලා තව යෝධ වෙලා. උගේ කකුලට පෑගිලා මිනිස්සු සීයක් මැරුණා.”
ඒ පාර අම්මා මාව උරහිස්සෙන් අල්ලලා හෙල්ලුවා. බලෙන්ම කකුල් දෙක ඇ‍ඳෙන් බිමට දාලා ඇඳේ වාඩි කළා. ඊට පස්සේ වතුර වීදුරුවක් දුන්නා බොන්න. වතුර උගුරු කීපයක් බිව්වම මගේ බය ටිකක් අඩු වුණා.
“අයියා කෝ?”
“කවුරු දන්නවද!! ටෙලිෆෝන් එකෙන් ‘හුචු හුචු’ ගගා හිටියා. බයිසිකලේට නැග්ගා, හිනාවෙවීම යන්න ගියා. දෙයියො තමයි දන්නෙ එයා කොහේ ගියාද කියලා.”
“එතකොට මියෑව් මියෑව්?”
“ඒ ළමයා ගෙදර ගියා මහන්සියි, හෙට ඔ‍ෆිස් යන්න තියෙනවා කියලා.”
“එතකොට ගොඩ්සිලා ආවෙ නෑ? තාරකා ආවෙත් නෑ?”
“ඔහෙ නෑ ළමයෝ. එකෙක්වත් ආවෙ නෑ. මාරි බිස්කට් නෑ කඩේ. අන්න කිඹුල්ලු ගෙනැල්ලා තියෙනවා. ඇම්බුම් ගෙඩියක් එක්ක කිඹුලෙක් කාලා තේ බොන්න.”
මං කුස්සියට ගියා අවසිහියෙන් වගේ. හැබෑට ගොඩ්සිලාට මක් වුණාද? අපේ ගෙදර එනවයි කිව්වනෙ. මූදෙ ගිලුණවත්ද? කෝල් එකක් අරන් බලන්නෝනා කියලා ඊළඟට කල්පනාවට ආවා.
“ඔබ ඇමතූ ජංගම දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත.”
මං කිඹුලවයි, ඇම්බුම් ගෙඩියයි අරං සාලෙට ආවා. අම්මා හාන්සි පු‍ටුවෙ ඇලවෙලා කකුල් පද්ද, පද්ද යූටියුබ් එකේ ‘සැහැල්ලු ගුවන් යානයක් හදන හැටි’ බලනවා. අපේ අම්මට මොකටද සැහැල්ලු ගුවන් යාන හදන හැටි!! මෙයා මෙහෙම සද්දෙ වහලා හිටියට කාන්තා පාතාලෙ ලොක්කියෙක්ද මන්දා!! පිස්තෝලෙකුත් තියෙනවානෙ කළු බෑග් එකේ.
ඔන්න ඔය අතරේ කවුද මගේ නම කියනවා ළාවට වගේ ඇහෙන්න ගත්තා. ඒත් කොහෙන්ද ඒක ඇහෙන්නෙ කියලා හිතාගන්න බෑ. මං මිදුලට බැහැලත් බැලුවා. වතුසුද්ද මල් ගහ යටින් වගේ ඇහෙන්න වුණ නිසා හිතේ සැකේට ගහ යට හොඳට බැලුවා. මෙන්න හිච්චි සයිස් සත්තු දෙන්නෙක් ගහ යට ඉන්නවා.
“නංගි මං ගොඩ්සිලා අයියා.”
මෙන්න ක‍ටුස්සෙක් සයිස් එකෙක් උගුර පුප්පන් කෑගහනවා. ඒ ළඟම පොඩිම පොඩි ඉබ්බෙකුත් ඉන්නවා. මං තවත් පොඩ්ඩක් බිමට නැවිලා බැලුවා. හැබෑමයි ගොඩ්සිලා අයියයි, තාරකායි. ඒත් මුං මෙච්චර පොඩි වුණේ කොහොමද?
මං දෙන්නවම අත් දෙකෙන් උස්සගෙන ගේ ඇතුළට ගියා. කවුරුත් පේන්න නැති තැන කාමරේට ගියා. ගිහින් මේසෙ උඩින් තිබ්බා ඩබලව.

“ඔහේලා මෙච්චර පොඩි වුණේ කොහොමද?”
“මේකයි නංගී. අපි මුහුදට බැස්ස වෙලේ ඉදන් අපේ පස්සෙන් පොඩි සත්තු වගයක් එන්න ගත්තා. හෙලිකොප්ටර් එකකින් වෙඩි තියන්න කට්ටියක් ආවා. පත නැව් දෙකකුත් අපිව පන්නගෙන ආවා. මේ ගොං ඉබ්බට හයියෙන් පීනන්නත් බෑ. මට මූව දාලා වේගෙන් එන්නත් බෑ. කරන්න තිබ්බෙ එකම දෙයයි. මං පොඩි වෙන පෝෂන් දෙකක් හංගං හිටියා හක්කේ. ඒක එළියට අරං මූටත් පොවලා මමත් බිව්වා. වතුරෙ ඉදන් බීපු නිසාද මන්දා අපි දෙන්නවම ඕනවට වඩා කුඩා වුණා. පොඩි මාළු බෝට්‍ටුවක ගැට්ටෙ එල්ලිලා තමයි ආබෲ පාරට ගොඩවෙන වෙරළට ආවේ. වැල්ලෙ ඉදන් නංගිලැයි ගෙදරට එන්න පැය ගාණක් ගියා. මේ ගොං ඉබ්බා නම් හරිම වාතයක්. අරහෙ රිදෙනවා, මෙහේ රිදෙනවා, නිදිමතයි, බඩගිනියි විතරයි මුගේ කටේ තියෙන්නේ. පුදුම කරදර ගොඩක නංගි මං පැටලුණේ.”
එහෙම කියලා ගොඩ්සිලා අයියා මගේ මේසෙ උඩම ඇලවුණා. මං හනිකට ටීෂර්ට් එකක් නවලා ඇඳක් හදලා දුන්නා. තාරකා නොකර කතා මේසෙ උඩ තිබ්බ කවි පොතක් උඩ ඇලවුණා.
“එතකොට ෆෝන් එකට මොකද වුණේ?”
“අපි වතුරට බැස්ස වෙලේම ෆෝන් එක නරක් වුණා නංගි.”
යන්තම් ඔළුව උස්සලා එහෙම කියලා ගොඩ්සිලා ආයෙත් නින්දට වැ‍ටුණා.

මේ ගැන අම්මට නොකියා බැරි නිසා මං සාලෙට ගිහිං අම්මට කතා කළා. එයාට සිහිසන්නයක් නෑ. මේ හෙට අනිද්දට සැහැල්ලු ගුවන් යානෙ හදන්න පටන් ගන්නෝනා වගේ හයිප් එකක එයා උන්නේ.
“අම්මේ…ගොඩ්සිලයි, තාරකායි ආවා. අන්න මගේ කාමරේ ඇතුළේ. හැබැයි දෙන්නම හොඳටම පොඩි වෙලා.”
“මොනවා! පොඩි වෙලා. ඒ කොහොමද ඩම් බිරියානි? උං අර පත විසාලෙටනෙ උන්නේ. බ්‍රේකින් නිවුස්වලට පෙන්නුවෙ ලොකු සත්තුනේ.”
“එන්නකො අනේ කාමරේට. ගිහිං බලන්නකො.”
අම්මා ෆෝන් එක ගවුම් සාක්කුවෙ ඔබාගෙන මගෙත් එක්ක කාමරේට ආවා. එද්දි ගොඩ්සිලා ගොරොද්දෙ ඇද, ඇද නිදි. තාරකා නම් නිදි ද නැද්ද මට හිතාගන්න බෑ. ක‍ටුව ඇතුළෙ මක් කරනවද පේන්නෙ නෑනෙ. අම්මගෙ කට ඇරුණා. ඔළුවෙ ගහං හිටිය කණ්ණාඩි දෙක ඇස් දෙකට දාගෙන ගොඩ්සිලා දිහායි, තාරකා දිහායි මාරුවෙන් මාරුවට බලන්න වුණා. අතර මැද බ්‍රේක් එකේ මගේ දිහාත් විමසිල්ලෙන් බැලුවා. ඊට පස්සෙ මට ඔළුවෙන් කතා කළා එළියට යන්න. මමත් අම්මා පස්සෙන් සාලෙට ගියා. අපි සාලෙන් මිදුලට ගියා.
“ඩම් බිරියානි! මේ අහන්න. අපි මුං දෙන්නට වෙඩි තියලා මරලා දාමු. නැත්නම් හුස්ම හිරවෙන්න මූණට කොට්ටයක් අල්ලං ඉමු.
“මොකක්? අම්මට පිස්සු හැදිලද? මේ අහිංසක සත්තු දෙන්නෙක්ව මරන්න හදන්නෙ?”
“අහිංසක!! මුං අහිංසක නෑ. සූ එකේ මිනිස්සු කී දෙනෙක්ව මරලද මුං මේ ඇවිල්ලා දපලා ඉන්නේ. වලහෙක්වත් මරලා ඒ මදිවට. ඔක්කොමත් හරි සියක්කාරයොන්ව පවා මුං මරලා. තව ඉස්සරහට මුං අපිවත් මරලා දාවි. ඇයි ඇහුණෙ නැද්ද නිවුස්වලට කියනවා විස සර්පයෝ වගේකුත් අතුරුදහන් කියලා? අපි මේ කරන්න යන්නේ ජනතා සේවයක්.”
“ඒ වුණාට මෙයාලව මරන්න මට නම් බෑ අම්මේ.”
“හා..මං කරන්නම්කො වැඩේ. ගන්න අයියට කෝල් එකක්. වහාම එන්න කියන්න ගෙදර. ඕන්නම් මියෑව් මියෑව් ළමයටත් කෝල් කරලා කියන්න.”
මං අයියට කෝල් කරද්දි මෙන්න එයා ගේට්‍ටුව ළඟ.
“මොකෝ මොකෝ කේස් එක?” මිනිහා ඈත ඉදන්ම කෑගහහෙන ආවේ. බයිසිකලෙන් බහින්නෙත් නැතිවම උනන්දුවෙන් බලං ඉන්නවා ඊළඟට.
“අයියේ, ගොඩ්සිලයි, තාරකායි ආවා. ඒත් එයාලා හොඳටම පොඩි වෙලා. අන්න මගේ කාමරේ මේසෙ උඩ නිදි.”
“පොඩි වෙලා? යකෝ එහෙම කොහොමද වෙන්නෙ? උං අර මහා විසාලෙටනෙ හිටියේ.”
“පොඩි වෙන පෝෂන් එක මුහුදෙදි බීලා. එවෙලෙ තමයි ඕනවට වඩා පොඩි වෙලා තියෙන්නෙ. අම්මා කියනවා මේ දෙන්නට වෙඩි තියලා ඉවරයක් කරලා දාමුය කියලා. මුං මිනීමරුවොලු.”
“ඈහ්!! වෙඩි තියන්න? අම්මට පිස්සුද?”
“පිස්සු මට නෙවෙයි උඹලට. දැන් මුං ආයෙ ලොකු වෙලා කළුතරම සුන්නද්දූලි කළාම තමයි උඹලෑ පිස්සුව තද වෙන්නෙ. මේවා සෙල්ලං වැඩ කියලා හිතන්නෙපා පුතේ. මට හොඳට දුර දිග පේනවා. ඒකයි මං උඹලට මේවා කියන්නේ.”
“හරි. හරි. පොඩ්ඩක් කලබල නොවී ඉන්නකො. අපි උන් දෙන්නා එක්ක ටිකක් කතා කරලා බලමු.”

අයියා කෙළින්ම මගේ කාමරේට ගිහිං තාරකා කිව්වා. කට්ට අස්සෙ හැංගිලා උන්නු තාරකා හනිකට ඔළුව එළියට දාලා අයියා දිහාට එන්න ගත්තා. දැන් තාරකා පොඩි මී පැටියෙක් සයිස්. පොකුණට දැම්මොත් ගිලිලා මැරෙනවා. ගොඩ්සිලා ක‍ටුස්සෙක් සයිස්. මුංගෙ සයිස් එකේ හැටියට වෙඩි තියන්න ගියොත් අන්වීක්ෂයකුත් තුවක්කුවට සෙට් කරන්න වෙනවා.
“ඕයි…ගොඩ්සිලා නැගිටපං. පොඩ්ඩක් කතා කරන්න නැගිටපංකො බං.”
ගොඩ්සිලා හීනෙන් බය වෙලා වගේ නැගිටලා අපි හැමෝම දිහා බැලුවා. ඊට පස්සෙයි අයියව දැක්කෙ.
“ආ….මිගාර අයියේ. අපිට මාර කෙළියනෙ අයියේ වුණේ. පෝෂන් එකේ අවුලකින් අපි දෙන්නව හොඳටම පොඩි වුණානෙ.”
“ඉතිං දැං උඹලට ආයෙ ලොකු වෙන්න බැරිද?”
“ලොකු වෙන පෝෂන් එකයි තියෙන්නෙ. ඒක මං වැඩි පරිස්සමට ගිල්ලා. වස්තියක් කරලා තමයි ගන්න වෙන්නෙ.”
“එතකොට තාරකා?”
“ඒක තමයි අයියෙ ප්‍රශ්නෙ. එක පෝෂන් එකයි තියෙන්නෙ. තාරකාට දෙන්න පෝෂන් එකක් නෑ. අනික මේ තියෙන පෝෂන් එක බිව්වා කියලා මම මුලින් හිටපු ගානටම එයිද කියලත් සැකයි. දැන් අපි මොකද අයියෙ කරන්නෙ?”
ගොඩ්සිලා අඬන්න වගේ. මෙහෙම අහිංසක සතෙක්වනෙ අපේ අම්මා අර වෙඩි තියලා මරලා දාන්න හිතුවේ. මං එහෙම හිතලා අම්මගෙ මූණ දිහා බැලුවා. එයාට කිසි ගනිච්චියක් නෑ, අහක බලාගත්තා.”
“ගොඩ්සිලා උඹ බයවෙන්නෙපා. අපි මොකක් හරි කරන්නම්. දැන් පොඩ්ඩක් නිදාගනිල්ලා එහෙනම්. මං වස්තියක් කරන්න බඩු හොයං එන්නම්.
ගොඩ්සිලා ආයෙ නින්දට වැ‍ටුණා. අම්මා මූණ ඇඹුල් කරන් යන්න ගියා. මමත් ඉතිං ඇගපත හෝදගන්න හිතන් ඇඳුම් අරන් බාත්රූම් එකට ගිහින් දොර වහගත්තා. එහෙම ගිහින් වැඩි වෙලාවක් ගියේ නෑ. අපේ අම්මා මගේ කාමරේ ඇතුළේ බඩු මුට්‍ටු පෙරළන සද්දයක් මට ළාවට වගේ ඇහෙන්න ගත්තා.
කෝකටත් කියලා මම ඉක්මනින් හෝදගෙන බාගෙට ඇඳගෙන වගේ එළියට ආවා. එද්දි අපේ අම්මා තුවක්කුව අතේ තියං ගොඩ්සිලා පැත්තට මානගෙන ඉන්නවා. ගොඩ්සිලා එහේ-මෙහේ පනිනවා වඳුරෙක් වගේ. තාරකා මෙලෝ මළදානයක් නොදැන ගලක් වගේ නිදාගෙන ඉන්නවා.
“ඔය මොකක්ද අම්මේ කරන්නෙ? වෙඩි තියන්නෙපා. අම්මට පිස්සුද හැබෑටම?”
“අනේ නංගී මාව බේරගන්නකෝ. අයියෝ ඩම් බිරියානි නංගී…” කියමින් ගොඩ්සිලා බෙරිහන් දෙනවා.
අපේ අම්මා යස්සයෙක් වගේ තුවක්කුව මානනවා. මං “එපා….” කියද්දිම අපේ අම්මා කොකා ගැස්සුවා. මං ඔළුව බදාගෙන බිම වාඩි වුණා. ඒත් කිසි සද්දයක් ඇහුණෙ නැති නිසා ඇස් ඇරලා බැලුවා. තුවක්කු කටෙන් පොඩි දුමක් විතරක් යනවා පෙනුණා. ඒක සෙල්ලම් තුවක්කුවක්. කොකා ගැස්සුවම දුමක් විතරයි යන්නෙ. හැබැයි ටිකෙන් ටික මට නින්ද යාගෙන එන්න පටන් ගත්තා. එච්චරයි මට මතක.

…………………………………….

පැය දෙකකට විතර පස්සෙ මට සිහිය එද්දි අයියා මාවයි, අම්මවයි මගේ ඇදේ දිගා කරල ඇඳ ළඟ පු‍ටුවක් තියං බලන් ඉන්නවා.
“කෝ අයියෙ ගොඩ්සිලා?”
“ගොඩ්සිලා!! ඌට වෙඩි තියලා ගොඩ්සිලා කෝ අහන්නෙ? මං උං දෙන්නව බේරලා යැව්වා.”
“මමයැ වෙඩි තිබ්බෙ, අම්මනෙ.”
“පුතේ පුතේ කෝ අර යස්ස ගොඩ්සිලා. ඌව මැරුණද? මගේ වෙඩිල්ල හරි ගියාද?”
“වෙඩිල්ල!! ඒක යස වෙඩිල්ල. අම්මට දීලා තියෙන තුවක්කු බොරු එව්වා. ඒවාට උණ්ඩ වෙනුවට සිහි නැතිවෙන බෙහෙතක් දාලා තියෙන්නෙ. වීරවර්ධන සමිතියෙ පරයො ටිකගෙ අඬු කඩන්නෝනා. ඔය නාකි හැතිකරේ මාවත් ‍රැවැට්‍ටුවනේ.”
“ඉතිං කෝ අරුං දෙන්නා? මළාද?”
“නෑ. නෑ. උං මළේ නෑ. මං උං දෙන්නව බේරලා ඇරියා.”
“කොහෙටද?”
“කොහෙටහරි.”

නිමි |

කාංචනා අමිලානි | twitter | threads | fb | insta |

--

--

kanchana amilani

Founder of thinkland | poetess| journalist| Blogger| Writer|